වළපල්ලට ගිය රටවල්

 

දකුණු දිග ආසියාවේ පිහිටි තිමෝරය ද අගාධයට ඇද වැටී ඇති රාජ්‍යයකි. මෙහි දිළිඳු ජනතාවගේ දුක් අඳෝනාව වී ඇත්තේ අපට ජීවත් වෙන්නට ඉඩ දෙන්න යන්නයි. ඡන්ද පිට ඡන්ද පවත්වා අන්ත දූෂිතයින් විවිධ උප්පරවැට්ටි හා ඡන්ද වංචා තුළින් බලයට පත්වී මේ රට ද සූරා කන්නේ හිතක් පපුවක් නැතිවුන් මෙන්ය. මුදල් උපයාගෙන පවුල් පිටින් සුරසැප විඳින දේශපාලකයින් බුරුතු පිටින් සිටින තිමෝරය අද කබලෙන් ලිපට වැටී අවසානය. රටේ සාරය උරාබොන කාලකන්නි දේශපාලකයින් එලවා දැමීමට මේ රටේ ද බහුතර ජනතාව අපොහොසත් වී සිටීම රට ප්‍රපාතයට යාමට මූලික හේතුවකි. 


ලොව ළදරු මරණ විශාල වශයෙන් සිදුවන, මුළු ජනගහණයෙන් සියයට 41කට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන, ජනගහණයෙන් සියයට 63කට ආසන්න පිරිසකට විදුලි පහසුකම් නැති මේ රටේ අද තරුණ අසහනය දැවැන්ත අයුරින් උග්‍රවී තිබේ. පාලකයින් මෙහි ද ජනතාව මුලා කරමින් රට සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කරන සැලසුම් ලේඛනවලට පමණක් සීමාවී ඇත. 


මෙහි සිට ඕස්ට්‍රේලියාවට දුර කි.මී. 500කි. තිමෝරය ද (TIMOR) දූපතකි. ලංකාව මෙන්ම විවිධ දේශපාලන මෙන්ම ජනවාර්ගික අර්බුද පැවැති ඉන්දුනීසියාව අසල පිහිටි මේ රටට කවදා අරුනෝදය උදාවේ ද? 


මෙහි විශාලත්වය ව.කි.මී. 37,777ක් හෙවත් ව.සැ. 11,883 කි. ජනගහණය ලක්‍ෂ 32කට මඳක් වැඩිය. රාජ්‍ය භාෂා දෙකක් භාවිත කරන රටක. එම භාෂා දෙක වන්නේ ටෙට්‍රම් සහ පෘතුගීසිය. 2018 මැයි 16 දා ද ඩිප්ලොමැටික් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලය වූයේ අවසානයේ තිමෝරයේ රජයක් පිහිටෙව්වා. ඊළඟට කුමක්ද? යන්නයි. 


2018 මැයි 12 දා පැවැත්වූ මැතිවරණයෙන් ඒ.එම්.පී. (AMP) පක්‍ෂය පාර්ලිමේන්තුවේ ආසන 65කින් ආසන 34ක් දිනා ගැනීම පිළිබඳ ලෝක ජනමාධ්‍යයන් විවිධ මත ඉදිරිපත් කර තිබුණි. එම පක්‍ෂයේ නායක ෂනානා ගුස්මාඕ ට (XANANA GUSMAO) ශක්තිමත් රජයක් ස්ථාපිත කිරීම අසීරු කාර්යයක් විය. මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදවැටෙන්නේ ස්ථාවර රජයක් පිහිටුවීමට එහි කිසිදු දේශපාලන පක්‍ෂයකට මෙතෙක් නොහැකි වීම නිසාය. රට තුළ මෙන්ම දේශපාලන පක්‍ෂ තුළ ද පවතින අර්බුද හේතුකොටගෙන මෙහි ජනපති පදවියට පත් ප්‍රැන්සිස්කෝ ගුටාරෙස්ට රාජ්‍ය පාලනය හැසිරවීම අසීරු වී ඇත. 


විශේෂයෙන්ම රටේ අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය වීම හේතුකොටගෙන පාලන තන්ත්‍රය අකර්මණ්‍ය වී තිබේ. 2019 ඔක්තෝබර් 1 දා මෙහි ජනපතිවරයා ඉහළම අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් හමුවී සාකච්ඡා පවත්වා අධිකරණයෙහි සංශෝධන රාශියක් සිදුවිය යුතු බව පෙන්වා දුන්නේය. මේවා සාකච්ඡාවලට පමණක් සීමා වීම මහා විහිළුවකි. 


හොරකම් කළ ඇමැතිවරු එළවයි 


මේ රටේ ද ඡන්දයෙන් ඡන්දයට විවිධ දේශපාලන පක්‍ෂවලට අයත් ප්‍රබලයින් පක්‍ෂ මාරු කරමින් එහාට මෙහාට පනිමින් පොදු ජනතාව රැවැටීමේ “සෙල්ලම” සිදු කරනු ලබයි. 2018 ජුනි 22 දා ඒ.පී. පුවත් සේවයේ වාර්තාවක සඳහන් වූයේ දූෂිත දේශපාලකයින් 11 දෙනකු ඇමැති තනතුරුවල දිවුරුම් දීම ජනපතිවරයා විසින් වැළැක්වූ බවයි. මේ සියලු දෙනාම මීට පෙර පැවැති ආණ්ඩුවල ඇමැති තනතුරු දරා මහා පරිමාණයෙන් සොකරම් කළ අය බව කියනු ලැබේ. රටේ දේශපාලන අස්ථාවරත්වය හටගෙන තිබීම හේතුකොටගෙන අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමන, විදුලිය, ජලය, නිවාස ආදී පොදු ප්‍රශ්න ගොඩ ගැසී රට අවුල් ජාලයක් බවට පත්වී තිබේ. 


මේ අවුල් ජාලය අස්සේ දේශපාලුවන් තම පවුල් පිටින් ප්‍රසිද්ධියේ සොරකමේ නිතර වී සිටී. නැගෙනහිර තිමෝරයේ ප්‍රථම ජනපති (2002-2007) රට දියුණු කිරීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වූයේ දේශපාලන බල අරගලය නිසාය. ඉන්දුනීසියාවේ ඇඟිලි ගැසීම් වැඩිවීම මේ රට ආපස්සට යාමට ප්‍රධාන හේතුවක් වූ බව කියනු ලැබේ. ජනපති විසින් අමාත්‍ය තනතුරුවල දිවුරුම් දීමට සිටි 11 දෙනාට එරෙහිව අධිකරණය වෙත රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවයි. මේ රටේ ද බලයට පත්වන දේශපාලකයින්, තම විරුද්ධවාදීන් සමඟ රහසිගතව ගිවිසුම් (ඩීල්) ඇති කරගෙන තිබීම තුළින් පාලනය දූෂණයෙන් පිරී යන බව ද ඩිප්ලොමැට් පුවත්පත පෙන්වා දෙයි. 

 

 


ජනගහණය ලක්‍ෂ 32යි ඇමැතිවරු 43යි 


ලක්‍ෂ 32ක ජනගහණයකින් යුත් තිමෝරය වැනි කුඩා රටකට 43 දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් කුමකටදැයි විවිධ මාධ්‍යයන් විමසයි. මෙහිදී බොහෝ දේශපාලකයින් පොරකන්නේ අමාත්‍ය මණ්ඩලය තවත් වැඩිකර ගැනීමටයි. එවැනි රටක් දියුණු වෙන්නේ කෙසේ ද? 


විවිධ ජාත්‍යන්තර සංවිධාන නැගෙනහිර තිමෝරයේ දිළිඳු ජනතාවගේ සුබසාධනය තකා ලබාදුන් ඩොලර් මිලියන ගණනක ආධාර මුදල් දේශපාලකයින් ගසා කෑ අයුරු සෙන්ටිනෙල් මාධ්‍ය ජාලය මඟින් පෙන්වා දී තිබුණි. 


රටක් පරිහානයට පත්වෙන්නේ දේශපාලකයින් සිදුකරන ගසාකෑම් නිසාය. රටක මහා භාණ්ඩාගාරය සොරකම් කිරීම බොහෝ රාජ්‍යයන්හි බලයට පත්වන අයගේ මූලික අරමුණ වී තිබේ. මෙහෙම රටවල් අඳුරෙන් අඳුරට පත්වේ. බහුතර ජනතාව හිඟා කන්නේ මේ වගේ රටවලය. 


අතීතයේ පෘතුගීසි කොළණියක් වූ මේ දූෂිතයින්ගේ ග්‍රහණයට හසුවීම කොතරම් ශෝචනීය ද? බලයට පත්වන හැම කෙනකුම ඥාති සංග්‍රයට මුල් තැන දීම හා රාජ්‍ය මුදල් සාක්කුවේ දා ගැනීම තුළින් මේ අවාසනාවන්ත දූපතට අද අත්වී ඇත්තේ අඳුරු දසාවකි. මහා විපතකි. 


නැගෙනහිර තිමෝරය ගොඩනැංවූ අයුරු, මෙහි සිදුවූ දේශපාලන පරිවර්තනය, ඉන්දුනීසියා හමුදාව සිදුකළ මෙහෙයුම්, ත්‍රස්තවාදය තුරන් කළ හැටි ආදිය පිළිබඳ දීර්ඝ විස්තරයක් මෙවැනි කෙටි ලිපියකින් හුවා දැක්වීම අපහසු කාර්යයකි. 


මුදල් හොරකම් කළ මුදල් ඇමැතිනිය 


තිමෝරයේ හිටපු මුදල් ඇමැතිනිය මහා භාණ්ඩාගාරය ශුද්ධ කරමින් සිදුකළ වංචාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් පුවත්පත්වල පළවිය. ඇය මුදල් ඇමැතිවරිය වශයෙන් පත්වූ පසු ස්වාමිපුරුෂයා එහි ඉහළම තනතුරකට පත් කරවාගෙන මුදල් අමාත්‍යාංශය පුද්ගලික වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත්කර ගත් අයුරු, රාජ්‍ය බැංකු කොල්ලකෑ හැටි හෙළිවිය. ඇයට එරෙහිව නඩු පවරනු ලැබුවත් මේ රටේ ද නීතිය ක්‍රියාත්මක වූයේ ආපස්සටය. නීතියේ දෙවඟනට සිදුවුණු දෙයක් නැත. හරියටම ආසියාවේ තවත් රටවල් කිහිපයක් වගේය. 
බොහෝ රටවල රාජ්‍ය දේපොළ සොරකම් කිරීම හේතුකොටගෙන බලයෙන් පහවූ දේශපාලකයින් යළි යළිත් බලය ලබා ගැනීමට පොරකෑම යළිත් ඔවුන් බලය ලබාගැනීම ආදිය රටක් පිරිහීමට මූලික හේතුව බව මගේ ලෝක සංචාරයේදී අවබෝධය විය. 

 

 

සිරි හීන්පැල්ල
 නිව්‌යෝර්ක් නුවර සිට ලියයි