ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

 

හලාවත, නැගෙනහිර කරවිටාගාර ආර්.ඩබ්ලිව්. සිරිසේන මහතා ලියා එවූ කතාවකි.  

මවට පහරදී භික්ෂූන්ට මරණ තර්ජන කළ ජගත්ට ලැබුණු දඬුවම  


ජගත් රැකියාව වශයෙන් කළේ රා පිණිස පොල්ගස් මැදීමය. ඔහු වැස්සකටවත් පාසල් ගිය අයෙක් නම් නොවේ. ගමේ පිහිටි ඉඩම් කීපයක පොල්ගස් මැදීම ඔහු අතින් සිදු කෙරුණ අතර කිසි දිනක ඔහු සුරාපානය කළේ නැත. මහලු මව සමඟ කුඩා නිවසක ජීවත් වූ ඔහු සැමියා හැරගිය බිරිඳක සමඟ විවාහ විය. මෙම බිරිඳ සැරපරුස එකියක හා නාස්තිකාර එකියකද වූවාය.   


විවාහයෙන් ටික කලකට පසුව බිරිඳට දරුවෙකු ලැබුණි. මේ සියලු දෙනාම ජීවත්වූයේ ඉහත කී කුඩා නිවස තුළය. දරුවා ලැබීමෙන් පසුව බිරිඳ ජගත්ගේ මවට නොයෙකුත් වෙනස්කම් කළ අතර මව පිළිබඳව බොරු කතා ගොතා ජගත්ට පවසන්නට පුරුදු වූවාය. මෙම කතා අසා සිටිය ජගත්ට මෙය මහා කරදරයක් බවට පත්විය.  
දිනක් ඔහු තදබල ලෙස සුරාපානය කොට නිවසට පැමිණියේය. සිය ස්වාමියාට කේලමක් කීමට හොඳම අවස්ථාව මෙයයැයි සිතූ බිරිඳ නැන්දම්මාගේ නැති වැරදි කීපයක් පෙන්වා දෙමින් මේ කරදර තවත් ඉවසා සිටිය නොහැකි නිසා තමා තමාගේ නිවසට දරුවාත් සමඟ යන බව පැවසුවාය.  


වෙරිමතින් සිටි ජගත්ට ඇත්ත නැත්ත තේරුමක් නැත. බිරිඳ පැවසූ බොරු වදන් පිළිගත් ඔහු අසරණ මහලු මවගෙන් කිසිවක් නොවිමසා ඇයට පහරදී තමන්ගේ පාඩුවේ සිටින ලෙසට තර්ජනයක්ද කරන ලදී. දෙනෙතින් වැගිරුණ කඳුළු බිඳු පිසදැමූ මේ කිසිවක් නොදත් ජගත්ගේ මව දරු සෙනෙහස නිසා එක වචනයකුදු නොදෙඩුවාය. ජගත්ගේ සුරාපානය කිරීම තවත් වැඩිවූවා මිස අඩු වූයේද නැත.  


මේ අතරතුර ගමේ විහාරස්ථානය අසල පොල් ඉඩමේ ගස් මැඳීමද ජගත්ට භාර විය. මෙම විහාරස්ථානය සාමණේර භික්ෂූන් වහන්සේලා කීප නමක් හා උපසම්පද‌ා භික්ෂූන් වහන්සේලා කීප නමක් වැඩ වසන පිරිවෙන් විහාරස්ථානයකි. විහාරස්ථානයේ ධර්මශාලාව පිහිටියේ ජගත් ගස් මඳින ඉඩම මායිමේය. මෙම නිසා කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා සමඟ කුළුපග කමක් ඇති කරගැනීමට ජගත්ට හැකියාව ලැබුණි. ඔහු දන්නා කතන්දර හා ගමේ තොරතුරු මෙන්ම අසභ්‍ය සිදුවීම්ද කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලාට පැවසීම නිසා ඉන් සතුටට පත් එම සාමණේර හිමිවරු වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට හොරෙන් ද‌ානය සඳහා ලැබෙන කෑම බීම ජගත්ට ලබාදීමටද කටයුතු කළහ. වැඩි කාලයක් යාමට පෙර මෙම සිදුවීම විහාරාධිපති හිමියන්ට ආරංචි විය. මෙයින් කම්පාවට පත් උන්වහන්සේ සාමණේරයන් වහන්සේලා කැඳවා අවවාද කොට උන්වහන්සේලාට ධර්මශාලාවට යාම තහනම් කළ අතර, ජගත්ට ආහාර පාන ලබා දීමද තහනම් කරන ලදී.  


මෙම පුවත කනවැටුණ ජගත් දණ්න්ඩෙ පහර කෑ නයෙකු සේ කිපුණේය. එක් දිනක වැඩිපුර සුරාපානය කළ ජගත් කඩුවක්ද රැගෙන විහාරස්ථාන භූමිය ඇතුළට ගොස් නොසරුප් වචනයෙන් භික්ෂූන් වහන්සේලාට බැණවැදී උන්වහන්සේලා කෑලි කෑලි වලට කපා පෙතිගසා දමන බවට තර්ජනය කරමින් කෑ ගසන්නට විය. මෙම කලබලය කනවැකුණු අසල නිවෙස්වල සිටි ද‌ායක පිරිස විහාරස්ථානයට පැමිණ ජගත් අල්ලා පොලීසියට භාර දීමට කටයුතු කළහ. දින 14 ක් රිමාන්ඩ් සිර භාරයේ සිටි ජගත්ට ඔහුගේ මිතුරෙකු විසින් ඇප දී මුදවාගෙන පැමිණෙන විට ඔහුගේ ගස් මැඳීමේ කටයුතු වෙනත් අයවෙත පැවරී තිබුණු අතර කිසිදු ස්ථානයක රැකියාවක් ඔහුට නොලැබුණි. මේ නිසා ජගත් අන්ත අසරණ තත්ත්වයට පත් වූ අතර මුළු පවුලටම කුසගින්නේ සිටින්නටද නොයෙක් අවස්ථාවල සිදුවිය.  


ජගත්ගේ ඥ‌ාතියෙකුගේ ඉඩමක ගසක කොස්ගෙඩි ඇති බවට දැනගත් ජගත් කොස්තම්බා කෑමේ අදහසින් තම කුඩා පුතාත් සමඟ ඔහු සතු මෝටර් සයිකලයේ නැඟී එම ඉඩම වෙත ගියේය. එම නිවසේ කිසිවෙකු නොසිටි නිසා කුඩා පුතා ගස අසල හිඳුවා ඔහු කොස් ගසට නඟින්නට විය. පහළ අතුවල කොස්ගෙඩි නොමැති නිසා ගසේ ඉහළට නඟින්නට සූදානම් වූ ජගත්ගේ පය ලිස්සා ගස පාමුලට ඇද වැටුණි.  


ගස අසල සිටි පුතා ජගත් සමීපයට ගොස් කතා කළත් කිසිදු වචනයක් ජගත්ගේ මුවින් පිට නොවීය. පුතා කළේ පියා අසලට වී තදින් හැඬීම පමණි. අහල පහල නිවෙස් වලද කිසිවෙකු නොවීය. පාරේ ගමන් ගත් මාළු වෙළෙන්දෙකුට දරුවා හඬන හඬ ඇසී එදෙසට ගොස් කරුණු විමසා ජගත් රෝහලට රැගෙන ගියත් ඒ වෙන විට ඔහුගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවී තිබිණි.  


කුසගින්න නිවා ගැනීමට කොස් ගෙඩියක් කඩා ගැනීමට ගිය අසරණයාට සිදු වූ විපත ගැන ජගත්ගේ තතු නොදත් අය කනගාටුවට පත්වූහ.  


තතුදත් අය පැවසුවේ මවට පහරදීම හා භික්ෂූන් වහන්සේලාට මරණ තර්ජන කළ ජගත්ට බුදු දහම අනුව ලැබුණු දඬුවම ප්‍රමාණවත් ​ෙනාවන බවය.  


කව්රුන් කෙසේ කීවත්, සිතුවත්, කළකම් තමා පසු පස අනිවාර්යයෙන්ම හඹා එන බව අප කවුරුත් සිතාගත යුතුමය.

 



දැරණියගල යටිවල ලලිතා රත්නසීලි මැණිකේ මහත්මිය ලියා එවූ කතාවකි.

කට්ටඬියාගේ වැරදුණු ගුරුකම  


මේ එක්තරා කාන්තාවකි. කථාවේ පහසුවට අපි ඇයට මැගී යයි කියමු. අඩි තුනක් පමණ උස, උසටත් වඩා මහත, දත්ටික කෙහෙල් ඇවරියක් මෙන් දිස්වෙන බෝල ඇස් ඇති මැය කළුම කළුය.  


බැරල් එකකට රෙද්දක් පෙරවුවා මෙන් පාරේ යනවිට කවුරුත් කියති. කෑමට හරිම පෙරේතය. කාගේ බත් පතක් උවත් කා දමයි. මැයට දරුවෝ පස් දෙනෙක් සිටිති. වැඩිමලා ගැහැනු ළමයෙකි. ඇයට අවුරුදු පහළොවක් පමණ ඇත. තවමත් පාසල් යන ඇය හරිම ලස්සණය. පිය ආරෙට ගිහින් යයි හැමෝම කියති.  


මේ ගෙවල් ළඟ කට්ටඬි මහතෙකුත් සිටී. වැඩි වයසක් නැති අවුරුදු විස්සක පමණ කෙනෙකි. යන්ත්‍ර, බැඳීම්, බලි, තොවිල්, හදි-හූනියම් වලට දක්ෂය. ඉනා ගුරුකම් වලට හරිම දක්ෂය. කළොත් කළාමය. ආපිට හරවන ගුරුකම් මොහු ළඟ නැත.   


මේ කට්ටඬි මහතා අර දැරිවිට ඇල්ම බැල්ම ද‌ාන්න පටන් ගත්තේය. නාන තොටේ, දෙමංසලේ, තුන් මංසලේ සිවු මංසලේ රැක සිටියේය. 

 
හරියට දිස්ටි වැටුණේම නැත. අන්තිමට බලගතු ඉනා බෙහෙතක් සාද‌ා ගත්තේය. එයත් අරන් මැගීගේ ගෙදරට ගියේය.  


‘‘ගෙදර කවුද? ගෙදර කවුද?’’ කීප වරක්ම කථා කළ විට මැගී ඉස්තෝප්පුවට ආවාය. ‘හරියටම දාහේ.... මැගි නැන්දේ බොමුද වතුර ටිකක්.’ මැගී වතුර ගේන්න කුස්සියට ගියාය.  
ඒ අවසරයෙන් මේසෙ උඩ මඩක්කුවේ (මැටි කොප්පය) බත් වලට ඔහු ගෙනා ඉනා බෙහෙත ඔහු කළවම් කළේය.  


මැගී වතුර ගෙනාවාය. එයත් බී ඔහු පිටව ගියේය.   


කට්ටඬි මහතා ගෙදර ගොස් සමූපෙට ගොස් බඩු මහ ගොඩක් ගත්තේය. සැමන් ටින් දෙකක්ම ගත්තේය. ‘‘මොකද අද බඩු ගෝනියක්ම’’ කඩේ සිටි කෙනෙක් ඇසීය.  
‘‘මඟුල් ගෙයක් වත්ද?’’ ‘‘නෑ’’ මේ ඔහු සිනාවක් පාමින් බඩු ගෝනියත් අරන් ගෙදර ගියේය.  


වැඩේ ටක්කෙටම හරියන නිසා ඉක්මනින් උයා-පිහා නා-කියා ගත්තේය. පිල් කඩ උඩ වාඩි වී ‘‘හෝ හෝ තුෂාරා හෝ හෝ තුෂාරා’’ කියමින් ගීතයක් මුමුනමින් මග බලා සිටියේය. දෑස රිදෙන තුරු පාර බලා සිටියත්, තුෂාරා නම් නාවාය.  


මැගීගේ ගෙදර අර දැරිවි පාසල් ඇරී ආවාය. අම්මේ මට අද බත් කන්න බැහැ හිස රිදෙනවා කියමින් නිදා ගත්තාය.

  
බත් පංගුව මෙසේ උඩ.   


මැගී බත් පංගුව කෑවාය. වෙලාව හවසය, රෑට උයන්න - ගෙදර වැඩ කිසිවක් මතක නැත. මතක එක දෙයකි අර කට්ටඬි රාළය.  


කන්දක් නැග - කන්දක් බැස ගොම්මන් අඳුරත් කර පින්නාගෙන මේ එන්නේ කවුදෝ - කට්ටඬියාට හීන් දාඩිය දැම්මේය.  


වැඩේ වැරදුණ බව දැන ගත්තේය. වෙද පොත්, යන්ත්‍ර-මන්ත්‍ර පොත් පෙරළ-පෙරළා ගුරුකම ආපිට හරවන මන්ත්‍රය සෙව්වේය. බැරිම තැන ඇයත් කැටුව පිට පළාතකට ගියේය.  
ඉඳි කට්ටයි නූල් පටයි - ගොනා පසු පස - කරත්තය මෙන් ඇය මැරෙන තුරාවට කට්ටඬියා පසු පස ගියාය. මෑතකදී ඇය කලින් සිටි ගමට ආවාය. ඇය ළඟදී මිය ගියාය. කට්ටඩි මහතා නම් සතුටු වෙන්නට ඇත.  

 



අකුරැස්ස, පහළ මලිදුව, චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.  

ගුරුකමටත් නිගා කළ ගුණමකුවෙකුට අත් වූ ඉරණම  


ජයතුංග මහතා මීට දශක කීපයකට පෙර ඈත දුෂ්කර ගම්මානයක යමක් කමක් ඇති පවුලක උපත ලැබුවෙකි. දුෂ්කර වුවත් වත් පොහොසත්කම් ඇති පවුලක උපත ලැබීම හේතුවෙන් ඒ කාලයේ හැටියට උසස්ම මට්ටමේ අධ්‍යාපනයක් ලැබීමේ භාග්‍යය ඔහුට උද‌ාවිය. ගමේ අනෙක් දුප්පත් අහිංසක ගැමි දරුවන්ට ඒ වාසනාව අහිමි විය. ගැමියන්ට අනුව නම් ඒ ඔවුන්ගේ පෙර කරුමයම විය.  


ඒ කාලයේ හැටියට ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද ජයතුංග මහතාට තරුණ වියේදීම ගුරුවරයෙකු ලෙස අසල ගමේ පිහිටි පාසලටම පත්වීමක් ලැබුණි. මෙයින් ඔහුටත් වඩා සතුටු වූයේ කිසිදු දැන උගත් කමක් නැති අහිංසක ගැමියන්ය. එය ඔවුන් සැලකුවේ ගමට ලැබුණු මහත් අභිමානයක් ලෙසිනි.  


එසේම ජයතුංග මහතා ගමේ කෙනෙක්වීම නිසා තම දරු පැටවුන්ටවත් සෙතක් සැලසේය යන බලාපොරොත්තුව ඔවුන් තුළ විය. එසේම ජයතුංග මහතාට පොහොසත් පවුලක ඉපදීම නිසා ලද ගෞරවය ගුරුපත්වීම ලැබීමෙන් තවත් දෙගුණ තෙගුණ විය. එතැන් සිට ඔහු නිකම්ම ජයතුංග මහතා නොව ජයතුංග ඉස්කෝලෙ මහතා බවට පත්විය. ගමේ තරුණ තරුණියන් අතර ඔහු ජයතුංග සර් විය.  


දැන් ඔහුට ගැමියන් ගෞරවය පමණක් නොව බය පක්ෂපාතී කමක්ද දක්වන්නට වූහ.  


ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කර ගැනීමේදී ජයතුංග සර්ගේ උදව් අවශ්‍යම විය. එහෙත් පවක මහත මේ ගුණමකු පුද්ගලයා මේ සියල්ල ඔහුගේම වාසියට හරවාගත්තා මිස කිසිවකුට යහපතක් සැලසීමට නම් සිතුවේම නැත. අහිංසක ගැමියන් තැබූ බලාපොරොත්තු කිසිවක් ඔහුගෙන් ඉටුවෙන බවක් නම් පෙනෙන්නට නොවීය.  


එකල අද තරම්ම ඈත දුෂ්කර ගම්බද පාසල් පිළිබඳ ඉහළ නිලධාරීන්ගේ ඇල්ම බැල්මක් නොවීය. එයද ජයතුංග මහතාගේ වාසියටම හේතුවිය. එයින් උපරිම ප්‍රයෝජන ගත් ඔහු තමාට ලැබුණු රැකියාව මුදල් උපයා ගැනීමේ තවත් මාර්ගයක් පමණක් කර ගත්තා මිස පාසලට ගියත් දරුවන්ට ඉගැන්වීමේ කටයුත්තක් ඔහුගෙන් ඉටු නොවීය.  


සැමවිටම තම පෞද්ගලික වැඩ කටයුතු වලටම මුල් තැනක් දුන් එතුමා නිවසේ සියලු වැඩ කටයුතු හමාර කොට පාසලට ගියේ පොත අත්සන් කිරීමට පමණි. සෑම මසකම අවසන තම වැටුප ලබා ගැනීම නම් අකුරටම ඉටුවිය.  


අහිංසක ගැමියන් මොහුගේ මේ පව්කාර ක්‍රියාවන් නොරිස්සුවත් තම දරුවන්ගේ අනාගතය අඳුරට යවන මේ අමනයාගේ වැඩ වලට එක එල්ලේ එරෙහිවීමට තරම් ශක්තියක් කිසිදු ගැමියකුට නොවීය. ඒ ඔහු ඒ හැම එකකින්ම සූක්ෂමව ගැලවීයාමට සමතෙක් බව ගැමියන් හොඳින්ම දන්නා නිසාය. එසේම ඔහුට එරෙහි වුවොත් තම දරුවන්ට අවැඩක් වෙතැයි ඔවුහු බිය වූහ. ඒ අනුව ජයතුංග සර්ට එක එල්ලේම එරෙහි වූ ගැමියන්ට කළ හැකි එකම දෙය වූයේ ජයතුංග සර්ගේ මේ පවිටු ක්‍රියාවන්ට සුදුසු නිසි දඬුවම් ලබා දෙන ලෙස දෙවියන්ට කන්නලව් කිරීම පමණි. මෙසේ කලක් ගත වෙත්ම ගැමියන්ගේ ඉල්ලීමට දෙවියන් සවන් දුන්නාක් මෙනි. වතුර නටන තෙක් දිය සැළියේ නටන කකුළුවාමෙන් කල් ගත කළ ජයතුංග ගුරාගේ පව් පල දෙන්නට විය.  


ඔහු බලහත්කාරයෙන් මෙන් අයිතිකරගත් ඉඩමකට ආරවුලක් හට ගත්තේ ඔහුවත් නොසිතූ ලෙසිනි. එම ආරවුල එන්න එන්නම වැඩිවූවා මිස අඩුවක් වෙන බවක් නම් පෙනෙන්නට නොවීය. දිනක් මේ ආරවුල උච්චතම අවස්ථාවකට පත්විය. එය විශාල පිරිසක් එක් වූ ගැටුමක් බවට පත් විය. මේ ආරවුලට මැදිහත්වීමට ජයතුංග සර්ටද සිදුවිය.   
ගැටුම අතර තුර එක්වරම ජයතුංග සර්ගේ හිසට එල්ල වූ තද බල පොලු පහරක් නිසා ඔහු සිහිසුන්ව එතැනම ඇද වැටුණි. වහ වහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් ඉතා අවාසනාවන්ත ලෙස සිහි සුන්වම මාස ගණනක් ගත කර ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක යෙදුණ ඔහු සිහි සුන්වම මෙලොව හැර ගියේ කළ පව්කම් වලට නිසි දඬුවම් ලබමිනි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්