• සමහර දුරකථන පැකේජවල  ඩේටාත් නෑ. සිග්නල් එන්නෙත් නෑ.
  • අලුත් ස්මාට් ෆෝන් ගත්තත් ජාලවලට ප්‍රවේශ වෙන්න බෑ.   

 

 

විසිඑක්වැනි සියවසේ දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල සාමාන්‍ය අධ්‍යාපනය සමඟ ඔන්ලයින් (Online) අධ්‍යාපන ක්‍රමය ගහට පොත්තක් මෙන් බැඳී පවතී.   


 එහෙත් අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ නම් Online ක්‍රමය අලුත් දෙයකි. මේ පිළිබඳව උනන්දුවක් රට තුළ ඇතිවූයේ කොරෝනා වසංගතයට මුහුණ දීමට අපේ පාසල් නිවාඩුදීමත් සමඟම ඊට විකල්පයක් ලෙසිනි.   


අද වන විට පෙරපාසල් දරුවාගේත් උසස් පෙළ සිසු දරුවන්ගේත්, සරසවි සිසු සිසුවියන් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ Online ක්‍රමය ප්‍රචලිත වී ඇති අතර දෙමව්පියෝ ද එමඟින් සුරැකෙන දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ තෘප්තිමත් වෙති.   


එහෙත් Online ක්‍රමය සඳහා උපයෝගී කරගනු ලබන දුරකථන සමාගම්වල විවිධ පැකේජයන් මඟින් මව්පියන්ගේ මුදල් කඩාගැනීමේ ක්‍රමවේදයක් ඇරඹී ඇති බවට ද සමාජයෙන් විවිධ මැසිවිලි ඇසේ.   


ඒ පිළිබඳ අපි සමාජයෙන් විමසීමක් කළෙමු.   


ලංකා ගුරු සංගමේ ලේකම්   
ජෝශප් ස්ටාර්ලින් මහතා   


ඇත්තටම ලංකාවේ පාසල් දරුවන්ට විදුහල තුළට දුරකථන ගෙනියන්න තහනම් කරලානෙ තිබුණේ. මුලදී එසේ ගෙනයාමෙන් විවිධාකාර ප්‍රශ්න ඇතිවුණා. නිවසේදී වුණත් ළමයින්ට ජංගම දුරකතන, අන්තර්ජාල භාවිතය හැම දේම තහනම් වුණා. කොරෝනා වසංගතයට පෙර එනම් මාර්තු 12 ද‌ා පාසල්වල නිවාඩු ලබා දීමට පෙර තිබූ තත්ත්වයයි ඒ.   


ඊට පසුව ඇතිවුණ අලුත් තත්ත්වයත් එක්ක පාසල්වල ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට කරන්න පෙළැඹීම් සිදුවුණා.   


 මෙහි ප්‍රශ්න තියෙන්නෙ ලංකාවෙ පරිගණක සාක්ෂරතාව තියෙන්නේ 23% ක් වීමයි. ළමයින්ට විශාල වශයෙන් ඒ පිළිබඳ හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ වගේම ගුරුවරුන්ටත් ඒ සඳහා අවශ්‍ය දැනුම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කරලා තිබුණෙත් නැහැ.   
විශේෂයෙන් ගුරුවරුන්ට පරිගණක තාක්ෂණය පිළිබඳව විශේෂ පුහුණුවක් දෙන්න වැඩපිළිවෙළක් හදලා තිබුණෙත් නැහැ. මේ තත්ත්වය තුළ Online ක්‍රමයට අධ්‍යාපනය දෙන්න පාලකයො විවිධ කලාප කාර්යාලවලදී කටයුතු කළත් ඒ තුළින් ලොකු සාර්ථකත්වයක් සිදුවුණේ නැහැ.   


මේ ක්‍රමය ළමයින්ට මේ කාලෙට වැදගත් වුණත් මේ හරහා දෙමව්පියන්ට ලොකු වියදමක් දරන්න සිදුවුණා. Data වලට විශාල මුදලක් වැයවෙන නිසා.   
ඉගැන්වීම් කටයුතු පවා සිද්ධ වුණේ ගොඩක් වෙලාවට (Whats APP) හරහා.   


මෑතකදී තමයි Zoom, Google Class Room, වගේ ඇප් වාර්ග ආවෙ. ඒවා ප්‍රචලිත වෙලා තවම මාසයක්වත් නැහැ.   


මේ දේ විශේෂයෙන් වුණේ ප්‍රධාන පාසල් කිහිපයක යම්කිසි විදියක ආර්ථික හැකියාවක් සහිත දෙමව්පියො ඉන්න තැන්වල පමණයි.   


අධ්‍යාපන බලධාරීන් කතා කරන්නෙ මේ තත්ත්වය ඉතා සාර්ථක වුණා වගේ. ඒත් ඇත්තටම ළමයින්ට මේ තුළින් ලොකු දෙයක් සාර්ථකව කරගන්න ලැබුණේ නැහැ. ඒවාට පහසුකම් නැහැ.   


හැබැයි බලනකොට මේ ක්‍රම තුළින් දුරකථන සමාගම් බරපතළ විදියට සල්ලි හම්බ කරපු එක තමයි කරලා තියෙන්නේ වැඩිපුරම. මොකද මේ ක්‍රමයෙන් අධ්‍යාපන කටයුතු කරද්දී ඩේටාවලට (Data) වැඩි ගණනක් අයවෙනවා. ඒ වගේම පැය ගණන් කතා කරන්න වෙනවනෙ ඩේටාවලින්. ඒවට මුදල් යනවා. ඉතින් මේ සඳහා මුදල් දෙන සහන වැඩ පිළිවෙළක් රජයෙන් සිදුවුණේ නැහැ. මෙය වියදම් අධික ක්‍රමවේදයක් නිසා දෙමව්පියන්ට වියදම් දරාගන්න අමාරුයි. ටියුෂන් පන්තිවලිනුත් මහා පරිමාණ ගසා කෑමක යෙදෙනවා මේ හරහා. ඒ විවිධ ඇප් හරහා ඉගැන්වීම් කටයුතු සිද්ධ කරලා. ඇත්තටම දැන්වත් යම්කිසි විදියක පහසුකම් සහිතව යම් වැඩපිළිවෙළක් සකස් කළා නම් අනාගතයට හොඳයි.   


ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ලයින් ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්​ෙ‌ය්ෂිකා ආචාර්ය සුජාතා ගමගේ:   


තොරතුරු තාක්ෂණය අධ්‍යාපනයට එක්කිරීම ගැන දශක තුනක සිට හෝ ඊට පෙර හෝ ලෝකය පුරාම උත්සාහයන් ගෙන තියෙනවා. නමුත් මේ දේ කරන්න හරි අමාරුයි.   


පාසල තුළ මුහුණට මුහුණලා උගන්වද්දී තාක්ෂණය පාවිච්චි කරන්න අමාරුයි. නමුත් තාක්ෂණයේ පුදුම වටිනාකමක් තියෙනවා අධ්‍යාපනයට.   
 හැම දෙමාපියෙක්ම සිහින මවන්නෙ ළමයින්ට ඉහළම අධ්‍යාපනයක් ලබා දෙන්න. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල්වල සම්පත් සහ ඵලද‌ායිතාව එතරම් ඉහළ ගිහින් නැහැ. ඉතින් තාක්ෂණය මීට වඩා කාර්යක්ෂමව කරගන්න හැකි නම් ඉතා වැදගත්.   


හොඳ ගුරුවරුන්ගේ වීඩියෝ මාලා මේ වෙද්දී අපිට දකින්න තියෙනවා. දැනුම කියන දේ ඒවා හරහා ලබාගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තුළින් ඉතාමත් කාර්යක්ෂමව ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. ‘DP ඇකඩමි’ නමින් හොඳ වීඩියෝ මාලාවක් පසුගියදා හදලා තියෙනවා දැකගන්න ලැබුණා.   
 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන්ට විෂයන් 12 ක් තියෙනවා. ඉතින් මේ විෂයන්වල අච්චු පොත් බැලුවම සමහර විෂයන්වලට එවැනි පොත් මුද්‍රණය කිරීම අවශ්‍යතාවකුත් නැහැ. මොකද ඒ තුළ තියෙන්නෙ සාමාන්‍ය දැනීම. ක්‍රීඩා සහ ශරීර සුවතාවලට තියෙන්නේ පාපන්දුවට පහර දෙන විදිය විස්තර කිරීම්. ඒවා අදියරෙන් අදියර පින්තූර ඇඳලා තියෙනවා. ඇත්තටම මේ දේවල් පෙළ පොත්වලින් අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නැහැ.   


ළමයින්ට ගණිතය, විද්‍යාව, ඉතිහාසය විෂයන් හැරුණම අනිත් විෂයන් අද‌ාළ දේවල් ඉගෙනගන්න තියෙන්නේ අවට පරිසරයෙන්. 21 වන ශතවර්ෂයට දරුවන් අවශ්‍ය වෙන්නේ තනියෙන් ඉගෙන ගැනීම. නමුත් හැම දේම සාමාන්‍ය සරළ දේවල් පවා ගුරුවරයා පුවරුවේ ලිවීම පුරුද්දක් කරගෙන ඉන්නවා. ළමයින්ට තනියෙන් හද‌ාරා අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබා දෙන්නෙම නැහැ.   


ළමයින්ට අද මූලිකවම අවශ්‍ය වෙන්නෙ විචාරාත්මක බුද්ධිය, අන්තර් පුද්ගල සම්බන්ධතා, දිරිය ශක්තිය සහ ධෛර්යය, පුරවැසිභාවය, තොරතුරු හා තාක්ෂණ දැනුම යන ඒවායි. ඉතින් පෙළපොතකින් මූලික කරුණු පමණක් දීලා ළමයින්ටම අන්තර්ජාලය පරිහරණය කරලා ගවේෂණයෙන් ගවේෂණයේ යෙදීමට ඉඩදීම ගොඩක් හොඳයි. ඇත්තටම, ඒ වගේ දේවල් කරගන්න බැරිව තිබුණෙ අපේ සාම්ප්‍රද‌ායික අධ්‍යාපනය ක්‍රමය ඇතුළෙයි.   


ඒ නිසා මේ මාස තුන මම නම් හිතනවා පීඩාකාරී අධ්‍යාපනයෙන් ළමයාව ඉවත් කරගන්න හැකිවීම ලොකු දෙයක් කියලා.  


ලංකාවේ අපේ ‘ලර්න් ඒෂියා’ ආයතනයෙන් රටවල් කිහිපයක කළ සමීක්ෂණයකින් හෙළිවුණේ 2018 වසරේදී අවුරුදු 5 ත් 18 ත් අතර දරුවො ඉන්න පවුල්වල 48% ට ස්මාර්ට් ෆෝන් පහසුකම් තිබූ බවයි. ඒත් අන්තර්ජාල පහසුකම් තිබුණෙ 34% යි.  


නමුත් දෙමව්පියො මේ කාලෙදි ගොඩක් ස්මාර්ට් ෆෝන් ගත්තා. නමුත් ඉන් අර්ධයකටවත් මේ දරුවන්ට Online අධ්‍යාපනය දෙන්න හැකි වුණේ නැහැ.  
ඒ කාලෙ චක්‍රලේඛයේ අනිවාර්ය අධ්‍යාපනයේ කොටසක් හැටියට ළමයින් පාසල් යවනව ද බලන්න කමිටු තිබුණා. ග්‍රාමසේවා නිලධාරි මට්ටමින් ඒවා ක්‍රියාත්මක වුණා.  


ඉතින් අද තාක්ෂණික දියුණුවත් එක්ක 96% ක ජනතාවකට දුරකතන තියෙනවා. ඒ අතින් අපි පොහොසත්. ඒ නිසා මෙවැනි සිදුවීමකදී නැවත හෝ පාසල් වහන්න සිදුවුවහොත් සෑම ළමයෙකුම මේ අධ්‍යාපන ක්‍රමයට සම්බන්ධ කරගන්න ඕනැ.  


ආණ්ඩුවෙන් මේ හැමදේකටම විසිඳුම් හොයාගන්න ඕනැ. ඇත්තටම මේ Online ඉගෙනීම හොඳ අවස්ථාවක්. නමුත් වියදම් සැරයි. ආණ්ඩුව ඊට යම් සහනයක් ලබා දෙනව නම් හොඳයි.   


​ආර්ථික අතින් මොන ප්‍රශ්න ඇති වුණත් දෙමව්පියො කෑම, බීම අඩුකර හෝ ළමයින්ට අධ්‍යාපනය දෙන්න බලාපොරොත්තු වෙන්නෙ. මේ ක්‍රමය දැන් විශ්වවිද්‍යාලවලට පවා ගිහින් තියෙනවා. ඉතින් හරියට ක්‍රියාත්මක කළොත් අනාගතයට මේ Online ක්‍රමය හොඳ පිටිවහලක් වෙයි කියලා හිතෙනවා. ඒ ගැන නිසි බලධාරීන්ගෙත් දෑස් යොමුවේවා.  


මේ පිළිබඳව දෙමව්පියන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් කිහිපයකි මේ.  


මහරගම සමන් ප්‍රියන්ත මහතා:  


මට දරුවො දෙන්නෙක් ඉන්නවා. 8 වසරෙ සහ 10 වසරෙ තමයි ඉගෙනුම ලබන්නෙ. ළමයින් දෙන්නටම සමහර වෙලාවට එකම වෙලාවෙ Online පන්ති පැවැත්වෙනවා. 2015 සිට 2020 දක්වා පැවැති ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් සිසුන් සඳහා ටැබ් ලබාදෙන්න කටයුතු කරලා තිබුණා. ඒත් එය ලැබුණෙ නැහැ. ලැබුණා නම් Online අධ්‍යාපන ක්‍රමයට මීට වඩා හොඳයි.  


නමුත් මේ දේවල්වලට යොදන්න මුදල් අපහසුතා ගොඩක් තියෙනවා. ටැබ් එකක් මිලදී ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ඇත්තටම රටේ මේ තත්ත්වයත් එක්ක මේ දේවල්වලට වියදම් කරන්න ගොඩක් අමාරුයි.  


දවසට ඩේටා කාඩ්වලට උපරිම 200 ක් 300 ක් වත් යොදවන්න ඕනැනේ. පැකේජ් අරගෙන ඒවට ගෙවාගන්න ලොකු ආර්ථිකයක් අපිට නැහැ.  
ඇත්තටම මේ දේවල්වලට හොඳ වැඩපිළිවෙළක් යොදනව නම් ගොඩක් හොඳයි. මොකද මේ ඇතිවෙලා තියෙන වසංගත තත්ත්වයත් එක්ක ළමයින්ගෙ ආරක්ෂාවට ගෙදරම ඉන්න එකනෙ වැදගත් වෙන්නෙ.  


අද පවතින ආර්ථික ගැටලු එක්ක දුරකතන සමාගම්වලට ලොකු ගානක් ගෙවාගන්න බැහැ. මේ දේවල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් දෙයක් කළහොත් හොඳයි කියලා හිතෙනවා.  


රසිකා ප්‍රියංගනී මහත්මිය:  


මට දරුවො දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. දුව ලබන අවුරුද්දෙ උසස් පෙළ කරනවා. පුතා 7 වසරෙ ඉගෙන ගන්නෙ. පාසලෙන් පන්තිවලට අමතරව පෞද්ගලික පන්තිත් කරනවා. දෙන්නටම උගන්වන්න ගියාම දවසකට සෑහෙන මුදලක් වැය වෙනවා. දෙන්නට ෆෝන් එකයි ටැබ් එකයි තමයි පාවිච්චි කරන්න දුන්නෙ.  


දුවගෙ වැඩවලට විතරක් දවසට රුපියල් 299 පැකේජ් එකක් ද‌ාන්න ඕනැ. පුතාට වෙනම රුපියල් 200 පැකේජ් එකක් ද‌ානවා. පුතාට ගොඩක් වෙලාවට ප්‍රධාන විෂයන් ටික විතරයි Online හරහා සම්බන්ධ වෙන්නෙ. නමුත් දුවට විෂයන් සියල්ලම උගන්වනවා. විද්‍යා අංශයෙන් උසස් පෙළ හද‌ාරන්නෙ. ඒ විෂයන් ටිකත් ඉංග්‍රීසි භාෂාවත් උගන්වනවා.  


ඉතින් සමහර දවස්වලට ඒ ද‌ාන රුපියල් 299 ඉක්මනින් ඉවර වෙනවා. ඒ නිසාම අපි රවුටරයක් ලබාගත්තා. මාසෙකට 900 ක් පැකේජ් එකක්. ඉතින් දැන් පාන්දර 6 ඉඳන් 12 වෙනකම් පාසලෙන් ගුරුවර ගුරුවරියො උගන්වනවා. ඉතින් උදේ පාන්දර නිසා එතරම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් දැන් පැකේජ් යොද‌ා ගත්තත් ඒවගේ සිග්නල් ප්‍රශ්න පවා තියෙනවා.

  
ර​ටේ ඇතිවෙලා තියෙන තත්ත්වය එක්ක ළමයින්ගෙ ආරක්ෂාවට ගෙදරම ඉන්න එක නම් ගොඩක්ම හොඳයි. මේ Online අධ්‍යාපන ක්‍රමයත් ඇත්තටම හොඳ දෙයක්. නමුත් ඉතින් වියදම දරාගන්න අපට බැහැ. යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරනව නම් හොඳයි.  

 

 

 

සංවාද සටහන - ධනු විජේරත්න