ජනගහණයට සාපේක්ෂව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ‘ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017’ වාර්තාවල සඳහන් කරයි.  


 2014 වසරේ සිට 2016 වසර දක්වා දත්ත පදනම් කරගෙන මෙම වාර්තාව සකසා ඇති අතර එහි ජනගහනයට සාපේක්ෂව මන්දපෝෂණය සියයට 22.1 ක් ලෙස සඳහන් කර තිබේ. 2004 සිට 2006 දක්වා වූ කාලය තුළ මන්දපෝෂණය සියයට 7.3 කින් පහත වැටී ඇති බවත් 2014, 2016 කාලයේදී එය අනෙක් රටවලට සාපේක්ෂව මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත් එම වාර්තාවෙන් තහවුරු කර ඇත.  


 මීට පෙර අවස්ථාවකදී ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා දී තිබුණේ උතුරු නැගෙනහිර පළාත්වල ළමයින් අතරින් සියයට 46 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය. ඇතැම් ප්‍රදේශවල එය සියයට 50 ඉක්ම වන බවත් ඔවුන් පෙන්වා දී තිබුණි. ඔවුනගේ වාර්තා අනුව ළමයින්, කිරි දෙන මව්වරුන් ගර්භනී කාන්තාවන් මන්දපෝෂණ තත්ත්වයන්ට ගොදුරු වූ පිරිස අතර ප්‍රමුඛ ස්ථානය ගනී.  


සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2010 වසරේදී දරුවන්ගේ හා කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ ජන සංඛ්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණයක් පවත්වා තිබිණි. එහිදීද හඳුනාගෙන තිබුණේ රටේ වෙනත් පළාත්වලට වඩා වැඩි ප්‍රතිශතයක මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් උතුරු නැගෙනහිර පළාත්වල සිටින බවය.  


රටේ සාමාන්‍ය ළමා මන්දපෝෂණ මට්ටම සියයට 29 ක් පමණ වෙනවිට එම පළාත්වල එය සියයට 46 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවත් ගැහැණු ළමයින් සියයට 42 ක ප්‍රතිශතයක් හා පිරිමි ළමුන් සියයට 50 ක ප්‍රතිශතයක් මීට ගොදුරු වී ඇති බවත් එම සමික්ෂණ වාර්තාවල පෙන්වා දී ඇත.  


2006/07 ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ සමීක්ෂණවලට අනුව බර අඩු දරුවන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක් වතුකර ප්‍රදේශයේ දක්නට ඇති බව තහවුරු වී ඇත. එහිදී සියයට 31 ක ප්‍රතිශතයක් බර අඩු දරු උපත් සිදුවෙන බවත් නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක සංඛ්‍යාත්මක වෙනසක් පෙන්වන බවත් හෙළිවී ඇත.   


1991 සිට 2006 වසර වෙන විට ශ්‍රී ලංකාවේ අවම චේතනයක් ලබන වතු කම්කරුවන්ගේ දිළිඳු භාවයේ වර්ධන වේගය සියයට 56 කි.  


 ගැබිනි මව්වරුන් අතර නීරක්තියෙන් පෙළෙන මව්වරුන් සියයට 16.2 ක්ද කිරි දෙන මව්වරුන් අතර නිරක්තියෙන් පෙළෙන මව්වරුන් සියයට 19.6 ක්ද නීරක්තියෙන් පෙළෙන වෙනත් කාන්තාවන් සියයට 21.7 ක්ද වෙන බව ආසියානු මානව හිමිකම් වාර්තාවල සඳහන්ව ඇත.  


 එම වාර්තාවලට අනුව ළදරු මන්ද පෝෂණයට මව්වරුන්ගේ අඩු අධ්‍යාපන මට්ටම තදින්ම බලපා ඇති බවත් වැඩිහිටි මන්දපෝෂණයට දරිද්‍රතාව මූලික වී ඇති බවත් තහවුරු වී ඇත.  


මන්දපෝෂණය පිළිබඳ හෙළිදරව් කළ මෙවන් වූ තතු නිසා ඒ පිළිබඳ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හා මහ බැංකු වාර්තාවල දත්තයන් ද පිරික්සුවෙමු.  


 2012 වෙන විට ලංකාවේ මුළු ජනගහණය 20,359,439 කි. එය ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට පුද්ගලයින් 325 ක් ලෙස වෙයි. 2009/10 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහන ප්‍රතිශතය (මන්නාරම, මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික් හැර) 8.9 කි. (මිලියන 1.8 කි.) 2016 මැදි වසර ජනගහණය පුද්ගලයින් දහස් 21203 කි. එහි වර්ධන අනුපාතය 1.1 කි. මීට සාපේක්ෂව ශ්‍රම බලකායේ ප්‍රමාණය පුද්ගලයින් දහස් 8311 කි. සේවා වියුක්ති අනුපාතය ශ්‍රම බළකා ප්‍රතිශතයක් ලෙස 4.4 කි.  


 මේ ආකාරයට ජනගහනය වර්ධනය වීමත් සේවා නියුක්තිකයන් අතර අඩු ආදායම්ලාභීන් සිටීමත්, සේවා වියුක්තිය වැඩි වීමත්, යැපුම් සංඛ්‍යාව වැඩිවීමත් යන සාධක මත දරිද්‍රතාව නිර්මාණය වී ඇත.  


එහිදී අඩු අධ්‍යාපනය, බාල වයස් විවාහ, අඩු පෝෂණය යන සාධක ද මන්දපෝෂණයේ ප්‍රධාන තීරක වී ඇති බව පෙනී යයි. එනම් දෛනික ඒකපුද්ගල ශක්ති පරිභෝජනයට අනුව එක් පුද්ගලයෙකුට දිනකට කිලෝ කැලරි 2155 ක් අවශ්‍ය වේ. ලංකාවේ ජනගහනයෙන් හරි අඩක්ම නිර්දේශිත කැලරි ප්‍රමාණය ලබා ගන්නේ නැත. සමීක්ෂණවලට අනුව දිළිඳු ජනතාවගේ සාමාන්‍ය දෛනික ඒක පුද්ගල ශක්ති පරිභෝජනය කිලෝ කැලරි 1472 ක් වෙයි.  


යුද්ධය පැවැති ප්‍රදේශ, වතුකරය හා නොදියුණු ග්‍රාමීය ප්‍රදේශය මන්දපෝෂනයෙන් බැටකන ප්‍රදේශ ලෙස නම් දැරීමට අඩු අධ්‍යාපනය හේතු වී ඇති බව මින් පෙනී යයි.  


පැරණි වාර්තා හා සංඛ්‍යා ලේඛන පරික්ෂාවෙන්ද පෙනී යන්නේ ඒක පුද්ගල ආදායම ප්‍රතිශත වශයෙන් ඉහළ අගයක් ගත්තද තවමත් අඩු ආදායම් ලබන පවුල් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර එය අඩු අධ්‍යාපනයට සේම අඩු පෝෂණයට ද බලපෑම් කර ඇති ආකාරයයි. තිස් අවුරුදු යුද්ධයේ සාපයත් දේශගුණික කාලගුණික විපර්යාසත් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය කඩා වැටීමට හේතු පාදක වී ඇති තවත් සාධක කීපයකි.  


මෙවන් වූ කරුණු නිසාම ලංකාව තුළ පවතින වර්තමාන සෞඛ්‍ය තත්ත්වය හා මන්ද පෝෂණ තත්ත්වය කුමක්ද? ඊට බලපා ඇති හේතු සාධක කවරේද? එය වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳ කතා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය මධුර ජයසිංහ මහතා සම්බන්ධ කර ගත්තෙමු.  


මන්ද පෝෂණයෙන් ලංකාවට දෙවැනි තැන හිමිවී ඇති බව 2017 ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ පිළිබඳ මොකද හිතෙන්නේ.  


ලෝක බැංකු වාර්තාවලට අනුව ඇෆ්ගනිස්ථානයට වඩා උඩින් අපි ඉන්නවා. ලංකාවේ වයස අවුරුදු 14 ට වැඩි ජනයාගෙන් සියයට 22 ක් මන්දපෝෂණයෙන් පෙලෙන බවයි ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.  
මේ ලෝක බැංකු වාර්තාවල ඇති දත්තයන් කුමන පදනම් මත තීරණය කර ඇද්දැයි යන්න ගැටලු සහගතයි. ඔවුන් විවිධ පර්‌යේෂණ පත්‍රිකා හා රාජ්‍ය නොවන සංවිධානවල දත්තයන් පදනම් කරගෙන එවැනි වාර්තාවක් සකසා ඇත්නම් අපි ඒ මතම තීන්දු තීරණ ගැනීම නිවරදි නෑ.  


 මේ අය පාවිච්චි කරන්නේ මන්දපෝෂණ ප්‍රතිශතය. ඒත් ලෝක සෞඛ්‍ය ආයතනය පවසනවා මන්දපෝෂණ ප්‍රතිශතය මත පදනම්වෙලා පමණක් යම් රටක් පෝෂණ අවශ්‍යතා අතින් දුර්වලයි කියලා නිගමනය කළ නොහැකි බව.  


ඒකට ගන්න පුළුවන් හොඳම දර්ශකය වෙන්නේ ලෝක කුසගිනි දර්ශකයයි. කුසගිනි දර්ශකයට පදනම් වෙන නිරණායක 4 ක් තිබෙනවා.  


 1. මන්දපෝ්ෂණ ප්‍රතිශතය  
2. ළදරු මරණ අනුපාතිකය  
3. අවුරුදු 5 ට අඩු කුඩා දරුවන්ගේ ක්ෂය වීමේ ප්‍රවණතාව  
4. කුඩා දරුවන්ගේ කුරුබවේ ප්‍රවණතාව. 

 
 මේ කාරණා හතර මත පදනම් වූ සමීකරණයක් තිබෙනවා. ඒ අනුව ඔවුන් තීරණය කරනවා හොඳම රටවල් මොනවද, පහළ ඉන්න රටවල් මොනවද කියලා. මේ කුසගිනි දර්ශකය අනුව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය කියන රටවලට ඉස්සරහින් ලංකාව ඉන්නවා.  


2015 දත්ත අනුව රටවල් 119 ක් වර්ගීකරණය කරලා තිබෙනවා. එහි ලංකාව ඉන්නේ 84 වැනි ස්ථානයේ. කුසගිනි දර්ශකයට අනුව නම් අන් දකුණු ආසියාතික රටවලට වඩා ඉදිරියෙන් ලංකාව සිටින බව පෙනී යනවා.  
 මේ කියන මන්දපෝෂණයට හේතු විස්තර කළොත්?  


මන්දපෝෂණය පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් හිතන්නේ ප්‍රධාන පෝෂණ සංඝටක නොලැබීම මන්දපෝෂණයට හේතුවක් බව. ඒත් ඒක එහෙම නෙවෙයි. අපි දන්නවා ප්‍රධාන පෝෂණ සංඝටක හතර කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන් සහ තන්තුබව. මීට අමතරව ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග 12 ක් තිබෙනවා. ඒ වගේම ඛණිජ-අයන වර්ග 13 ක් තිබෙනවා. මේ ඛණිජ හරි විටමින් හරි වර්ග කීපයක් කාලාන්තරයක් තිස්සේ ශරීරයට නොලැබීමම මන්ද පෝෂණයට හේතුවිය හැකියි.  


 ලංකාවේ ජීවත්වෙන මිනිස්සු අතීතයේ සිටම පුරුදුවී සිටියේ බත් සමඟ එළවළු මාළු කීපයක් ආහාරයට ගැනීමට. එහි සමතුලිත බාවයක් තිබෙනවා. නමුත් මෑත කාලයේ මිනිස්සුන්ගෙ ජීවන රටාව වෙනස් වුණා. යුද්ධයත් ඊට ප්‍රධාන හේතුවක්. උතුරු නැගෙනහිර, නුවරඑළිය, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල ආහාර රටාව වෙනස් වුණා. මිල උච්චාවචනය වීම දුප්පත් පළාත්වල ආහාර රටාව වෙනස් වීමට සෘජුවම බලපෑවා. එය සිරුරට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් නොලැබීමට එය හේතුපාදක වුණා.  


 මීට අමතරව අප සිතනවා වත්කම් ඇති අය සමබර ආහාර වේලක් ගන්නවා. ඔවුන්ට ඇත්තේ අධිපෝෂණය. ඔවුන්ට මන්දපෝෂණය වැළ​ෙඳන්නේ නෑ කියලා. මෙය මිත්‍යාවක්. අපි ළඟදි කළ සමීක්ෂණයකින් මෙවැනි දෙයක් අනාවරණය වුණා. කොළඹ, මහනුවර, ගාල්ල වගේ වැඩි ආදායම් ලාභීන් සිටින නගරාශ්‍රිත ප්‍රදේශවල අය ක්ෂණික ආහාරවලට හුරු​වෙලා ඉන්නවා. මේ ක්ෂණික ආහාරවල තන්තුමය කෙඳි හා විටමින් වර්ග අඩුයි. සමේ ඌණතා, ඇස් පෙනීම  දුර්වල වීම, අස්ථි වර්ධනය අඩුවීම ඉන් සිදුවෙනවා. එවැනි හේතු නිසා ධනවත් පාන්තිකයන් පීඩා විඳින අවස්ථා තිබෙනවා.  


 මේ තත්ත්වය වළක්වා ගන්න සමබර පෝෂණීය ආහාර වේලක වැදගත්කම පිළිබඳව කියලා දෙන්න ඕන. හේතුව ආහාරයක ගුණාත්මක භාවය පිළිබඳ අදහස මිනිසුන්ගේ සිත්වල තිබ්බත් සිරුරට අවශ්‍ය පෝෂණ කොටස්වල ප්‍රමාණාත්මක භාවය පිළිබඳ ඇති අඩු අවබෝධය.  


ඒ වගේම මේ පෝෂණ ඌණතාවලින් මිදීම සඳහා රනිල කුලයේ ධාන්‍ය (රතු කවුපි, සුදු කව්පි, කඩල, මුංඇට වැනි) පරිභෝජනයට ගත යුතුයි.  


ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා නිවරදි ආහාර පුරුදුයි වැදගත් වෙන්නේ.  


ආසියානු මානව හිමිකම් සංවිධානය පවසනවා උතුරු නැගෙනහිර හා වතුජනයා අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ බව. ඊට අඩු අධ්‍යාපනය හා දරිද්‍රතාව හේතුව බවයි ඔවුන් පවසන්නේ. ඒ පිළිබඳව කතා කළොත්?  
ඒක හරි. එය අපේ සමික්ෂණවලිනුත් අපි සොයාගෙන තිබෙනවා. 1985 වෙන විට සියයට 26 ක තිබුණ මන්දපෝෂණ ප්‍රතිශතය මේ වෙන විට සියයට 4 ක් පමණ අඩුවී ඇති බවයි සොයාගෙන තිබෙන්නේ. මීට හේතුව උතුරු නැගෙනහිර පැවැති යුද්ධය, සෞඛ්‍ය අධ්‍යාපනය අඩුයි. ගැබිනි මව්වරු තිබෙන කුමක් හෝ ආහාරයට ගන්නවා. ගොඩක් අම්මලා කන්නේ දෙවේලයි. සමහරු පරිප්පුයි බතුයි කාලා ඉන්නවා.  


රක්ත හීනතාවය නවත්වන්න අයන් සහ ප්‍රෝටීන් අවශ්‍යයි. අයන් ගොඩක් තිබෙන්නේ සත්ව හා කිරි ආහාරවලත් හතු වගේ ආහාර හා රනිල කුලයේ ධාන්‍ය වර්ගවලත්. රොටියක් එක්ක ලුණු මිරිස් කාලා, සම්බෝලයක් එක්ක තෝසේ කාලා ගැබිනි මාතාවකට සමබර ආහාර වේලක පෝෂණය ගන්න බෑ. රක්ත හීනතාව, විටමින් ‘ඒ’ ඌණතාව, ප්‍රෝටීන් හා කැලරි අවශ්‍යතාවයේ ඌණතාවට මේ අය ගොදුරු වෙනවා. 2015 ලෝක බැංකු වාර්තාවලත් ලංකාවේ මන්දපෝෂණ ප්‍රතිශතය සියයට 22 ක් ලෙස සඳහන් වෙනවා.  


  පාසල් යන දරුවන් කෙටි කෑමට හුරුවීම පෝෂණයට තර්ජනයක් නේද?  


ඔව්. මේකට බොහෝ හේතු බලපාලා තිබෙනවා. ලංකාවේ තාක්ෂණතා ප්‍රතිශතය සියයට 94 ක්. එය ලෝකය ගත්තොත් ඉහළම අගයක්. ළමයින් අධ්‍යාපනයට ප්‍රමුඛතාව තිබෙනවා. ඒත් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය අඩුවී තිබෙනවා. මේ දෙකම සමබර විය යුතුයි. ළමයි අධ්‍යාපන පීඩනය නිසා කටට රස සොයනවා. එය මානසික කාරණයක්. ඒත් මෙය ළමයි රෝග කරන ප්‍රධාන කාරණයක් වෙනවා. ඉන් බෝ නොවන රෝගවලට පාසල් දරුවන්ට ගොදුරුවෙනවා. ළඟදි ගත්ත වාර්තා අනුව ලංකාවේ දියවැඩියා ප්‍රතිශතය සියයට 20 ට ආසන්නයි. වැඩිහිටියන් 5 න් 1 ට වගේ දියවැඩියාව තිබෙනවා. ළමයි අතරත් තිබෙනවා.  


 දරුවන් අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා වගේම සෞඛ්‍යයත් ආරක්ෂා විය යුතුයි. එය බහුජාතික සමාගම්වල බලපෑමට හෝ දැන්වීම්කරණයේ බලපෑමට ලක් නොවී බුද්ධිමත්ව තේරුම්ගත යුතුයි.  

 

 

 

 

 

සටහන - කුමාරි හේරත්