IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඉකුත් සතියේ දේශපාලනය විපක්ෂ නායක ප්‍රශ්නය අධීක්ෂණ මන්ත්‍රී වැටුප් පැකේජය රට හොල්ලපු හැටි

පසුගිය සතියේ දේශපාලනයේ විශේෂ කරුණක් වී තිබුණේ විපක්ෂනායක තනතුර පිළිබඳ ප්‍රශ්නයයි. ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කර සිටිනුයේ විපක්ෂ මන්ත්‍රීවරු 70 ක් සිටින නිසා විපක්ෂ නායක තනතුර ඒකාබද්ධයට හිමිවිය යුතු බවයි. මේ රජය බලයට පත්වී දින 100 වැඩ පිළිවෙළින් පසු පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂ නායක ධුරය හිමි වූයේ මන්ත්‍රීවරු 17 දෙනකුගෙන් සමන්විත ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාටය. 

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රී පිරිසක් වූ නිසා ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලැබීමට හිමිකමක් නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් රජයෙන් ඉවත්වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70 කට ආසන්නවී ඇත. දැන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි නිසා යළි විපක්ෂනායකධුරය ඔවුහු ඉල්ලා සිටිති. විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකුගේ නම් යෝජනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ලිපි දෙකක්ද ඉදිරිපත් කර තිබුණි.   


දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධුරය ලැබිය යුතු බව සඳහන් කරමින් දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න හා සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් ලිපියත් ඒකාබද්ධ විපක්ෂය මගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට භාරදී ඇත.   


මීට අමතරව විපක්ෂ නායක ධුරයට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පත් කරන ලෙසට පළාත් පාලන සංසදය මගින් මහලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.   


මීට අමතරව ගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැය 1 1/2ක කාලයක් විපක්ෂ නායකධුරය ලබා ගැනීම පිළිබඳව මත ප්‍රකාශ කිරීම සිදුවිය.   


එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70ක් වී සිටින නිසා විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බවයි. දැනට විපක්ෂ නායක තනතුර දරන ආර්. සම්පන්දන් මහතාගේ පක්ෂයට සිටින්නේ මන්ත්‍රීවරු 16 දෙනෙක් පමණක් බව ප්‍රකාශ කර ඇති දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ බහුතරයක් ඒකාබද්ධ විපක්ෂය සතුව පවති බවයි.   


සම්පන්ධන් මහතාට විරුද්ධව පුද්ගලික ප්‍රශ්නයක් නොමැති බව ප්‍රකාශකර ඇති ඔහු දැන් ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබාදීමට කිසිදු බාධාවක්, ප්‍රශ්නයක් නොවන බව ප්‍රකාශ කර තිබුණි.   


වැඩි පිරිසක් විපක්ෂයේ සිටින පක්ෂයට විපක්ෂනායකධූරය ලබාදීම සම්ප්‍රදාය වන බවද ප්‍රකාශ කර ඇති දිනේෂ් ගුණවර්ධන මහතා දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවී ඇති බව බොහොම පැහැදිලි කරුණක් බව ද පෙන්වාදී ඇත.   


මේ තත්ත්වය නිසා ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකධුරය හිමිවිය යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත. මේ කරුණ පිළිබඳව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, බිමල් රත්නායක, උදය ගම්මන්පිල, අනුර කුමාර දිසානායක, නීතිඥ සිසිර ජයකොඩි, සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් අදහස් දක්වා තිබුණි.   


කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කීපය තුළ තීන්දුව ප්‍රකාශ කරන බවයි.   


මේ අතර ඒකාබද්ධයේ ඉල්ලීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ අමැතිවරු පිරිසක් නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ප්‍රකාශ වී ඇත්තේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සම්ප්‍රදාය දැනගෙනත් ජනතාව මුළා කිරීම සඳහා විපක්ෂනායක පදවිය ඉල්ලා සිටින බවයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ආණ්ඩු පක්ෂය හැරුණ විට වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබන පක්ෂයට විපක්ෂ නායක තනතුර හිමිවේ.   


මෙහිදී ඒකාබද්ධ විපක්ෂය සැබෑ ලෙසින් විපක්ෂ නායක තනතුර ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් සන්ධානයෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත යුතුව ඇති බව මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පෙන්වාදී ඇත. එය ඉටු කිරීමටද ඒකාබද්ධ විපක්ෂයට දැන් කිසිම බාධාවක් නැත. ඔවුහු රජයේ තනතුරු නොදරන අතර රජය විවේචනය කරන පිරිසක් බවට පත්වී සිටිති.   


එහෙත් ඒකාබද්ධ විපක්ෂය මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී නැත. ඔවුන් කොයි තරම් කෑ කෝ ගැසුවත් තවමත් ඔවුන් සන්ධානයේ මන්ත්‍රීවරුය. එබැවින් ඔවුන්ට විපක්ෂ නායකකම ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති බව මෙහිදී සාකච්ඡාවී ඇත. ඒකාබද්ධ විපක්ෂය බොරුවෙන් හා වංචාවෙන් කටයුතු කරමින් රජය ගොනාට ඇන්ඳීමට උත්සාහ දරන බව රජයේ අදහස වී ඇත.   


මෙහිදී ‘ඉරිදා ලංකාදීප’යට වාර්තාවන තවත් කරුණක් ඇත. එනම් රජයට විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ඇතුළු කරුණු ගණනාවකි. ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමට කතානායකවරයා එකඟ නොවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.   

 

ඡායාරූපය : ඩික්සන් වසන්ත

 


අධීක්ෂණ මන්ත්‍රීවරුනට පහසුකම් සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබීම ගිය සතියේ තවත් විශේෂ කාරණයක් වී තිබිණි.   


ගම්පෙරළිය සංවර්ධන වැඩ සටහන පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යංශවලට පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රිවරුනට හත් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් හා නිල වාහනයක් ඇතුළු පහසුකම් ලබාදිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවකි.   


අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක්, හත් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්, නිල වාහනයක්, ඉන්ධන දීමනා, දුරකථන දීමනා ඇතුළු පහසුකම් ලබා දීමට නිලධාරි කමිටුවකින් කරන ලද යෝජනාවක් පදනම් කර ගනිමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාවට දැඩි විරෝධය දක්වා ඇත.   


මෙම අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය මගින් ඉදිරිපත් කරන ලද්දකි. පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂය තුළ ප්‍රතිසංස්කරණය විය යුතු බවට බලපෑම් එල්ල විය.   
තරුණයන්ට පක්ෂයේ තැනක් හිමිවිය යුතු බවට යෝජනා ඉදිරිපත් විය. එම ඉල්ලීම්වල එක් පියවරක් ලෙස පසුපෙළ මන්ත්‍රීවරු අධීක්ෂණ මන්ත්‍රීවරු වශයෙන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබුණි. ඒ අනුව ඇමැති තනතුරක් නොදරන සියලු මන්ත්‍රීවරුන් අමාත්‍යංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් වශයෙන් පත් කරනු ලැබ තිබිණි.  


එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ ඇතැම් ඇමැතිවරු මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුනට පහසුකම් සලසා දී නොතිබුණි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් ඇමැතිවරු අධීක්ෂණ මන්ත්‍රීවරුනට කාර්යාල ඉඩකඩ ලබා දුන්නත් අඩු වශයෙන් කාර්යාල කාර්ය සහායකයකු හෝ දුරකථනයක් ලබාදී නොතිබුණ බව කියති.  


ඇමැතිවරයා උපදෙස් දෙන ස්ථානවලට යාමට වාහනයක් හෝ ලැබෙන්නේ නැති තරම්ය. අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේ කිසිදු පහසුකමක් ලබාදී නැති බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් මත ක්‍රියාත්මක කෙරෙන අධීක්ෂණ මන්ත්‍රී වැඩ පිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයාගේ නම් කිසිදු එකඟතාවක් නොමැති බව පෙන්නුම් කරන්නේ යැයි අධීක්ෂණ මන්ත්‍රීවරුන් බොහොමයකගේ අදහස වී ඇත.   


ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකුගේ උපන් දිනයන් පසුගිය සතියේ යෙදී තිබුණි. එ් බස්නාහිර පළාත් හා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේය.  


උපන් දිනය යෙදී තිබුණ පසුගිය 4 වැනිදා ඇමැතිවරුන් දෙදෙනාම ආගමික කටයුතුවලට මූලික ස්ථානය ලබාදී තිබීම විශේෂයක් විය. පාඨලී චම්පික ඇමැතිවරයාගේ උපන් දිනය යෙදී තිබුණ පසුගිය 4 වැනිදා සෙනසුරාදාවක්වූ නිසා ඔහුගේ අමාත්‍යංශයේ සේවකයන් 3 වැනිදා ලේ දන්දීමේ පිංකමක් සංවිධානය කර තිබුණි. සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයේ දී මෙම ලේ දන්දීමේ පිංකම පැවැත්වුණි. අසූවක පමණ පිරිසක් ලේ පරිත්‍යාග කර ඇත.  


එදින දහවල් දානය අතුරුගිරියේ පිහිටි මාවරලේ භද්දිය හිමියන්ගේ ආර්ය නිකේතනයේදී භික්ෂුන් වහන්සේ 50 නමකට පිරිනමනු ලැබ තිබුණි. එදින සවස මොරටුව සොයිසාරාම විහාරයේ වැඩ සටහන් ගණනාවකට ඇමැතිවරයා සහභාගිවී ඇත. තෙමහල් පිරිවෙන් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීම, ස්වයං රැකියා උපකරණ බෙදා දීම, නිවාස ආධාර බෙදාදීම, පාසල් ළමුන්ට උපකරණ බෙදා දීම ආදී වැඩ සටහන් ගණනාවක් පැවැත්වුණි. සොයිසාරාමයේ පැවැති උත්සවයේ දී මහාචාර්ය අක්මීමන ධම්මපාල හිමියන් ප්‍රකාශ කර සිටියේ චම්පික ඇමැතිවරයා ඕනෑම නායකත්වයකට සුදුසු පුද්ගලයකු බවයි.  


ඉරිදා භික්ෂුන් වහන්සේට හීල්දානය පිරිනැමූ අතර කාර්යාල සේවකයන් සහ නිලධාරිහු විශාල පිරිසක් උපන් දිනයට සුභ පැතීමට පැමිණ සිටියහ.   


ඇමැතිවරයාගේ බාල දියණිය බුවනෙජා සිය පියාට ආශිර්වාද පතා වැල්ලවත්ත වජිර නිවාසයේ අනාථ දරුවන්ට තේ පැන් සංග්‍රහයක් පවත්වා තිබුණි. කේක්, ෂෝට් ඊට්ස් හා සිසිල් පැන් සංග්‍රහයක් දරුවන් වෙනුවෙන් පවත්වා ඔවුන්ට ත්‍යාගයක්ද පිරිනමා ඇත.  

 

 


මහරගම සිරි වජිරඥාන විහාරස්ථානයේදී ඇමැතිවරයාට සෙත් පතා බෝධි පූජාවක්ද පවත්වා තිබුණි. එදින රාත්‍රියේ ඇමැතිවරයා අමා හා බුවනෙජා දියණියන් සමඟ රාත්‍රි ආහාර ගෙන ඇත.  


රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ උපන් දිනය වෙනුවෙන් විශේෂ ආගමික වතාවත්වල යෙදී තිබුණි. එදින අලුයම 4.00 වනවිට බියගම සියඹලාපේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේදී රාජ්‍ය ඇමැතිවරයා සඳහා සෙත් පැතීමේ අවස්ථාවක් තිබූ අතර ඉන් අනතුරුව කිරි මව්වරු 105ක් සඳහා දානමය පින්කමක් පැවැත්වුණි.  


‘හිමිදිරි උදෑසන කිරි අම්මාවරු සෙත් පිරිත් සජ්ඣායනා කර පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සිදුවී ඇත. දානමය වැඩ කටයුතු අවසන්වී රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ හිසේ කිරි අම්මාවරු 105 දෙනාම තෙල් ගල්වා ආශිර්වාද කර ඇත.  


කිරි අම්මාවරු ඇඟිලි තුඩුවලට තෙල් ස්වල්පයක් ගෙන ඇමැතිවරයාගේ හිසේ තෙල් ගල්වා ආශිර්වාද කිරීමේදී ඒ තෙල් ඇමැතිවරයාගේ නළල දක්වා බේරී ආවත් රුවන් විජයවර්ධන මහතා සුපුරුදු සිනාවෙන් කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදය බැති සිතින් විඳගෙන ඇත.   


එදින හවස්වරුවේ බියගම විහාර මහා දේවි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් 80 කට පමණ රාත්‍රි ආහාර පිළිගන්වනු ලැබ තිබිණි. එම දරුවන්ට කලාතුරකින් කෑමට ලැබෙන කොත්තු වර්ග පිළියෙල කර තිබූ අතර ඇමැතිවරයා විසින්ම කෑම බෙදීම ආරම්භ කර තිබුණි. ඉන් අනතුරුව එහිදීම උපන්දින කේක් කපා දරුවන්ට පිළිගන්වා ඇත. ඇමැතිවරයා අතින්ම දරුවන් කීප දෙනකුට කේක් කවා ඇත.  


මීට අමතරව එහිදී අැස් කණ්ණාඩි ප්‍රදානයක්ද සිදුවී ඇත.   


පසුගිය සතියේ දින දෙකක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අනුරාධපුරයේ සංචාරයක නිරතවී තිබුණි. ජනාධිපතිවරයා අනුරාධපුර ස්වර්ණපාලි ජාතික පාසලේ 2017 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගිවී තිබුණි. ජනාධිපතිවරයා අතින් පාසල් දරු දැරියන්ට සහතික පිරිනැමීම සිදුවිය.  


එහිදී දුමින්ද දිසානායක ඇමැතිවරයා හා චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිවරියට පෙර සිය කතාව පැවැත්වීමට අවශ්‍ය බව පවසා ප්‍රථමයෙන් දරුවන් අමතා කතා කර ඇත.  


කළුතර ඇමැතිවරයකුගේ පුතෙකුගේ විවාහ උත්සවයක් අනුරාධපුරයේ පැවැත්වෙන නිසා එයට සහභාගිවීමට තමන්ට යා යුතු නිසා කලින් කතා කිරීමට අවස්ථාව ඉල්ලා ගත් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මංගල උත්සවයට සහභාගිවූ ජනාධිපතිවරයා අනුරාධපුරය දීපානි විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය වශයෙන් නම් කිරීමේ උත්සවයට ද සහභාගිවී තිබුණි.  


ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය වැඩ සටහනට අනුව ඖෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ වැඩ පිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි. එහිදී දෙදෙනා දුම්රිය වර්ජන ගැන කතා බහක යෙදී සිටි බව වාර්තාවේ.  


ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය වැඩ වර්ජනය නිසා උසස් පෙළ විභාගයට ලියන දරුවනුත් අසරණවෙලා. වැඩ වර්ජනය කරන අයට උසස් පෙළ ලියන දරුවෝ නැද්ද දන්නෙ නැහැ. වෛද්‍යවරු වර්ජනය කරන්නෙත් රෝගීන් උගසට තියලා. දුම්රිය සේවකයෝ වර්ජනය කරන්නෙ දුම්රිය මගීන් උගසට තියලා. බොහොම පහත් විදියට කටයුතු කරන්නේ. ජනතාවගේ විරෝධය මම දැක්කා. ඒ මිනිස්සු කොයි තරම් අසීරුවට පත් වුණාද? යනුවෙනි.   

 

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ දිනක අනුරාධපුරයේ දානමය පිංකමකට සහභාගිවී තිබිණි. අනුරාධපුරය ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඥානා දෛවඥවරියගේ සැමියාගේ වාර්ෂික දානයට සහභාගිවූ හිටපු ජනාධිපතිවරයා එදින රාත්‍රිය ගත කළේ ව්‍යාපාරික ඩී. එස්. ගුණසේකර මහතාගේ නිවසේය. පසුවදා ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ජයන්ති විහාරය, සාම විහාරය වන්දනා කළ හිටපු ජනාධිපතිවරයා එදිනම කොළඹට පැමිණ ඇත.  


මේ අතර සංහිඳියාව සම්බන්ධයෙන් මහනුවර ‘මහවැලි රීච්’ හෝටලයේ දී පැවැති විශේෂ සමුළුවකට මැති ඇමැතිවරුන් ගණනාවක් සහභාගිවී තිබුණි.  


මොනරාගල සිට කල්වේලා ඇතිව මහනුවරට පැමිණි නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිදහසේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා ආරක්ෂක අංශවලට නොදන්වා දළදා මාළිගාවට ගොස් ඇත.  


සාමාන්‍ය වන්දනාකරුවන් ඇතුළු වන දොරටුවෙන් මාළිගාව තුළට ඇතුළු වන විටම ඔහු පසුපසින් පැමිණි සිටි ආරක්ෂක නිලධාරිහු ‘සර් තනියම යන්න එපා’ යනුවෙන් ප්‍රකාශ කර ඇත. ‘මම මේ ටිකත් නිදහසේ වැඳගන්නයි හැදුවෙ’ යනුවෙන් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. සංහිඳියාව පිළිබඳ සමුළුවෙන් පසු මැති ඇමැතිවරුනට කොළඹ බලා ඒමට හෙලිකොප්ටර් යානාවක් සූදානම් කර තිබුණි.   


මහවැලි රිච් හෝටලයේ සිට ඇමැතිවරුන් අස්ගිරිය ක්‍රීඩාංගණයට ගෙන ඒම සඳහා වෑන් රථයක් යොදවා තිබුණි. ඉදිරිපස රියැදුරු සමඟ ජෝන් අමරතුංග ඇමැතිවරයා අසුන්ගෙන ඇත.  


අස්ගිරි ක්‍රීඩාංගණයට යන මාර්ගය නොව වෙනත් මාර්ගයක වෑන් රථය ධාවනය වූ නිසා ‘මේ කොහේද යන්නෙ ...’ යනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා රියැදුරුගෙන් විමසා ඇත. ‘සර් .. බහිරව කන්දට’ යැයි රියැදුරා ප්‍රකාශ කර තිබුණි. ........... ‘ඒ මොකට ද?’ යැයි විමසූ විට රියැදුරා ප්‍රකාශ කර ඇත්තේ ‘සර් හෙලිකොප්ටර් එකට නගින්නෙ බහිරව කන්දෙන් නේද? යනුවෙනි.  


‘නෑ ... නෑ... අස්ගිරියටයි යන්නෙ’ යනුවෙන් ඇමැතිවරු වරද නිවැරැදි කර තිබුණි. රියැදුරා වාහනය අස්ගිරිය ක්‍රීඩාංගණයට ගෙන ආ අතර පිරිස වෑන් රථයෙන් බැස ගත්තත් පිටුපස ආසනයේ සිටි තලතා අතුකෝරල ඇමතිවරියට රථයෙන් බැස ගැනීම තරමක් අසීරු වී තිබුණි.  


එවිට ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ ‘තලතා මම ඔයා උස්සල ගන්නද?’ කියාය. ‘නෑ ... නෑ... ඇමැතිතුමා ඉන්න. මම බහින්නම්’ යනුවෙන් ප්‍රකාශ කර ඇත්තේ අනෙකුත් සියලු ඇමැතිවරුන් හිනා ගස්සමිනි.   

 

 

 

 

 දයාසීලි ලියනගේ  

 



අදහස් (0)

ඉකුත් සතියේ දේශපාලනය විපක්ෂ නායක ප්‍රශ්නය අධීක්ෂණ මන්ත්‍රී වැටුප් පැකේජය රට හොල්ලපු හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටෙයි
2025 මැයි මස 10 24 0

මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම


ඩොලර් බිලියන 4.1ක ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග කළ ගනුදෙනුවලින් - ශ්‍රී ලංකා මහ බැංකුව
2025 මැයි මස 10 28 0

ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොල


ඉන්දු - පාකිස්ථාන යුද්ධය නවත්වන්න ඇමෙරිකාව සහ බටහිර යුරෝපා රටවල් දෙපාර්ශ්වයෙන් ඉල්ලයි
2025 මැයි මස 10 16 0

ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇ


පුංචි ආණ්ඩු පිහිටුවීම: ජූනි දෙකට පෙර අසීරුයි - මැතිවරණ නිරික්ෂණ සංවිධාන. කල්යන්නෙ නෑ - මැතිවරණ කොමිෂන් සභාව
2025 මැයි මස 10 16 0

පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 06 43 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් ආවොත් ලොකු ලූනු අර්තාපල්-පරිප්පු හිඟවෙයි
2025 මැයි මස 06 62 0

ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 972 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1431 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site