සුජිත් හේවාජුලිගේ

රටපුරා තැන තැන කරන වෙඩිතැබීම් සහ බෝම්බ ගැසීම්වලට සම්බන්ධ වන අපරාධකරුවන් සඳහා තාවකාලිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන්  රජයේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ කිසියම් රැස්වීමක දී  මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි.

මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පැවසුවේ හදිසියේ මතුවන මෙවැනි අපරාධ රැලි මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීමට මරණීය දණ්ඩනය තාවකාලිකව හෝ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.

ලෝකයේ සමහර රටවල මෙවැනි අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය තාවකාලිකව ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ තැන තැන වෙඩි තැබීම් පාලනය කිරීමට බුද්ධි අංශ ද සම්බන්ධ කරගෙන කිසියම් අලු‍ත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. මෙවැනි හුදෙකලා සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිසේත්ම තර්ජනයක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ වසරේ ජූලි මස අගභාගය වන විට දිවයින පුරා වෙඩිතැබීම් 22ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථාන වාර්තා පෙන්වා දෙයි. මෙම වෙඩි තැබීම්වලින් 15දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දොළොස් දෙනෙක් තුවාල ලැබූහ.

මේ අතර පසුගිය කාලයේ සිදුවූ වෙඩිතැබීම් අතුරින් දහයකට ආසන්න ප්‍රමාණයක් ඉලක්කය වැරදී කළ වෙඩිතැබීම් බැව් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

දෙහිවල සිරිසඟබෝ පෙදෙසේ නිවසකට සිකුරාදා අලු‍යම එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෝ දෙදෙනෙක් මිය ගියහ. සිද්ධියෙන් එම දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටී.

මෙම වෙඩි තැබීමද ඉලක්කය වැරදී කළ එකක් බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.