විශේෂ වාර්තාකරුවකු විසිනි
මෙරට ගොඩබිම් ප්‍රදේශයකදී අත්අඩංගුවට ගත් වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය වන කිලෝ 471ක් අත්අඩගුවට ගැනීමේ සිදුවීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ (CCIB) නිලධාරීන් මැදිහත් නොවුණේ නම් එම අයිස් තොගය හොරපාරෙන් විදෙස් රටකට පැන්නීමේ කුමන්ත්‍රණයක් පැවති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
රුපියල් කෝටි 100ක පමණ මුදල් ගනුදෙනුවක් මත මෙම කුමන්ත්‍රණය සිදුව ඇති බව පැවසෙන අතර පොලිස්පතිවරයාට මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසුව ඔහුගේ නියෝග පරිදි සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අරඹා තිබේ.
මෙම සිද්ධියේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ශන ඒකකය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගෙන් හා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ කාර්යාංශයේ සිතාසි සහ වරෙන්තු අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සාලිය ඒකනායක ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
කෙසේ නමුත් මෙම ප්‍රකාශ සටහන්කරගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ සාවද්‍ය මතයක් ගොඩනැගී ඇති නමුත් මෙම විමර්ශන මගින් අපේක්ෂා කර ඇත්තේ අදාළ දූෂිත නිලධාරීන් පිළිබද අනාවරණය කරගැනීමත්, අදාළ බහාලුම් මෙරටින් පිටකිරීම වළක්වාලන්නට සෙසු නිලධාරීන් දැරූ උත්සාහය අනාවරණය කරගැනීමත් බව පැවසේ.
පොලිසියේ සහ රේගුවේ දූෂිත නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව මෙම සැලසුම සකස් කර ඇති බව චෝදනා නැගෙන අතර මීට පෙර අවස්ථාවලත් මේ ආකාරයට මත්ද්‍රව්‍ය වරායෙන් පිටමං කර ඇති බවට ද සැක කෙරේ.
පසුගිය ජුනි 27දා පාකිස්ථානයේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ තුවා අඩංගු TGBU2219204 සහ HLXU 1321959 බහාලුම් දෙකේ නීති විරෝධී මත්කුඩු සඟවා ඇති බවට ඇෙමරිකානු බුද්ධි තොරතුරක් අපරාධ සහ රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙත පසුගිය අගෝස්තු 17දා ලැබී ඇති අතර ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත දැනුවත් කර තිබේ.
අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය විසින් පසුගිය අගෝස්තු 17දා බී වාර්තාවක් මගින් දන්වා ඇත්තේ පාකිස්ථානයේ සිට මෙරටට යොමුකරන ලද TGBU2219204 සහ HLXU 1321959 බහාලුම් දෙකේ නීති විරෝධි මත්ද්‍රව්‍ය සඟවා මෙරටට ආනයනය කර මේ වනවිට එම බහාලුම් දෙක කොළඹ වරායේ CICT පර්යන්තයේ රඳවා තබා ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු හට තොරතුරක් ලැබී ඇති බවත් ඒ අනුව එම බහාලුම් දෙක තම නිලධාරීන්ට විවෘත කර බැලීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස රේගු අධ්‍යක්ෂජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවය.
කෙසේ නමුත් අදාළ බහාලුම් විවෘත කර බැලීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ බී වාර්තාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ප්‍රබල ලෙස ඉදිරිපත් නොවීම මත අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
මේ අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සිතාසි සහ වරෙන්තු අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සාලිය ඒකනායක විසින් යළිත් මෙම බහාලුම් දෙක විවෘත කර බැලීමට අවසර ඉල්ලා බී වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
එම වාර්තාව මගින් ඔහු අධිකරණයට දක්වා තිබුණේ පාකිස්ථානයේ කරච්චි සිට බහාලුම් 2ක් තුළ මෙරටට නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් එවා තිබෙන බවත් ඒවා බහාලුම් දෙකේ පැලට් 58කින් යුත් කාටුන් 348ක් තුළ ඇති තුවාවල සඟවා ඇති බවත්ය.
මෙම සවිස්තරාත්මක ඉල්ලීම පිළිබඳව සෑහීමකට පත්වූ අධිකරණය අදාළ බහාලුම් දෙක විවෘත කර බැලීමට මධ්‍යම අපරාධ නිවාරණ කාර්යාංශයට අවසර ලබාදුන් අතර ඒ අනුව ඔවුන් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන්ද සම්බන්ධ කරගනිමින් අදාළ බහාලුම් විවෘත කිරීමෙන් පසුව එම බහාලුම් දෙකේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 471ක් සොයා ගැනීමට සමත් විණි. එය මෙරට ගොඩබිම් ප්‍රදේශයකදී අත්අඩංගුවට ගත් විශාලතම අයිස් තොගය බව පැවසේ.
සිද්ධිය සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අදාළ බහාලුම් දෙක මෙරටට අානයනය කළ ආරුමුගම් ශෂිදරන් නැමැත්තා හා මොහොමඩ් නසීම් මොහොමඩ් ඉෂාම්සහ පාකිස්ථානු ජාතිකයන් වන මොහොමඩ් ආසික් මොහොමඞ් ස්මයිල්, අබ්දුල් කාදර් අබ්දුල් රෂීඩ්, අෂ්මී ශෂාඞ් නැමැති සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගනු ලැබුණි.
පාකිස්ථානයේ සිට මෙරටට ආනයනය කරනු ලබන අත්‍යවශය ආහාර බහාලුම් තුළ බහා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගෙන එබ බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති අතර එලෙස මත්ද්‍රව්‍ය සමග රැගෙන එන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල නිසි පරිදි බදු ගෙවා රැගෙන එන ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩවලට වඩා විශාල අඩුමිලකට ලබාදෙන බවත් මේ නිසා නිසි ලෙස බදු ගෙවා භාණ්ඩ ආනයනය කරන්නන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd