උපුල් වික්‍රමසිංහ

බෝවතැන්න ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ පරිද්දෙන් ඉදිරියේ දී පොල්ගොල්ල හා රන්ටැඹේ ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා ද කටයුතු කරන බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ජේ. කේ. හේරත් “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

මහවැලි ජලාශ අතරින් බෝවතැන්න, පොල්ගොල්ල සහ රන්ටැඹේ ජලාශවල වැඩි වශයෙන් රොන්මඩ පිරී තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙළි කළේ ය.
 
එම ජාලශවල රොන්මඩ ඉවත් කිරීමේ කටයුතුවලින් කොටසක් මේ වසරේ සිදු කරන බව කී හෙතෙම ලබන වසරේ පෑවිල්ල පවතින කාලයේ ඉතුරු කොටස සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේ ය.
 
“රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු මේ අවුරුද්දෙ පටන් අරගෙන ටික ටික කරගෙන යනවා. මේ අවුරුද්දෙ කොටසක තමයි රොන්මඩ ඉවත් කරන්නෙ. ඊළඟ වසරෙ පෑවිල්ල තියෙන කාලෙදී ඉතිරි කොටස කරනවා. මහ කන්නයෙදි වැටෙන වර්ෂාවෙන් ජලාශ පිරුණට පස්සෙ ඒ වතුරෙන් මහ කන්නයට වතුර අරගෙන ජලාශ හිස් වුණොත් ඒ ජලාශවල රොන්මඩ ඉවත් කරනවා. එහෙම නැත්නම් ඒ ඉතිරි වෙන ජලය ඊළඟ යල කන්නය වෙනකන් රඳවා ගන්නවා. නැවතත් යල කන්නය ඉවර වුණහම අපිට යම් කාලයක් ලැබෙනවා” යනුවෙන් වැඩිදුරටත් ඔහු පැහැදිලි කළේ ය.
 
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් සහ ජලාශවල රොන්මඩ ඉවත් කරන්නේදැයි කළ විමසීමේදී එහි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති වැලිගෙපොළ ගේ පැවසුවේ විශාල වැව්වල රොන්මඩ ඉවත් කිරීම සඳහා සූදානමක් නැතත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන කුඩා වැව් රැසක රොන්මඩ සහ ජලජ ශාක ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවය.
 
“වාරි මහිම අපේ උරුම” නමැති ව්‍යාපෘතිය යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන කුඩා වැව් රැසක රොන්මඩ හා ජලජ ශාක ඉවත් කර ඒවායේ ජල ධාරිතාව වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු කීවේ ය.