මානවයා පෙර මුතුන්මිත්තන්ගේ සිටම සංක්‍රමණික සත්වයෙකි. දඩයම් යුගයෙන් ගොවිතැනට ප්‍රවිෂ්ඨවී එක් ස්ථානයක නිත්‍ය වාසය සඳහා යොමුවූවද, ජන්මයට වඩා ලොකු පුරුද්ද මිනිසා තුළින් ඉවත්වූයේ නැත. දියුණුවත් සමගම සංක්‍රමණය සංචාරය බවට පත්ව, සංවිධානාත්මකව අද වෙන විට එය කර්මාන්තයක් බවට පත්ව ඇත. මෙම කර්මාන්තය කෙතරම් දියුණුවට පත්ව ඇද්ද යත් අද ඇතැම් රටක ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ ද සංචාරක ව්‍යාපාරයයි. මේ හේතුවෙන් බොහෝ රටවල් සංචාරකයා තමන් වෙත ඇදගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිතා කරති. මේ අතර තවත් රටක් තම රටට පැමිණෙන සංචාරකයා සීමා කිරීමට පියවර ගන්නා බව පැවසුවහොත් කෙනෙකුන් පුදුමයට පත්වීමට ද බැරි නැත. 


ලෝක සංචාරක කවුන්සල වාර්තාවට අනුව ඔරොත්තු නොදෙන තරමට සංචාරකයින් පැමිණෙන රටවල් නවයකි. ඒ අතර ඉතාලිය - ප්‍රංශය - ඕලන්දය – ස්පාක්‍ද්ක්‍දය - කැනඩාව - ස්වීඩනය - යුගොස්ලවියාව සහ ඇමෙරිකාව ද වේ. මෙම රටවල් නවයටම වාර්ෂිකව තම රටට ඇදී එන අසීමිත සංචාරකයා ප්‍රශ්නයක් ලෙස සැලකීමට කරුණු කාරණා සැකසී ඇත. 
ඉතාලියේ වැනිසිය ලබන වසරේ (2020) සිට තම අසිරිමත් නගරය නැරඹීමට එන සංචාරකයා සීමා කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව දිනකට වැනිසියට ඇතුළුවිය හැකි සංචාරකයා සංඛ්‍යාත්මකව පාලනය කෙරෙනු ඇත. යුරෝපයේ මල්වත්ත ලෙස සැලකෙන ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑමය නැරඹීමට පසුගිය වසරේ පැමිණ ඇති සංචාරක පිරිස ලක්ෂ අසූහතරකි. මෙය එම නගරයට ඔරොත්තු නොදෙන පිරිසකි. ඕලන්දය තම තෙරක් නොපෙනෙන ටියුලිප් මල් වගාව සංචාරක ආකර්ෂණයක් ලෙස මින්පසු සංචාරක ප්‍රචාරක මාධ්‍ය සඳහා යොදා නොගැනීමට තීරණය කර ඇත. 


ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය දැකබලාගැනීම සඳහා වසරකට සංචාරකයෝ ලක්ෂ හැටහතක් පැමිණෙති. මෙම පිරිස එම නගරයට ඔරොත්තු නොදෙන බව කියන්නේ බාසිලෝනා පුරවැසියෝ ම ය. සංචාරකයා වහාම පිටවී යමව් කියමින් පසුගිය වසරේ ඔවුහු වීදි බටහ. 


ආකර්ෂණීය සංචාරක ගමනාන්ත ජනාකීර්ණ වීමත් සමගම, සංචාරකයා වෙනත් ගමනාන්තයන් පිළිබඳව සැලකිල්ලක් දැක්වීම සිරිතය. මෙම වාතාවරණය ශ්‍රී ලංකාව වැනි රටවලට වාසියකි. උක්ත වාතාවරණයෙන් උපරිම පළ නෙළාගැනීමට නම් අද සංචාරකයා යනු කවරෙක්දැයි නිවැරදිව අධ්‍යයනය කළ යුතුය. 


ලොව පුරා පැතිරයන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලෝස් නැතුව වියදම් කරන සුද්දෝ අද නැත. තරු හෝටල් සහ සංවිධානාත්මක ගමන් සංකල්පයෙන් මිදුණු වර්තමාන බටහිර තරුණ පරම්පරාව, ඇටේට කැටේට වියදම පිරිමසාගෙන තුට්ටු දෙකේ සංචාරයට රුසියෝ ය. පෙට්ටි කඩවලින් ආහාර ගනිමින්, තරු හෝටල් මගහැර පෞද්ගලික නවාතැන්වල ලගිමින්, පොදුජන ප්‍රවාහනය ප්‍රයෝජනයට ගනිමින් කළ හැකි අඩු වියදම් සංචාරය සඳහා එහි පුරෝගාමීන් විසින් සපයා ඇති විස්තර අද අන්තර්ජාලයේ අඩුවක් නැත. මෙම වෙබ්අඩවි තරුණ සංචාරකයා අතර පමණක් නොව මැදිවියේ සංචාරකයා අතර ද බෙහෙවින් ජනප්‍රිය ය. එබැවින් රටකට සංචාරකයා වැඩියෙන් පැමිණි පමණින්ම පෙර මෙන් සංචාරක කර්මාන්ත ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවෙතැයි සිතීමට බැරිය. 


මේ සියල්ල සලකා බලා වැල යන අතට මැස්ස ගැසීමට නිසි පියවර ගතහොත් අද ඇතැම් රටවලින් නෙරපෙන සංචාරකයා අප රටට ගෙන්වාගැනීම අපහසු නැත. මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් දැන්ම දියත් කළ යුතුව ඇත. ඒ අතරම සංචාරකයා ගසාකෑම සඳහා අදාළ කර්මාන්තය තුළ සැදී පැහැදී සිටින පිරිස් ගැන මෙන්ම, ත්‍රීවීල් මල්ලිලාගේ ගැහිලි පිළිබඳව ද අත්දැකීම් ඇති සුද්දන් විසින් අන්තර්ජාලය ඔස්සේ කර ඇති ප්‍රචාරයන් හේතුවෙන්, සුද්දා ඇන්දූ කාලය දැන් අවසාන බව ද අමතක නොකළ යුතුය. 

 

 


කල්ප ගුරුගේ. 
මිලානෝ.