බුදුන්ගේ තෙමඟුල සිහිපත් කරන මේ වසරේ වෙසක් පිංකම් දැන් අවසානය. මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කළ පොසොන් පිංකම් ද පසුගිය දා අවසන් විය. මේ පිංකම් පිළිබඳව පසු විපරමක් කර බැලීමට තරම් සැදැහැවතුන්ගේ මනස දැන් විවේකී ය. වෙසක් පොසොන් කඨින පිංකම්වලදී ඇතැම් පන්සල් අතර සියුම් තරගකාරී බවක් තැවරී නැතුවාම යයි කීමට බැරිය. විදේශයන්හි එකම නගරයේ ශී‍්‍ර ලාංකිකයන් විසින් පවත්වාගෙන යනු ලබන පන්සල් දෙක තුන ඇත්නම්, ඒවා අතර සිදුවෙන මෙම තරගකාරී පිංකම් තෙවැන්නෙකුට නොපෙනෙනවාම නොවේ.   


තරගයක් කෙරෙන්නේ ප‍්‍රතිවාදියෙකු සිටින විටදීය. නිර්වාන මාර්ගය අවිහිංසාවාදීව තරණය කර එගොඩ විය යුතු ප‍්‍රතිපදාවක් මිස, එකිනෙකා පරයා තරගකාරීව ජයගත යුතු ලෞකික ඵලයක් නොවෙන බව පිළිගත යුතුය. මෙය පිළිගත හැකිවෙන්නේ බුද්ධිමතාට පමණි. ධර්මය ඇත්තේ බුද්ධිමතාට මිස බුද්ධියෙන් හීන වූවාට නොවෙන බව බුදුන්වහන්සේ පැහැදිලිවම වදාරා ඇත්තේ ඒ නිසාය.   
සෑම ධර්මයකම පාහේ ශාස්තෘවරයාණන් විසින් දේශනා කරන ලද මුල් ධර්මයට පසුකාලීනව විවිධ අර්ථකථන දෙමින් මතභේදීව කැඩීගොස්, විවිධ නිකායන් බිහිවී ඇත. එකම මූලික ධර්මයක වුවද මෙලෙස කැඩී ගිය නිකායන් විසින් පිළිගනු ලබන හා අනුගමනය කරනු ලබන මාර්ගවල පැහැදිළි වෙනස්කම් ඇත. එහෙත් ධර්මය පිළිබඳව කිසිදු විවාදයක් නැතිව ධර්මස්ථාන කැඩී බිඳී යන්නේ නම්, එතැන ඇත්තේ ධර්මය පිළිබඳ මත ගැටුමක් නොව ධර්මය වටා සිටින්නන්ගේ මත ගැටුමකි. මෙය ධර්මයේ පැවැත්මට අහිතකරය. මෙය සිදුවෙන්නේ විදේශයක හෝ අන්‍යාගමිකයන් හෝ අතර නම්, ධර්මය පිළිබඳව වැරදි වැටහීමක් පිටස්තරයා තුළ ආරෝපණය කිරීමට මෙය ප‍්‍රමාණවත් ය.  


අද බොහෝ විට පන්සල් කැඩී බිඳී වෙන්වී යන්නේ ධර්මයේ වෙනස්වූ අර්ථකථනයක් හේතුවෙන් නොවේ. දායකයන් අතර පවතින විවිධ මතිමතාන්තර ධර්මයේ නාමයෙන්වත් දුරුකර එකඟතාවකට පැමිණීමට ඇති අකමැත්ත හේතුවෙන් ය. හිතුවක්කාර දායක පිරිසක් මුල් පන්සලෙන් කැඩී වෙන්වී වෙනත් පන්සලක් පිහිටුවාගත් විට, අනෙක් පන්සලේ භික්ෂූන් හා දායකයෝ දුෂ්ශීලයන් ලෙස අපවාදයට ලක්කිරීම සම්ප‍්‍රදායකි. ඔවුන්ට අනුව ශීලය රැකෙන්නේ අපේ පන්සලේ පමණි. අනෙක් සැවොම දුෂ්ශීලයෝ ය. දුෂ්ශීලයන් වුවද බැහැර කිරීමේ පිළිවෙතක් බුද්ධ ධර්මයේ නැත. එසේවී නම් අංගුලිමාලලා අම්බපාලිලා නිවන් දකින්නේ ද නැත.  


සෑම පන්සලකම අදහන්නේ බුදුන් දෙසූ එකම ධර්මය නම්, ප‍්‍රචාරය වෙන්නේ ද ඒ ධර්මයම නම්, රකින්නේ එකම ශික්ෂාපද නම්, එකම අරමුණ සසර කෙළවර අමා මහා නිවන නම්, නිවන් මගට එකම දොරටුව ”අපේ පන්සල” පමණ යැයි කියන්නේ කෙසේද? බුද්ධ භාෂිතයේ විචිකිච්චාව ලෙස විග‍්‍රහ වෙන්නේ ධර්මය පිළිබඳව ස්ථිරසාර විශ්වාසනීයත්වයෙන් තොර වීමය. එය නිර්මල ධර්මය සර්ධාවෙන් ඇදහීමට බාධාවකි. මඩ ගසන දායකයන්ගෙන් කෙළෙසී යන්නේ ආයතනයේ ගෞරවනීය බවය. මොවුන් ධර්මයේ ප‍්‍රාථමික අදියරක ජීවත් වෙන්නෝ වෙති.  


මේ ඕනෑම පන්සලක යතිවරයාණන්ගේ බණ දේශනාවට සවන් දුනහොත්, අකුසල කැපයයි දේශනා කරන කිසිම පන්සලක් නැත. ඇසෙන ධර්මයේ ප‍්‍රභේදයක් ද නැත. එසේනම් මේ විරසකය කුමක් ද? ගනුදෙනුකරුවන් වැඩි බැවින් සේවා සැපයීමේ පහසුව තකා ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක තවත් කාර්යාලයක් විවෘත කිරීමේ න්‍යාය පන්සලක් සම්බන්ධව අනුගමනය කළ නොහැකිය. පන්සලක ඉඩ කඩ මදිකමට වෙනත් පිළියම් ඇත. සැබෑ බෞද්ධයා බලාපොරොත්තු වෙන්නේ සිද්ධස්ථාන සංඛ්‍යාත්මකව වැඩිවීම නොව, ධර්මයේ ගුණාත්මක පැවැත්මය.   


මහා පුණ්‍යකර්මයක් ලෙස සලකා පන්සල් සදන සද්ගුණවතුන් ද වෙති. පන්සලක් සාදා සඟසතු කිරීම යන්නෙන් නිර්වචන කෙරෙන්නේ පන්සල චීවරධාරීන් සතු කිරීමම නොවේ. සඟසතු කිරීම යනු ධර්මය සන්තක කිරීම ය. ධර්මය සන්තක කිරීම යනු බුදුන්ට පූජා කිරීමය. අද ධර්මාණ බුදුන් යනු ශාසනයයි. ධර්මයයි. ශාසනයට පූජා කළ පසුව එය තවදුරටත් පුහුදුන් කෙනෙකුන්ගේ පෞද්ගලික දේපොළක් නොවේ. කිසියම් හේතුවක් මත කෙනෙකුන් හෝ කිසියම් පිරිසක් විසින් පන්සලක් බෙදාවෙන්කරගෙන යාම, බුදුන්ට පූජා කරන ලද දෙයක් නැවත උදුරාගැනීමකට සමානය. පූජා කළ දෙයක් නැවත උදුරාගැනීමේ අකුසලයට විපාකය කුසජාතකයෙන් මනාව පැහැදිළි කර දී ඇත. ‘‘අපේ පන්සල” ”අරුන්ගේ පන්සල” යැයි පන්සල් තිබිය නොහැක.   


පන්සලක් ගොඩනැගූ හෝ පවත්වාගෙන ගිය දායකයකුගේ හෝ දායක පිරිසකගේ නොදැහැමි ක‍්‍රියාකලාපයක් හේතුවෙන් පන්සලක් හැර යාම එතරම් ප‍්‍රඥාඝෝචර නොවේ. පන්සල හැර නොයා, නොදැහැමියන් දැහිමි බවට හරවාගැනීමේ මාවත ද බුද්ධ ධර්මය තුළම ඇත. නොදැහැමියකු අතින් සැදුවා යැයි හෝ පවත්වාගෙන යනු ලබතැයි කියා හෝ පන්සල් හැර යන බෞද්ධයෝ කොතරම් ප‍්‍රමාණයක් දුටුගැමුණු රජතුමා විසින් කරන ලද අනුරපුර රුවන්වැලි මහා සෑය වැඳපුදාගනී ද? ගැමුණු රජුට දී ඇති ”දුටු” නම් නාම විශේෂණයෙන් නිර්වචන කෙරෙන්නේ ”දුෂ්ට” යන්න බව ඔවුන් නොදන්නවා මද? නිර්මාතෘවරුන්ගේ ඉතිහාසය බලා සිද්ධස්ථාන වඳී නම් රුවන්වැලි මහ සෑය වැඳීම ද අකැප ය.   


පන්සල් තම හිතුමතය ලෙස පාලනය කිරීම මහා පුණ්‍යකර්මයකැයි සිතන දායකයෝ අද වෙති. පන්සල් කැඩී බිඳී වෙන්වීමට ප‍්‍රධාන කාරණය මොවුන් ය. මොවුන්ගේ සිතැඟි පරිදි මෙහෙයවිය හැකි භික්ෂූන් ද නැතුවාම නොවේ. අනෙක් පසින් බුද්ධියෙන් මඳක් හීනවූ සැදැහැවතුන් පිරිසක් ධර්මයේ අතරමං නොකර රැකගැනීම භික්ෂුවගකීම ලෙස සලකා, ක‍්‍රමක‍්‍රමයෙන් පසුව නියම මාර්ගයට ගැනීමේ පිරිසිදු චේතනාවෙන් පන්සල් කඩාගෙන අයාලේ යන මෙම පිරිස් සමඟ සිටීමට ඇතැම් භික්ෂුවක තීරණය කරනවා ද විය හැකිය. චීවරයේ පූජනීයත්වය රැකීමේ වගකීම එය දරන්නා උගත යුතුය.   


භික්ෂුවකට විදේශයක රැඳී සිටීම සඳහා අවශ්‍යවෙන බලපත ලබාගැනීමට අනුග‍්‍රහය දක්වන දායකයා එය නාස්ලණුවක් කරගෙන භික්ෂුව පාලනය කිරීමට උත්සාහ කරන අවස්ථාවන් ද විදේශයන්හිදී දැකිය හැකිය. පන්සලක් හැදීමට මුල්වූවෝ හෝ පන්සලක් පවත්වාගෙන යාමට විවිධ අන්දමින් දායක වෙන්නෝ ද ඒවා කළ යුත්තේ ශාසනයේ නාමයෙන් මිස, පිංබිමෙහි පාලකයාවීමේ අරමුණෙන් නොවෙන බව මතක තබාගත යුතුය.   


මුදල් පරිහරණයත් සමඟම ධර්මයේ හැසිරීම ව්‍යාපාර පරිපාලනයක් ලෙස වරදවා වටහාගත් භික්ෂූන් ද නැතුවාම නොවේ. මෙවන් භික්ෂූන්ගෙන් නම් තෘෂ්ණාවෙන් මිදීමේ මඟ ඇසීම ඵලක් නැත. මෙම මගට භික්ෂූන් යොමුකිරීමේ පාපය ද බොහෝවිට පැටවිය යුත්තේ පන්සලේම ඇතැම් දායකයන් පිටමය.  


නිකායාන්තර වෙනස්කම් මෙන් මෙම පන්සල් අතර ඇති බුදුන් වදාළ ධර්මයේ අබමල් රේණුවක තරම්වත් වෙනස්කමක් ඇතොත් එය තාර්කිකව පෙන්වා දෙන්නේ නම්, කොන්දේසි විරහිතව එය ඇසීමට තරම් ධර්මයේ නිර්මලව හැසිරෙන්නෝ සූදානම්ය. මන්දයත් ආර්යඅෂ්ඨාංගික මාර්ගය කෙළවර නිවන අවබෝධකර ගැනීම බෞද්ධ අපේ ඒකායන ප‍්‍රාර්ථනාව වන බැවිණි. එහෙත් එවන් ප‍්‍රබේදයක් නැතිනම් අපේ පන්සල අරුන්ගේ පන්සල මානසිකත්වයෙන් වහාම මිදිය යුත්තෝ වෙමු. පන්සල යනු නිවන නම්වූ රන් පදක්කම ‘‘අපේ කණ්ඩායම” දිනාගැනීම සඳහා තරගකරුවන් සූදානම් කරනු ලබන ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක් නොවේ.  


ශී‍්‍ර ලංකාවේ මහා සිනමාකරුවකු වූ ටයිටස් තොටවත්තයානන්ගේ වචනයකින් මේ ලිපිය නිමා කිරීම උචිතය. වසර 1980 දී ටයි මහත්තයාගේ ‘‘හඳයා” චිත‍්‍රපටය තිරගතවී සම්මානයට පාත‍්‍ර විය. ඒ දිනවල එතුමා සමඟ කරන ලද පුවත්පත් සාකච්ඡාවකදී හඳයා දෙවැනි කොටසක් පිිළිබඳ ඉගියක් එතුමා විසින් දී තිබුණි. හඳයා දෙවැනි කොටසෙහි වියහැකි තේමාව පිළිබඳව එතුමා සඳහන් කර මේ වචන කියා තිබුණි ‘‘යහපතත් යහපතත් අතර ගැටුම තරම් භයානක ගැටුමක් තවත් නැත”. ඒ වචන අද අපේ සාකච්ඡාවට මොනතරම් උචිත ද?   
කල්ප ගුරුගේ  - මිලානෝ.