දුම්රිය මැදිරියකදී ශරීරය අප‍්‍රාණිකවූ තරුණයකුට දුන් වෛද්‍ය උපදෙසක්  පිළිබඳ කතාවකි. කළුතරින් ”සමුද්‍ර ” පිටත්වුණි. ඊළඟට ඇත්තේ 7.05ට පිටත්වන මන්දගාමී දුම්රියයි. කලින් පැමිණි අය මෙහි ගමන් කරති. මැදිරි සියල්ලම පිරී  ඉතිරි පවතී. බූරු ඇඳන් දිගහැරගෙනය. ඊළඟ දුම්රිය පොළෙන් නඟින මිතුරාට/ මිතුරියට ඉඩ වෙන්කරගෙනය. සක‍්‍රයා ආවත් එවැනි තැනක වාඩි විය නොහැකිය. හැඩිදැඩි රළු පෙනුමින් යුත් තරුණයෙකි. නිකට යටින් වවා ඇති රැවුල රළු පෙනුම දෙගුණ කළේය. වටපිට බලා ඔහු සෙනඟ අතරින් රිංගාගෙන ආවේ කනේ රඳවාගෙන සිටි සංගීතය ශ‍්‍රවණය කරන උපකරණයෙන් ඇසෙන ගීත ද මුමුණමිනි. මැදිරියේ මැද ඉඩ ඇති මුත් කාන්තාවන් කිහිප දෙනෙක් අතර සිට ගත්තේය. දුම්රිය මැදිරියේ ඉහළින් ආරක්‍ෂාවට අල්ලාගත් හැකි පටි අඩියෙන් අඩිය තිබුණත් ඔහු පිරිපුන් පෙණුමෙන් යුතු කාන්තාවක් අතරින් අත දමා ආසනයක් අල්ලා ගත්තේය. මද වේලාවකින් අල්ලාගත් අත මදක් ඉහළට එසවුණේය. ඒ එම කාන්තාවගේ අනවශ්‍ය තැනක් ස්පර්ශ වන අයුරිනි. අපහසුතාවට පත්වු ඇය මදක් පසෙකට වූවාය. තරුණයාද ඒ පැත්තට ඇදුණි. බැරිම තැන කාන්තාව රවා බලා ”මොකද අනේ ඔයා ටිකක් එහාට වෙලා යන්නකෝ අර ඉඩ තියෙන්නේ  ඕනෑ තරම්,” කාන්තාව එසේ කියද්දී ඇගේ මිතුරියක් මෙසේ කීවාය. ”අපිත් බලාගෙන හිටියේ මොකද ඔයාට ඇඟ පතේ අප‍්‍රාණික ගතියක්වත් තියෙනවාද  ඔතනම හේත්තු වුනේ අච්චර ඉඩ තියෙද්දී”. ”ලෙඩක් එහෙම තියෙනව නම් කියන්න මගේ ළඟ බෙහෙත් තියෙනවා.” එම තරුණියාගේ කතාවට තරුණයා මදක් කෝපයක් ආරූඪ කරගෙන මෙසේ කීවේය. ”යකෝ මේ පෞද්ගලික ප‍්‍රවාහන සේවාවක් නොවේ. පොදු ප‍්‍රවාහන සේවයක් අපිට  ඕනෑ තැනක යන්න ඉඩ නැද්ද. අනික ඔයා මට බේත් කරන්න ඔයා දොස්තර කෙනෙක්ද?” ඔහුට කීමට හැකිවූයේ එපමණකි. තරුණිය නැවතත් මෙසේ කීවාය. ”ඔව් ඇයි? තමුසේ දන්නැති වුනාට මම වෛද්‍යවරියක්. නිකං වෛද්‍යවරියක් නොවෙයි පශූ වෛද්‍යවරියක්. තමුසේ වාගේ සතුන්  ඕනෑ තරම් අපේ සායනයට ගෙනත් තියෙනවා.” දුම්රිය  මැදිරිය සිනාවෙන් පිරී ගියේය. හැඩිදැඩි තරුණයා ඔහේ බලාගත්තු අත බලාගෙන ගමනාන්තය දක්වා ගියේය. මේ දුම්රියේ පරවේණීය කඩන්න පිරිමින්ට තව කොපමණ කාලයක් ගතවේදැයි තමාටම කියා ගනිමිනි.