‘‘පුතේ ටැංකිය අස්කරලා දාන්න, හොඳටම වතුර පරණ වෙලා, බලන්න මේ සතා ඉන්නේ කොහොමද කියලා.’’
උදෑසන වැඩට යාමට සූදානමින් එළියේ වෙනත් කටයුත්තක නිරත වී සිටි සිය පුතුට එසේ කියූ පියා යතුරු පැදියේ නැග සිය රාජකාරිය සඳහා පිටව ගියේය.

කාලය ගෙවී ගියේය. දවසේ කටයුතු හවස්වනතුරු නිමාකර, අවසානයේ නිවස බලා එමින් සිටි පියා හට මිතුරන් පිරිසක් හමුවිය.
‘‘හලෝ... කොහොමද බං ඉතිං කාලෙකින්...? කොහෙද අද සෙනසුරාදාත් වැඩද යමං... යමං අද නම් යන්න දෙන්න බෑ. අපිත් එක්ක සෙට් වෙන්නම  ඕනෑ’’

අතරමගදී හමුවූ මිතුරන්ගෙන් ගැලවුමක් නොමැති තැන ඔහුට සිදුවූයේ මධ්‍යම රාත‍්‍රියට හෝරා දෙකකට ආසන්න වන තුරුම මිතුරන් සමඟ මධුවිත සඳහා ගත කිරීමටය. මධුවිතෙන් මත් වී ඔහු නිවෙස කරා පැමිණියේ මධ්‍යම රාත‍්‍රියට ඔන්න මෙන්න කියාය.

සිය සැමියාගේ යතුරු පැදියේ හඩ ඇසුණු බිරිය නිදි යහනේ සිටම ඒ දෙසට කන්දීගෙන සිටියාය. මඳ වේලාවක් ගත විය. කිසි හැලහොල්මනක් නැත. තවත් ස්වල්ප මොහොතකින් එළියෙන් ඇසෙන්නට වූයේ මෙවැනි හ`ඩකි.

‘‘අනේ පැටියෝ ඔයා කෑවද... මමනම් හොඳට කෑවා. බලන්න ඔයාගේ බණ්ඩිය පිරිලා නෑනේ... කෝ... කෝ.... ඉන්න මම කවන්න’’
‘‘හරි... හරි... ඔන්න ඔහොම ඉඳගෙන මේ... රට කජු ටිකක්වත් කන්නකෝ.. හරි... ඔයාට දැන් කන්න බැරිනම් යන්නකෝ... මෙන්න මං අතහැරියා...’’

සිය සැමියා විසින් එසේ කාව හෝ බොහෝ වේලාවක් සුරතල් කරනු අසා සිටි බිරිය ඉදිරි ආලින්දයේ විදුලි පහනද දල්වා දොර විවර කළාය.

එසැණින් අත පිස දමමින් සැමියා ගෙතුළට වැදුණේය. එළිමහන මඳක් විපරම් කළ බිරිය දොරවසා දමා ගෙතුළට පැමිණියාය. සියල්ලෙන් සප්පායම් වී පැමිණි සැමියාට ඇඟපත සෝදා ගැනීමට අවැසි අඩුමකුඩුමද සපයා දුන් ඇය මඳ වේලාවකින් නින්දට ගියාය.
පසුදින පහන් විය.

‘‘අනේ අම්මේ මේ බලන්න මේකා මැරිලා... ඊයෙත් හොඳට හිටියනේ.’’ සිය පුතුගේ ශෝකී විලාපයට බියවූ ඇය වහා එළියට දිව ආවාය.
‘‘අනේ බලන්න අම්මේ මේ ගෝල්ෆිෂ් මාළුවා මැරිලානේ.. ඊයේ ටැංකිය අස්කළාට පස්සෙත් හොඳට හිටියනේ.. බලන්න මේකා රටකජු ඇටයක් කටේ හිරකරගෙන මැරිලා තියෙන්නේ අපරාදේ රුපියල් එක්දාස් දෙසීයක් දීලා ගෙනාවේ’’

පුතුගේ කතාවෙන් පසු මවට එක්වරම පසුදින රාත‍්‍රියේ සිය සැමියාගේ දෙබස් සිහියට ආවාය.

ඔහු... රාත‍්‍රියේ රට කජු කවමින් අතට ගෙන සුරතල් කොට ඇත්තේ ටැංකියේ සිටි මාළුවා වග බිරිය පශ්චාත් මරණ පරීක්‍ෂණය තුළින් නිගමනයකට පැමිණියාය.