දිනය ඉකුත් සෙනසුරාදාය.  ස්ථානය මැද රටේ ප‍්‍රසිද්ධ පූජනීය ස්ථානයකි. පසුදා පැවැත්වෙන පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන් සමග මවුවරු මෙන්ම පියවරුද පුදපූජා පැවැත්වීම සඳහා එහි පැමිණ සිටියහ. ඔවුන් ගත කළේ දැඩි අවිවේකී කාලයකි. පස්වරු තුන හමාරට පමණ පියෙක් තම පුතු සමග එහි ආවේය. විශාල ප‍්‍රමාණයෙන් සැකසූ පූජා වට්ටියක් ඔහු අත තිබිණි. එහි විශේෂිත වර්ගයේ පලතුරු ආදිය ද දක්නට ලැබිණි. ඒ සඳහා රුපියල් තුන් හාරදහසක් පමණ වැය කරන්නට ඇති බව පෙනී ගියේය. මේ පූජා වට්ටිය මේසයක් මත තැබූ පියා පුතුට ඒ අසලින් ඉන්නටැයි කියා වෙනතක ගියේ හඳුන්කූරු පැකට්ටුවක් ගෙන ඒම අමතක වූ නිසාය. අවට සිටි මවුපියවරුන් අතරින් කෙනෙකු අන්න ලස්සන පූජා වට්ටියක් තියනවා කීයේ මහ හඬ නගමිනි.  පිරිස ඒ වටා රොක් වූහ. එක් එක් කෙනා එහි පලතුරු එකින් එක අතට ගනිමින් රස බලන්නට වූයේ සතුටු සිතිනි.  මේ වැඬේ ගැන තේරුමක් නැති පුංචි පුතා මේ දෙස සතුටු සිතින් බලමින් ඔහු ද ඇපල් ගෙඩියක රස බලන්නට වූයේය. හඳුන්කූරු ගෙනෙන්නට  ගිය පියා එහි එන විට පලතුරු වට්ටියේ තිබුණේ යටට ඇතිරූ බුලත් කොළ ටික පමණි ”අයියෝ මගේ දරුවාගේ පූජා වට්ටිය” කියූ පියා දෑතින් පපුවට ගසා ගනිද්දී එහි රස බැලූ  පිරිසට සිදුවූ අකරතැබ්බය පිළිබඳව හැඟී ගියත් කරන්නට දෙයක් නොවීය. පූජා වට්ටියක් සකසන්නට තරමේ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නට තැනක් ද ඒ අසලක නොවූයෙන් පුතු සමග පුද බිම පුරා සැරි සරමින් තම දුක කියූ පියා ආපසු ගියේ කඳුළු වගුරවමිනි. එහෙත් පුංචි පුතු සිටියේ සතුටින් බව පෙනුනි. ඔහු පසුදා එම සතුටු සිතින්ම විභාගයට පෙනී සිටින්නට ඇතත් පියා සිටියේ මහත් කනස්සල්ලෙනි.