මෙයට දශක ගණනාවකට පෙර අද මෙන් මංමාවත් තබා රථවාහන වලින් ගමන් පහසුවක් ද තිබුණේ නැත. තිරික්කල හා බරකරත්ත තිබුණත් වැඩිදෙනා තම ගමනක් බිමන් පා ගමනින්ම යාමට පුරුදු වී සිටියහ. දිනක් තමාගේ හදිසි කටයුත්තක් සඳහා සැතපුම් ගණනාවක් ඈත නගරය කරා යෑමට අවශ්‍ය වූ තෙපානිස් එදින පාන්දරින්ම අවදිවී නගරය කරා යෑමට පිටත්විය. ඔහු නගරයට සේන්දු වෙන විට මධ්‍යහ්නය ද ඉක්ම ගොස් තිබුණි. ලහි ලහියේ තම වැඩකටයුතු කර ගත් තෙපානිස් ආපසු තම ගම්බිම් කරා එන විට අතරමඟදීම බිම් කළුවර වැටුනෙන් තමා දන්නා හඳුනන අයෙකු වූ මාටින් අයියාගේ නිවසෙහි එදින රාත‍්‍රියේ ලැගුම් ගත්තේය.  ඔහුගෙන් ආගන්තුක සත්කාර ලබා තෙපානිස් නින්දට වැටුනත් තමාට නුහුරු නුපුරුදු තැනක් වූ බැවින් නින්ද ඔහු අහලකටවත් පැමිණියේ නැත. එබැවින් බලා ඉඳීමෙන් කිසිම තේරුමක් නැති බව වැටහුන තෙපානිස් තම මිතුරාගේ කොරටුවෙන් සනීපෙට වැඩුන කුකුල් නාම්බෙක් අල්ලාගෙන දෙපා ගැටගසා තම මල්ලට දා ගැනීමට ද අමතක කළේ නැත. කලබලේට ලක ලැහැස්ති වූ තෙපානිස්ගේ සද්ද බද්ද වලට හදිසියේ ඇහැරුන මාටින් අයියාගේ මායියා තෙපානිස්ගේ කඩිමුඩිය හා මල්ලේ දමා සිටි කුකුලා දැක කෝපයට පත්වී, ”ඈ බං තොපානිස්, උඹට ඉන්න හිටින්න උපකාර කරලත් මේ කුකුලව අරන් යන්නේ අහවල් එකටදැ”යි විමසුවාය. ‘‘වෙලාවක් දන්නෙ නැහැනෙ හාමිනේ ඒකයි කුකුලා ගෙනියන්නේ, ඌ මගදි හඬලයි! යනුවෙන් කීය.