නිවෙසක රාත‍්‍රී කාලයේ පැවැති මංගල සාදයකි. කටගැස්මට බැදපු මාළු කූරියකු බැගින් මේස මත තබා තිබිණි. හැම මේසයකට එකා බැගින් වූ මෙම කූරියකුගේ බර කිලෝ බාගයක් පමණ විය. කාන්තාවක වාඩි වී සිටි කෑම මේසයේ මාළු කූරියකු නැත. සංග‍්‍රහ කමිටුවේ සාමාජිකයකු අඩුපාඩු විමසමින් මේසයෙන් මේසයට ගියේය. එක් මේසයක මාළුවා නැති බව ඔහු දුටුවේය. ඔහුගේ ඉරියව් ගැන එතැන සිටි සගයෙක් විමැසීය. ‘නෑ මොකුත් නෑ’ කියමින් ගෙහිමියා වෙත විගසින් ගිය ඔහු කීවේ මේසය යට බෑගයක මාළු කූරියකුගේ වලිගයක් දක්නට ඇති බවයි. මාළු කූරියකු නිසා කිසිවකුගේ ආත්ම ගෞරවයට කැළලක් නොවිය යුතු යැයි සිතු ගෙහිමියා සිය සගයා අමතා මෙසේ කීය. ‘හරි කමක් නැහැ. අපි හරියටම දන්නේ නෑනේ කොහොමද  ඕක වුණේ කියලා. සමහරවිට කවුරුහරි විහිළුවටත් කළාද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඔයා ඒ ගැන හාර අවුස්සන්නේ නැතිව තව මාළුවකු එතැන මේසයට යවන්න. මොහොතකදී තවත් මාළු කූරියෙකු මේසයේ දැකගත හැකි වූයේ සගයා එම උපදෙස් අකුරටම පිළිපැදීම නිසාය.