(කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය)
උතුරු මැද පළාතේ පිටිසරබද ගමක පිරිසක් කොළඹට පැමිණ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක සේවය කළහ. පිරිස අතර සිටි අමරදාස, කපිල බාස් උන්නැහේගේ අත්උදව්කරුවා ය. ඔහු කුකුල් කේන්ති කාරයකු මෙන්ම මෝඩ පහේ ගැමියෙකි. කපිල බාස් ඇතුළු පිරිස තේ වෙලාවේදී නොයෙකුත් විහිලු තහලු කර ගනිති. එහෙත්, අමරදාස කිසි විටෙක එම අල්ලාප සල්ලාපවලට එකතු වූයේ නැත. එදින කපිල බාස් ඔහු දුටු සිහිනයක්  විස්තර කළේය. 


“මම ඊයේ රෑ මරු හීනයක් දැක්කනේ. අපේ ගමේ වැව පිරිලා වාං දමනවා. අමරෙ අයියගෙ නෝනා, කමනි නංගි දිය රෙද්ද ඇඳගෙන මාත් එක්ක හරි හරියට නෙලුම් මල් කැඩුවා ගෝනියක්. මේ ඇත්තමයි. අම්මපල්ලා. ෂහ්! නියම හීනේ බං.”


එවිට සියල්ලෝම හඬනගා සිනාසෙමින් අමරදාස දෙස බැලූහ. ඔහු තරහින් බිම බලාගෙන සිටියේය. 


තේ වෙලාවෙන් පසු පිරිස යළි වැඩ පටන් ගත්හ. පසුව කෑම වේලාවට යළි එකතු වූ පිරිසට අමරදාස දැක ගැනීමට නොහැකි විය. 


පසුදා උදෑසන කපිල බාස් අමරදාසගේ අල්ලපු ගෙදර සිටින දිසා මල්ලීට දුරකතනයෙන් කතාකර අමරදාස ගෙදර ආවාදැයි ඇසීය. එවිට දිසා මල්ලී දුන්නේ අපූරු පිළිතුරකි. 


“අමරෙ මාමා පාන්දර ගෙදර ආවාලු. ආව ගමන්ම ගෑනිගෙ කෙස් වැටියෙන් අල්ලාගෙන, “උඹ මොකටද අර කපිල බාසට හීනෙන් පෙනුනේ. ඒ මදිවට දිය රෙද්දකුත් ඇඳගෙන විලි සංගේ නැතුව කතා කර කර මලුත් කඩලා. මං අහන්නේ උඹ මොකටද ඌට හීනෙන් පෙනුනේ” යැයි අසමින් බිරිඳට ඉදිමෙනතුරු ගුටි පූජාවක් දුන් බව දිසා මල්ලීගෙන් දැනගැනීමට හැකිවිය.