මීට දින කිහිපයකට පෙර ප්‍රවාහන අමාත්‍යවරයා ලංකා දුම්රිය  දෙපාර්තමේන්තුවේ තත්ත්වය ගණන් හිලව් සහිතව හෙළි කළේය. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට දෛනිකව දිනකට කෝටි 10ක ආදායමක් උපදවයි. 2021 එම දෙපාර්තමේන්තුව දුම්රිය සේවාවෙන් කෝටි 260ක ආදායමක් උත්පාදනය කරන විට සේවක වැටුප් සඳහා කෝටි 780ක් වැය කර තිබිණ. දුම්රිය සේවාවේ යථා ස්වභාය හොඳින් දිස්වන්නේ  දීර්ඝ කාලයේදී ලබන පාඩුව පිළිබඳව සලකා බැලූ විටය. එම පුවතට අනුව දුම්රිය සේවාවෙන් වසරකට සිදුවන පාඩුව කෝටි 4000ක් පමණ වේ. දුම්රිය සේවාව ශ්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය රාශියකින් එකක් පමණකි.

අන්තර්ජාලයේ දැක්වෙන තොරතුරුවලට අනුව 2022 වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසාය 527කි. එයින් 55ක් මූලෝපායික  වශයෙන් වැදගත් වන ඒවා ලෙස හඳුනාගෙන තිබේ. 2006 සිට 2020 අවුරුද්ද දක්වා මෙම මූලෝපායික වශයෙන් වැදගත් වන රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසාය 55ක් ලබා ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 1.2කි. රාජ්‍ය හිමි මෙකී ව්‍යවසාය 55නුත් නිතර කතාබහට ලක්වූ මහා පරිමාණයේ පාඩු ලබන ආයතන 5ක් පමණ වේ. දුම්රිය සේවාව ඉන් එකකි. මීට අමතරව ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මූලික වශයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වේ. 

මෙරට රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසාය ගනයට සම්ප්‍රදායික වශයෙන් අයත් වූයේ සම්මත වූ පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කරන ලද ආයතනය. මෑත කාලයේ  මෙකී රාජ්‍ය හිමි ව්‍යවසාය බොහොමයක් සමාගම් පනත යටතේ ආරම්භ කරන ලදී. එකී ව්‍යවසායවල හිමිකමෙන් බහුතර අයිතියක් ඇත්තේ රජය සතුව නම් ඒවා රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසාය ලෙස සැලකේ. 

කෝප් කමිටුවේ හෙළිදරව් වූ ආකාරයට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම අත්විඳි පාඩුව මෙම රජය බලයට පත්වූ දා සිට 2021 මාර්තු 31 වැනිදා  දක්වා පමණක් රුපියල් බිලියන 372කි. 2019 වසරේ පමණක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 44.131කි.

මූලෝපායික වශයෙන් වැදගත් වන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන්ගේ  පාඩුව දැන ගන්නට ලැබුණද සියලුම රාජ්‍ය හිමි ව්‍යවසායවල සමස්ත පාඩුව පිළිබඳව නිෂ්චිතව දැනගත හැකි මූලාශයක් නොමැත. එම නිසා දැනට දන්නා ඉලක්කම් වලින් එම නොදන්නා පාඩුව සිතින් මැන ගැනීමට සිදුවේ. 

මෙම පාඩු ලබන ආයතන කඩා නොවැටී පවත්වා ගනු ලබන්නේ මහජනතාවගේ බදු මුදලින් බව පැහැදිලිය. එම නිසා මෙම පාඩු අත්විඳින්නේ සමස්ත ජනතාවයි.  ජාතියක් ලෙස දිගින් දිගටම මෙම පාඩු අත් විඳිය යුතුද? ඊට නැත යන පිළිතුර නිරායාසයෙන්ම අපගේ මුවගට නැගෙතත් අපි දිගින් දිගටම අවිචාරයෙන් එම පාඩු අත්විඳිමු. එම ආයතන නඩත්තු කිරීම සඳහා දිගින් දිගටම වැය වෙන්නේ රටේ වෙනත් ඵලදායි කාර්යයන් උදෙසා වැය කළ හැකි මුදල්ය. 

අකාර්යක්ෂම පාලනය යටතේ දිගින් දිගටම මෙම ආයතන පවත්වාගෙන යාමට හේතු මෑත දිනක මහාචාර්ය සිරිමල් අබේරත්න පැහැදිලිව විස්තර කර තිබිණි. එකී ආයතන කඩා නොවැටී රජයේ මුදලින්ම පවත්වා ගැනෙන බව ඒවායේ කලින් කලට එන පාලකයෝ දනිති. රජයේ අය වැයෙන් ඒවාට මුදල් වෙන්වේ. එම නිසා පාඩුව අවම කර ගැනීමේ වගකීම ඒවායේ පාලකයන් පිට පැවරුණේ නැත. රජයේ සහතිකය ඇති නිසා ඒවා පවත්වා ගැනීමට අවශ්‍ය ණය මුදල් බැංකු වලින් ලැබේ. එම නිසා දිගින් දිගටම සිදු වූයේ පාඩුවේ සමුච්චිත අගය වැඩිවීම විනා එකී ආයතන නිසි ඵලදායී මට්ටමකට පත්වීම නොවේ. 

අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ බලයට පැමිණි ආණ්ඩු තම හිතවාදී පිරිස්වලට රැකියා සපයන උල්පත් බවට පත් කර ගත්තේ මෙකී රාජ්‍ය හිමිකාරිත්වය ඇති ආයතනය. ඒ කිසිදු අවස්ථාවක එම ආයතනවල ධාරිතාව හා ඵලදායිත්වය මැන බැලීමක් සිදුවූයේ නැත. බොහෝ සංස්ථාවල පාලන මණ්ඩලවලට පත් කළේ දේශපාලන හිතවත්කම් සලකා බලා මිස කුසලතාව පදනම් කරගෙන නොවේ. අවසාන ප්‍රතිඵලය  වූයේ එම ආයතනවල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව පිරිහී ගොස් ජනතා බදු මුදලින් නඩත්තු  වන ආයතන බවට පත්වීමයි. 

සමස්ත ජනතාව මේ වනවිට දුර්වල මූල්‍ය කළමනාකාරිත්වයේ අනිසි ප්‍රතිඵල අත්විඳිමින් සිටිති. ජනතාව ඉල්ලා සිටින ක්‍රම වෙනස ඉටු කිරීමේදී මෙම පාඩු ලබන ආයතන නිසි මගට ගැනීම ප්‍රමුඛ කාර්යයක් බවට පත්විය යුතුව තිබේ. 

එම ආයතන සම්බන්ධයෙන් ගතයුතු පියවර මේ වනවිට ආර්ථික විශේෂඥයන් පැහැදිලි කර ඇත. එක් එක් ආයතනවල ක්‍රියාකාරිත්වයට යෝග්‍ය වන පරිදි ඒවා පෞද්ගලිකකරණය කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීම හා කළමනාකරණය වෙනස් කිරීම් ආදී යෝජනා එම යෝජනා අතර  ඇත. 

එම කාර්ය ඉටු කිරීමේදී තම හිතවාදී ව්‍යාපාරිකයන්ට සැලකීමේ පදනම ඉවත දමා, විනිවිද පෙනෙන සුළු භාවයකින් යුතුව එම ව්‍යවසාය සම්බන්ධව තීරණ ගැනීමේ වගකීම දේශපාලකයන් පිට පැවරේ. තම යල් පීනු දේශපාලන මතිමතාන්තරවල එල්බ ගෙන නොසිට එම ආයතන නිසි ලෙස කළමනාකරණය කිරීමේ පියවර දෙස යථානුරූපීව කල්පනා කර බැලීමේ වගකීම වෘත්තීය සමිතිවලටත් සමස්ත ජනතාවටත් පැවරේ.

අපට අවශ්‍ය නම් වෙනත් රටවල මේ සම්බන්ධයෙන් ගත් පියවර අධ්‍යනය කළ හැකිය. හොඳම උදාහරණ අසල්වැසි ඉන්දියාවෙන් උකහා ගත හැකිය. ඉන්දියාව, එයාර් ඉන්දියා ගුවන් සමාගම පෞද්ගලික කරණය කිරීම ඉන් එකකි.

(***)