“මම දේශපාලනයෙන් තාවකාලිකව පැරදිලා තනතුරු දාලා ගෙදර එන විට මගේ වත්තෙ ඇති පලතුරු ගස් වෙනදාටත් වඩා හොඳින් මාව පිළිගත්තා.ඒ ගස්වලට මා එක්ක කතා කරන්න බැරි වුණත් ඒවායෙහි තිබෙන හොඳ ගුණ යහපත් ලෙන්ගතුකම ප්‍රාණයක් සේ මට දැනුණා.” ඔහු එසේ කීවේ මහත්වූ ආඩම්බරයෙනි.
මෙරට දේශපාලන කේෂ්ත්‍රයේ එකල කැපී පෙනුණ විදුලි බල පුනර්ජනනීය අමාත්‍ය, රාජ්‍ය ආදායම් අමාත්‍ය ඇතුළු අමාත්‍ය ධුර රැසක් හොබවමින් මෙරට බැරූරෑම් අවස්ථාවල රට ගැන සිතා කටයුතු කළ ඔහු රංජිත් සියඹලාපිටිය යි.මේ වන විට මෙරට දේශපාලන වේදිකාවෙන් මඳකට ඈත්වී සිටින හෙතෙම තමන් කුඩා කල සිට තිබූ විනෝදාංශයක් ඔස්සේ අනාගත දරැ පරපුරට සේම සමස්ත සමාජයටම වටිනාකමක් ලබාදීමේ උත්සායක නිරතව සිටියි.
රුවන්වැල්ල වැන්දල පිහිටි තම නිවස සහ අවට වත්ත කේන්ද්‍ර කර ගනිමින් ඔහු මේ වන විට පලතුරු වත්තක් පවත්වාගෙන යයි. එය වැන්දල පලතුරු අරණ ලෙස නම්කර තිබේ.එහි අක්කර පහළොවක විහිදුණු පලතුරු ගස් තිබේ. කිලෝමීටර් එක හමාරක් පමණ වත්ත පුරා ඇවිද ගිය පසු එහි ඇති පලතුරැ ගස් නැරඹීමට පුළුවන.මේ වන විට මෙම වත්තේ පලතුරු වර්ග පන්සිය හැට පහක් පමණ ඇත. නිශ්චිත පරීක්ෂණ මගින් තහවුරු කළ පලතුරු ගස් ප්‍රමාණය හාරසිය තිස් පහකි.ඉතිරි ගස් පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බව සියඹලාපිටිය මහතා කීය.
“මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් පලතුරු ගස්වලට ආසාවක් තිබුණා.තෑගි ලෙස මං අම්මාගෙන් තාත්තාගෙන් ඒ කාලේ ඉල්ලුවෙ පලතුරු පැළ විතරයි.මේ වත්ත අපේ අත්තම්මා වගේම අම්මා තාත්තා පවත්වාගෙන ගියා.නමුත් මම තමයි මෙය ක්‍රමානුකූලව නිර්මාණය කළේ.වත්ත පටන් ගන්න හරියෙ ගේ ඉස්සරා පැණි වරකා ගහක් තියෙනවා.ඒක ගොඩක් පරණයි.අපේ අත්තම්මා කොළඹ ප්‍රදර්ශනයකින් ගෙනැත් තමයි ඒ ගහ හදලා තියෙන්නෙ.අදටත් මේ වරකා ගහේ පැණි වරකා හැදෙනවා.ඒ වරකා ගහ ගැන මං ඒ කාලේ ලංකාදීප පුවත් පතට තීරු ලිපි ලියනකොටත් සඳහන් කළා.”
හඳුනාගැනීමේ පුවරු

පලතුරු වත්ත කොටස් හතරකට බෙදා වෙන් කර තිබේ.එමෙන්ම වෙන් කරන ලද කොටස් හඳුනා ගැනීම සඳහා බෝඩ් හතරක පලතුරු වර්ගවල නම් සඳහන් කළ දැන්වීම් පුවරු හතරක් ඒ ඒ කලාපවල සවිකර තිබේ.එමෙන්ම සෑම පලතුරැ ගසක් අසලම පලතුරැ ගසේ භාවිත නම නම,විද්‍යාත්මක නම මෙන්ම ආයුර්වේද නමද සඳහන් කර තිබීම නිසා ඉතා පහසුවෙන් ඕනෑම අයකුට මෙම පලතුරු ගස් ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන.
“හැම ගහක් ගැනම සොයා බලා නඩත්තු කිරීමේ පහසුවට තමයි මෙලෙස කරලා තියෙන්නෙ.ඒ වගේම කොටසකට එක සේවකයෙකු බැගින් කොටස් හතර සඳහා සේවකයො හතර දෙනෙකු පත්කරලා තියෙනවා.ඒ ප්‍රධාන සේවකයො හතර දෙනාගේ මූලිකත්වයෙන් තමයි වත්ත පාලනය කරන්නෙ.ඔවුන් ඒ සියලුම පලතුරු ගස් බලා ගන්නවා.ඊට අමතරව එම සේවකයො හතර දෙනාගෙ උදව්වට තවත් අය ඉන්නවා.මේ වත්තෙ ස්ථීර සේවකයො දොළහක් ඉන්නවා.එමෙන්ම අවශ්‍යතාව මත වෙනත් වැඩ සඳහා අපට අවශ්‍ය දිනවල තවත් සේවකයන් ගෙන්වා ගන්නවා.”ඔහු පවසයි.
පලතුරු වත්තේ වාණිජ වගා ලෙස තේ,පොල්,රබර් මෙන්ම කුරැඳු වගාවන් ද තිබේ. ඒවායෙන් ලබන ආදායමෙන් මෙම පලතුරු වත්ත නඩත්තු කිරීමට මුදල් සොයා ගන්නා බව ඔහු කියයි
.
“කුඩා කල සිටම මට ගස් එක්ක වැඩකරලා පුරුද්දක් තිබුණා.කොපමණ කාර්යබහුල වුණත් අමාත්‍යවරයෙකු ලෙස වැඩ කරද්දිත් දිනකට පැයක්වත් වත්ත පුරා ඇවිද්දා,වැඩ කළා.මට මතක හැටියට එක් රැයක් පමණයි ගෙදරින් පිට (කොළඹ) ගත කරලා තියෙන්නෙ. පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය වැඩක් නිසයි ගමට එන්න බැරිවුණේ.කෙතරම් කාර්යබහුල වුණත් පාර්ලිමේන්තු කාලයෙත් පසුව මං කොළඹ ඉදන් රුවන්වැල්ල ගෙදරට මහ රෑ හරි ආවා. අද නම් මං කාර්යබහුලත්වයෙන් මඳක් නිදහස් නිසා දවසකට පැය දෙකක් විතර පලතුරු වත්තෙ වැඩ කරනවා.ඒ ගස් හා පැළවලට සාත්තු කරනවා.වෙන අය වගේ මං ව්‍යායාම කරන්න ජිම් යන්නෙ නැහැ.නිතිපතා මේ වත්ත පුරා ඇවිදීමෙන්, වැඩ කිරීමෙන් හොඳ ව්‍යායාමක් ශරීරයට ලැබෙනවා.”
පලතුරු වත්තේ තිබෙන සෑම ගසකම උස අඩි දහයක් හෙවත් මීටර් තුනක සීමාවෙහි පවත්වාගෙන යාම ඔහුන්ගේ අරමුණ වී තිබේ.පලතුරු ගස් කප්පාදුවට ලක් කිරීමෙන් එම උස ප්‍රමාණයට සකස් කර ගත හැකිය. ඒ සඳහා ක්‍රමානුකූලව ගසක් අවස්ථා තුනක දී කප්පාදුවට ලක් කළ යුතුවේ. මේ වන විට වැන්දල පලතුරු අරණේ ගස්වල තුන්වන කප්පාදුවද සිදුකර තිබේ. මේ දිනවල ගස්වල අතු අඩුවෙන් වැවී තිබෙන නිසා මල් මෙන්ම පළදාවද අඩුය. ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට මෙම ගස් මල් පලවලින් සම්පූර්ණවීමට නියමිතය. අද වන විට ලාංකා පොළොවෙන් වඳවී යන සුවිශේෂ පලතුරැ වර්ග රැසක් මෙහි දක්නට ලැබේ.
වඳවෙමින් පවතින පලතුරු
දොඹකීන,බටකීන,ලේ අගුණ, බකුබ,ගොංගොටු වැනි දේ මෙහි ආරක්ෂිතව වගා කොට තිබේ.මෙම පලතුරුවලට වෙළඳපොළේ ඉල්ලුමක් නොමැති නිසා වඳවී යාමේ තර්ජනය ඇතිවී තිබේ.එමෙන්ම සීත දේශගුණිකව හට ගන්නා ස්ටෝබරි පලතුරු ද මෙහි මනාව වගා කොට තිබීම විශේෂත්වයකි.
දේශීය පලතුරු වන අනෝදා ප්‍රභේද අටක්,කජු වර්ග අටක්,උක් වර්ග විස්සක්,කොස් වර්ග දහයක්,අඹ වර්ග පනහක්,අන්නාසි වර්ග දහයක් හා කෙසෙල් වර්ග දහයක් බැගින් විවිධ පලතුරැ ප්‍රභේද මෙහි දක්නට ලැබේ.
තවද අද වන විට ඌන භාවිතය වඳ වෙමින් තිබෙන දං වර්ග දහයක් මෙහි දක්නට ලැබෙයි. එළ දං,මා දං,කුරැ දං,දඹ දං,කලත් දං,බට දොඹ,ලුණු දං වශයෙනි. කැලෑවල ඇති හිඹුටු පවා මෙහි වගා කොට තිබේ.එමෙන්ම විදේශීය පලතුරැ වර්ග රැසක්ම වැන්දල පලතුරු අරණේදී දක්නට පුළුවන.
මෙම පලතුරු අරණේ ප්‍රධාන උපදේශකයා වන්නේ ආචාර්ය සුභ හන්කෙන්ද මහතාය.ඔහුගේ තාක්ෂණික උපදෙස් මත මෙම පලතුරු වත්ත නඩත්තු කෙරේ. සුභ හන්කෙන්ද යනු කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකි.මෙහි ගොවි මහතා රංජිත් සියඹලාපිටියයි. පලතුරු වත්තේ ඇති සියලුම පලතුරු අලලා පොතක් රචනා කර ඇත.එහි සම කර්තෘවරැන් වන්නේ රංජිත් සියඹලාපිටිය හා සුභ හීන්කෙන්ද දෙපළයි. සියඹලාපිට්ය මහතා මීට ඉහතදී පොත් අටක් රචනා කර ඇත.ඔහු ඒ සියලුම පොත් ලියා ඇත්තේ දේශපාලන දෘෂ්ටිකෝණයෙනි.පරිසර විද්‍යාත්මක පොතක් රචනා කළේ ප්‍රථම වතාවට බව හෙතෙම පවසයි.
ගස් අතර මාවත්

වැන්දල පලතුරු අරණ මනරම්ය.එහි පලතුරු ගස් අතර ඇවිද යාමට මංමාවත් සකසා ඇත.සෑම පලතුරු ගසක් වටාම ආරක්ෂිත වැටි දමා තණ පිඩලි අල්ලා තිබේ.එම භූමියෙහි කඩා හැළුණු වේළුණු ගස්වල කොළ නොමැත.ඒවා සියල්ලම අතුගා නඩත්තු කර තිබීම අලංකාරය.නිතරම සේවකයන් වතුර දමා පොහොර දමා ගස්වලට සාත්තු කරන අයුරු අපි දුටුවෙමු.
කුරුලු රංචු වැඩි වශයෙන් එහි පහස විඳින ආකාරය චමත්කාරජනකය.වත්ත කෙළවර අලංකාර පොකුණු දෙකක් හා ගිමන් හැරීමට බංකුවක් සහිත පාලමක් ලීවලින් ඉදිකර තිබේ.විවාහ වන අය මෙහි ඇති චමත්කාරවත් බව නිසාම මංගල ඡායාරෑප ගැනීමට පැමිණෙති.ඒ එන සෑම යුවළකටම සිහිවටනයක් ලෙස මෙම පලතුරැ වත්තේ ඇති පැළ තවානෙන් පලතුරු පැළයක් පිරිනමන බව සියඹලාපිටිය මහතා පවසයි.එමෙන්ම කවුරැන් හෝ පලතුරු එක ගසක් හෝ සෑදීමට මහන්සිවේ නම් ඔවුන්ට උදව්වක් ලෙස මෙහි ඇති පලතුරු පැළයක් හෝ රිකිල්ලක් ඉල්ලුවොත් නොපැකිළවම ලබා දෙන සියඹලාපිටිය මහතා පවසන්නේ කිසිම දෙයක් තමන් සතු කර ගැනීමට වඩා සැමට බෙදා දීම අගනා බවය.
සියඹලාපිටිය මහතා යෞවනයකු සේ වත්ත පුරා අප සමග කිලෝමීටර ගණනක් ඇවිද යමින් ලේඅගුණ පලතුරක රස බලමින් ඒවා අපට ද පිළිගැන්වීය.එවැනි පලතුරක් පළමු වතාවට අප ද රස බැලුවේ වැන්දල පලතුරු අරණේදීය.මෙසේ ඕනෑම පුද්ගලයෙකුට එකම තැනක සිට දෑසින් බැලිය හැකි සුවිසල් පලතුරැ වත්තක් වේ නම් එය වැන්දල පලතුරැ වත්ත විය හැකිය. වනාන්තරයකට ගියත් මේ ආකාරයට පලතුරු පන්සිය ගණනක් දැක ගත නොහැක.
සොබාදහමේ දායාද විනාශවී යන කාලවකවානුවක පරිසරයට ආදරය කරන, සෙනෙහස දක්වන අයට වැන්දල පලතුරැ අරණ විශ්ව ගම්මානයක් බඳුය.සැප්තැම්බර් මස වන විට මෙහි සෑම ගසක්ම මල් පල දරන නිසා එම මාසයේ සිට තම අරණ මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව රංජිත් සියඹලාපිටිය මහතා කියයි.විශේෂයෙන්ම පාසල් ළමුන්ට ඒ සඳහා සුවිශේෂ අවස්ථාවක් ලබා දෙන බව ඔහු කියයි.වැන්දල පලතුරු අරණ පාසල් දරුවන්ගේ විෂය මාලාවට අයත් පරිසර පාඩම්වලට මෙන්ම අනාගතයේ මේ මිහිතලයටම ආශිර්වාදයක් වූ ස්ථානයක් වනු නිසැක.
(රවීන්ද්‍ර වෙලගෙදර )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd