තිඹිරි ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සිටින නිෂ්ශබ්ද අතලොස්සෙන් කෙනෙකි. මාසේ අන්තිමේ නිසි දිනට පඩිපත නොලැබුණොත් තිඹිරිගේ ගෙදර ආර්ථිකය අවුල්වෙන බව අපි සියලු දෙනාම දැන සිටියෙමු.
තිඹිරි දිග රැවුලක් හිමි අයෙකි. පයට පෑගෙන්න තරම් නම් නැත. එහෙත් මහා මනුස්සකමක් ඔහුට තිබේ. ඔහු පසුගිය බදාදා ඔහු කියූවේ බ්‍රහස්පතින්දා දිනයේ නිවාඩුවක් අවශ්‍ය බවය. එයට හේතුවද ඔහු කීය.
“අපි දුප්පත් පවුලකට පොඩි ගෙයක් හදලා දුන්නා. හෙට ගෙට ගෙවදිනවා. ඒකට යන්න” ඔහු කීය. “තිඹිරිලා ගෙයක් හදලා දීලා.” තිඹිරිගේ ආදායම වියදම දන්නා අපි පුදුමයට පත්වීමු. එහෙත් ඔහුගේ මනුස්සකම දන්නා නිසාම අපි තිඹිරිට ගෙයක් හදන්න බැරිකමක් නැතැයිද දැන සිටියෙමු.
ඒ කතාව එකමුතුකමේ කතාවකි. තවත් කෙනෙකුට උදව් වීමට මුදල් අවශ්‍ය නැති බව පෙන්වන කතාවකි. මේ ඒ කතාවයි.
තිඹිරියාගම බණ්ඩාරගේ උපන් ගම වූයේ වාරියපොළ තිඹිරියාගමය. කාලයක් කොළඹ පදිංචිව සිටි ඔහු, පසුගිය කොවිඩ් වසංගතයත් සමඟ කෙටිකලකට තම උපන් ගම බලා පැමිණියේය. නගරයේ කලබලයෙන් දුරස්ව, ගමේ නිස්කලංක පරිසරය අතර ජීවිතය ගත කළ ඒ කාලය ඔහුට අලුත් අත්දැකීම් රැසක් ගෙන ආවේය.
"මගේ ගම වාරියපොළ තිඹිරියාගමයි. කොවිඩ් කාලයේදී කොළඹට සීමා නොවී ගමට යන්න මම තීරණය කළා. ගමේ අපේ පරණ ගෙයකුත් ඉඩමකුත් තියෙනවා. ඒකත් බලාගෙන ටික කාලයක් මම එහි ගත කළා. රටේ සියලුම පාසල් වසද්දී තාක්ෂණය සම්බන්ධයෙන් පහසුකම් තියෙන දරැවන් zoom තාක්ෂණයෙන් ඉගෙන ගත්තා. පාසල් නොගියත් ඒ දරැවා zoom තාක්ෂණය ඔස්සේ ඉගෙනීමේ කටයුතුවල නිරත වුණා. ඒ zoom තාක්ෂණය ඔස්සේ ඉගන්වීම් කල ගුරැවරැ අමතර මුදලක් ලබා ගත්තා. මේ අතරේ බොහෝ පිරිසකට ඒ තාක්ෂණික පහසුකම් නොමැති කමින් අසරණ වුණා. "
ගෙයක් හදන්න හදවතේ මුල්ගල තිබුණ සිද්ධිය තිඹිරියාගම බණ්ඩාර පවසන්නට වූයේ එසේ්ය.
තිඹිරි, කොවිඩ් සමයේ අධ්‍යාපනය අතරමඟ නතරවූ දරැවන් ගැන සිතමින්, තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ එක්ව online පාසලක් ආරම්භ කළේය. තාක්ෂණය ඔස්සේ දරැවන්ට නැවතත් ඉගෙනීමේ අවස්ථාව ලබාදීමට ගත් එම උත්සාහය, බොහෝ දරැවන්ගේ අධ්‍යාපන ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කළේය.
එම ආරම්භයට සංවේදී හේතුවක් තිබුණි. ගමේ පාසල් යන පුංචි දරැවෙක් ඔහු වෙත පැමිණ, “මාමේ මට Zoom class එකට යන්න phone එකක් නෑ…” යනුවෙන් අහිංසක ලෙස කීවායය.
ඒ වචන කිහිපය තිඹිරියාගමගේ හිත තදින්ම කම්පනය කළේය. අධ්‍යාපනය ලබන්නට ආශාව තිබුණත්, පහසුකම් නොමැති නිසා දරැවන් පසුබසින යථාර්ථය ඔහු එදා සැබෑවටම දන්නා නිසාය. ඒ මොහොතෙන් පසු, “දරැවන්ගේ ඉගෙනීම නවතින්න දෙන්න බෑ” යන සිතුවිල්ලත් සමඟ ඔහු මිතුරන් කිහිප දෙනෙකු එක්කරගෙන online පාසල ආරම්භ කිරීමට පියවර ගත්තේය.
Online පාසල ආරම්භ කිරීමට පෙරම, Zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනයට සම්බන්ධ වීමට නොහැකිව සිටි දරැවන් ගැන තිඹිරියා දැඩිව සිතීය. ඒ නිසාම ඔහු තම විදේශීය මිතුරන් කිහිපදෙනෙකුගේ සහායද ලබාගෙන, දුරකථන නොමැති දරැවන් කිහිපදෙනෙකුටම ජංගම දුරකථන ලබා දීමට කටයුතු කළේය.
නමුත්, උපකරණ ලබා දීමෙන් පමණක් මේ ගැටලුව අවසන් නොවන බව ඔවුන්ට වැටහිණ. ගමේත්, රටේත් බොහෝ දරැවන් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් සිටින බව දැක, වැඩි පිරිසකට ඉගෙනීමේ අවස්ථාව ලබා දීමේ අදහසින් ඔවුහු online පාසල ආරම්භ කළහ.
එය සරල උත්සාහයක් නොවීය. එය අසීරැ කාලයක දරැවන්ගේ අනාගතය වෙනුවෙන් ගත් හෘදයාංගම පියවරක් විය.
මෙලෙස ලබාදුන් ජංගම දුරකථනයක් ආපසු දීමට දිනක් එක් දැරියක් පැමිණියාය. ඇය එම දුරකථනය ආපසු ලබාදීමට තීරණය කිරීමේ හේතුව අනාවරණය විය.
හේතුව වූයේ ඔවුන්ගේ නිවසේ විදුලිය නොමැති වීමය. මේ නිසා දුරකථනය charge කිරීමේ හැකියාවක් නොවීය. මුල් කාලයේදී එම අවස්ථාව ඇතැම් නිවාස හිමියන් ලබා දුන්නත් පසුව එය මග හැරිණ.
අධ්‍යාපනය ලබාගැනීමට තිබූ ආශාවට වඩා, ජීවිතයේ මූලික පහසුකම් නොමැතිකම බොහෝ දරැවන්ට ලොකුම බාධාව වී තිබිණ.
මේ සියලු බරපතළ වගකීම් සහ දුෂ්කරතා මධ්‍යයේත්, ශෂිනි තම අධ්‍යාපනය අත් නොහැරීමට උත්සාහ කළාය.
තිඹිරියාගම එම දරැවාගේ නිවස නිරීක්ෂණය කළේය. එහිදී දුටුවේ ඉතාමත් දුෂ්කර ජීවන තත්ත්වයකි.බිත්ති ලෙස ස්ථිර ඉදිකිරීම් නොව, ඉටිකොළවලින් ආවරණය කර තිබූ ඒ නිවසේ ජීවිතය ගත කිරීම පහසු නොවීය. මූලික පහසුකම් අවමවූ එම පරිසරය, අධ්‍යාපනයට අවශ්‍ය සරලම අවස්ථා ලබාගැනීමට බාධාවක් වී තිබිණ.
ශෂිනි දියණිය සහ තිඹිරි
එම දර්ශනය දැක ඔහු දැඩිව සංවේදී වූ අතර, එම දරැවාට උදව් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් තහවුරැ විය. එවකට ඇය නවය වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ශෂිනි නම් වූ ඇයගේ පවුලද ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ අතර, ඇයට බාල සහෝදරයෙකුද සිටියේය.
එමෙන්ම, යුද්ධයේදී මියගිය තම මාහප්පාගේ පුත්රයෙකුද ඔවුන් සමඟම ජීවත් විය. ඔහුගේ වගකීමද භාරගෙන රුකබලා ගත්තේ ශෂිනිගේ පියාය.
කිරි හරකෙකු ඇතිදැඩි කරමින් තම පවුලේ ජීවිකාව ගෙනයයි. ඒ සමඟම ඔහු සුළු සුළු රැකියා කරමින් පවුල රැකබලා ගනියි.
ශෂිනීගේ මව කාලයක සිට එක් රෝග තත්වයකින් පීඩා විඳින අතර, එම තත්ත්වය නිසා ඇයට රැකියාවක් කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් පවුලේ සියලු වගකීම් බරපතළ ලෙස පියාගේ උරමත පවතී.
මෙවැනි දුෂ්කරතා මධ්‍යයේත්, ඔවුහු තම දරැවන්ගේ අනාගතය සැලසුම් කරමින් සිටියහ.
“අපි මේ දරුවාට ගෙයක් හදලා දෙමුද…?”
එච්. එම්. සෙනවිරත්න තම වැඩුමහල් සහෝදරයා වන තිඹිරියාගමට යෝජනා කළේය. ඒ සඳහා ඔවුන්ට තිබුණේ අධිෂ්ඨානයත්, හෘදයාංගම කැපවීමත් පමණි.
“අපට මුදල් නැති වුණත්, මේ දරැවා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්,” යන විශ්වාසය ඔවුන්ගේ හිතේ තදින්ම පැවතිණ. එලෙස, ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, ශෂිනියගේ ජීවිතය වෙනස් කිරීමේ සත්ක්රියාවක් ආරම්භ කිරීමට අයියාත් මල්ලීත් තීරණය කළහ.
තිඹිරි තමන් සරසවි දිවියෙහි පටන් තමා දන්නා නීතිඥ නිරූපා සේරසිංහට මුලින් ම මේ පිළිබඳව දැනුම් දුන්නේය. ඇය ඉතා සංවේදීව මේ කාරණය සලකා බලා, ශෂිනියගේ මවගේ බැංකු ගිණුමට ආරම්භක වශයෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණයක්ද බැර කරමින්, නිවසක් ඉදිකිරීම සඳහා මුල් පියවර තැබුවාය. හිතමිතුරැ සහායද ලබා දුන්නාය.
එලෙස, කිසිදු විශාල ආර්ථික ශක්තියක් නොතිබුණද, හදවතින් උපන් කරැණාවත් එකමුතුකමත් නිසා ශෂිනි සහ ඇගේ සොහොයුරන්ගේ ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය පදනම සකස් වීමට ආරම්භ විය.
නිවසේ උළුවහු හා ජනෙල් සඳහා අවශ්‍ය ලී ලබාදීමට පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමිපාණන් ඇතුළු කිහිප දෙනෙක් කැමති වූහ .
විහාරස්ථානයේ ගොඩනැගීම් සඳහා සූදානම් කර තිබූ ලී ද්‍රව්‍යවලින් කොටසක් මෙම නිවස ඉදිකිරීම සඳහා ලබාදීමට උන්වහන්සේ කාරැණිකව කටයුතු කළහ.
“මේ වගේ පින්කම් බොහොමයකට මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාවට මාව සම්බන්ධ කර ගත්තේ තිඹිරියාගම මහත්තයයි. ඒකට ගොඩාක් ස්තුති කරනවා. මේ වගේ වැඩකටයුත්තකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා. මේ කටයුත්තට දායක වූ හැමෝටම මම පින් අනුමෝදනා කරනවා.”යැයි පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමිපාණෝ පැවසූහ.
සෑදූ නිවස

නිවස ගොඩනැගීම සඳහා අවශ්‍ය වැලි ලබා දීමට ජීවානන්ද කැමති විය. මේ සියලු දායකත්වයන් එකට එක්වීමෙන් නිවස ඉදිකිරීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් විය. පුංචි දායකත්වයන් පවා එකතුවූ විට විශාල වෙනසක් කළ හැකි බව එම ක්‍රියාවෙන් පැහැදිලි විය.
නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ වීමෙන් පසු පවුලේ සියලු දෙනා එකාවන්ව වෙහෙසවී වැඩ කළහ. තිඹිරි සහ සෙනෙවි හැකි අයුරින් ශ්‍රම දායකත්වයද ලබා දුන්හ. වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගියේය.
මේ අතර, රටපුරා පැවති ඉන්ධන හිඟය සහ අරගලය වැනි අර්බුදකාරී තත්ත්වයන්ටද ඔවුන්ට මුහුණ දීමට සිදුවිය. ඒ සමඟ සියලුම ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම නිසා, නිවස ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව මඳක් පසුබැසීමට ලක්විය.ඇස්තමේන්තු කළ වියදම ඉක්මවා ද්‍රව්‍ය මිල ඉහළ ගියේය. කෙසේ වෙතත්, ඔවුන්ගේ අධිෂ්ඨානය අඩුවූයේ නැත. අසීරැතා මධ්‍යයේ වුවද, මේ සත්කාරය සම්පූර්ණ කිරීමේ බලාපොරොත්තුව ඔවුන් තුළ තවදුරටත් ජීවමානව පැවතිණ.ශෂිනි ඇතුළු දරැවෝ ඉගෙනීමේ කටයුතු අතරේ දෙමව්පියන්ට සහාය දුන්හ.
මෙහිදී අවශ්‍යම මෙහොතේ තිඹිරියාගම බණ්ඩාරගේ ඉල්ලීම මත සර්වෝදය සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න විසින් නිවසේ වහලය සකස් කිරීම සහ වයරින් කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නේය.ඔහු නිවස ඉදිකෙරෙන ස්ථානයටම පැමිණ එය දැක බලා සෑහීමකට පත්වීමද විශේෂත්වයකි.මෙම මැදිහත්වීමත් සමඟ, නව නිවස ඉදිකිරීමේ කටයුතු නැවතත් ශක්තිමත් වී, නතරවී තිබූ වැඩකටයුතු ක්‍රමයෙන් ඉදිරියට ගියේය. නිවස ඉදිකෙරෙද්දී නවාංගද එක්වීමෙන් වියදම් පියවාගැනීම පිණිස වසන්ත රත්නසිරි ඔරොත්තු දෙන මට්ටමින් සුළු ණය මුදලක්ද ගත්තේය.“වත්තේ මහත්තයා”ද අවශ්‍යම මොහොතේ උදව්වක් කළේය.
“අපට දැන් ලස්සන ගෙයක් තියෙනවා. මේක අපිට හීනයක් වගෙයි. දැන් අපිට හිසට සෙවණක් තියෙනවා. මේ වෙනුවෙන් මහන්සි වූ හැමෝටම ගොඩාක් පින්”යැයි ශෂිනිගේ පියා වූ වසන්ත රත්නසිරි නිවසට පදිංචි වූ දා පැවසීය.
මෙලෙස නිවැසියන්ගේ උනන්දුවත්, සියලු දෙනාගේ ශ්‍රම දායකත්වයත් එක්වීමෙන්, සුන්දර නිවසක් නිර්මාණය විය. දුෂ්කරතා, අර්බුද සහ බාධක ගණනාවක් මධ්‍යයේ ආරම්භ වූ මේ කටයුත්ත, අවසානයේ එකමුතුකමේ හා කරැණාවේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථකව නිමාවට පත්විය. තවත් අයෙකුට ශක්තියක් වීමට මුදල් අත්‍යාවශ්‍ය අංගයක් නොවන බව පෙන්වීමට මීටත් වඩා උදාහරණයක් අවශ්‍යදැයි මට සිතේ.
දිශානි ජයමාලි කරැණාරත්න

ශෂිනි සිය පවුලේ සාමාජිකයන් සමග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd