
පසුගිය සති දෙකේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූයේ ‘ආලෝකා‘ ය.
වියට්නාමයේ පඤ්ඤාකර හිමියන්ගේ මූලිකත්වයෙන් දියත් වූ සාම පාගමනේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේ ආලෝකාය. මේ අපූරු සුනඛයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරම මෙරට ජනප%ිය චරිතයක් විය. මේ නිසාම කවදාවත් රාජකීය පිළිගැනීම් හෝ විශාල ජනහමු මැද ජීවත් නොවූ ආලෝකා ශ්‍රී ලංකා භූමියට පා තැබූ මොහොතේ අසාමාන්‍ය ආදරයක් හා ගෞරවයක් හිමි කර ගත්තේය.
ලංකාවේ දී ආලෝකාගේ ගමනට එක් වුණේ, සරල ආරක්ෂාවකට වඩා ගැඹුරු සම්බන්ධයක් ගොඩනඟාගත් අපූරු සොඳුරු මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් ආලෝකාට රැකවරණය දුන් ආරක්ෂකයන් වුවත්, කාලය ගතවෙද්දී ඒ භූමිකාව නව අර්ථයක් ගත්තේය. එය ආරක්ෂාවෙන් ආදරයට, වගකීමෙන් බැඳීමකට මාරු වූ සබඳතාවක් විය. ආලෝකාගේ සෑම පියවරක්ම සුරක්ෂිත කරමින් ඔවුහු නියම මිතුරන් දෙදෙනා බවට පත් වූහ. ආලෝකා දිව ගොස් නැවත හැරී බලන සෑම මොහොතකම පිටුපසින් නිහඬව සිටියේ ඔවුන්ය. ඒ ආරක්ෂකයන් ලෙස පමණක් නොව, ආලෝකාගේ විශ්වාසයේ අතුරුදන් නොවන සෙවණක් ලෙසය.
විශේෂ ආරක්ෂාවක්
ආලෝකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විශේෂ සැලකිල්ලක් යොමු කරනු ලැබීය. ආලෝකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ කේ-9 කණ්ඩායමට එකවර භාර දීමක් සිදු නොවූ අතර, ඒ වෙනුවට ක්‍රමවත් සහ සූක්ෂ්ම සැලසුම් ක්‍රියාවලියක් අනුගමනය කරන ලදි. භික්ෂූන් වහන්සේලා සමඟ ආලෝකා දිවයිනට පැමිණීමට තීරණය වීමත් සමඟ හමුදා මූලස්ථානය සමඟ කිහිප වතාවක්ම විශේෂ සාකච්ඡා පැවැත්විණ.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ආරක්ෂාව පිළිබඳ වගකීම් පැවරීම සම්බන්ධයෙන් ගන්නා ලදී. යුද හමුදාපතිගේ උපදෙස් මත, හමුදා මූලස්ථානයේ කමාන්ඩෝ බළ සේනාව හරහා හතරවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් චමින්ද බණ්ඩාරට ආලෝකාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම භාර කරනු ලැබීය.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ කේ-9 කණ්ඩායමේ අණදෙන නිලධාරී ලෙස මේජර් කලිඟු ජයසේකරට මෙම විශේෂ රාජකාරිය භාර විය. එම වගකීම භාරගත් ඔහු, කාර්යක්ෂමව හා සැලකිල්ලෙන් යුත් විශේෂ කණ්ඩායමක් සූදානම් කළේය. එහි නායකත්වය භාර ගත්තේ කපිතාන් රුසිරු පියුමික වන අතර, ඔහු සුනඛ හසුරුවීමේ කුසලතාවෙන්, විශේෂ දක්ෂතා ඇති නිලධාරියෙකි. කපිතාන් රුසිරුට අමතරව, තවත් තිදෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ද මෙයට එක් වූහ.

ආලෝකා මේජර් කලිඟු ජයසේකර ගේ රැකවරණය ලබමින්
අප්‍රේල් මස 21 වන දින, භික්ෂූන් වහන්සේලා සමඟ ආලෝකා ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමත් සමඟ වැඩ ඇරඹුණි. ලුතිනන් කර්නල් චමින්ද බණ්ඩාරගේ සම්බන්ධීකරණයෙන්, මේජර් කලිඟු ජයසේකර ඇතුළු කණ්ඩායමට වියට්නාම් ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ හමුවීමේ අවස්ථාව ලැබිණ.
එම හමුව සිදු වූයේ සාම පා ගමන ආරම්භ වීමට පෙර දිනයේදීය. එය සාමාන්‍ය හමුවක් නොව, ඉදිරියට පැවැත්වීමට නියමිත වූ මෙම ආගමික හා සාමකාමී ගමන සාර්ථකව සහ ආරක්ෂිතව ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ සම්බන්ධීකරණ පියවරක් විය.
ඇමරිකාවේ සිට මහා දුරක් පසුකර ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ආලෝකාට, පැමිණි මොහොතේ මේ නව පරිසරය හුරුපුරුදු නොවූ බව පැහැදිලිය. නව දේශයක ගුවන් තොටුපළේ නුහුරුකම, ආලෝකාට අලුත් අත්දැකීමක් විය.
නමුත් ඒ අමුත්ත දිගුකාලයක් නොපැවතිණ. ඉතා කෙටි කාලයකින්ම ආලෝකා මේ පරිසරයට හුරු වන්නට පටන් ගත්තේය. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වූයේ, උපන් රට වූ ඉන්දියාවේ කල්කටා නගරයේ ගත කළ ඒ පැරණි ජීවිත අත්දැකීම්ය. අද ඇමරිකාවේ ජීවත් වුවද, කල්කටාවේ උණුසුම් මිනිසුන්, සුවඳ සහ පරිසරය ආලෝකාගේ මතකයෙන් මැකී නොගොස් තිබිණ.
එබැවින් ගුවන් යානයෙන් බැස සුළු වේලාවක් ගතවීමට පෙරම මෙම නව පරිසරය තමන්ට හුරුපුරුදු ලෝකයක කොටසක් වශයෙන් පිළිගෙන, සුවසේ ඒ තුළ රැඳී සිටීමට ආලෝකාට හැකිවිය.
නිදහස් ගමන
ආලෝකාට හුරු වූ ලෝකය වූයේ පඤ්ඤාකර හිමිපාණන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සෙවණයි. ආලෝකාගේ ගමන, ඔවුන්ගේ පා ගමන සමඟම බැඳී තිබුණේ ආරක්ෂාවක් වශයෙන් පමණක් නොව, විශ්වාසයකින් හා සෙනෙහසින් පිරුණු සම්බන්ධතාවක් ලෙසය. ඇමරිකාවේ දිගු දින ගණනක් කිලෝමීටර් ගණනාවක් පා ගමනේ ගියද, ආලෝකාට දරාගත නොහැකි පීඩනයක් කිසිදා එරට ජනතාවගෙන් ඇති වූයේ නැත. මුල් සති කිහිපයෙහි එම පා ගමන පිළිබඳ ඇමරිකානුවන්ට විශේෂ අවබෝධයක් හෝ උනන්දුවක් නොතිබීම නිසා, ආලෝකාට හිමි වූයේ අසීමිත නිදහසකි.
ඒ නිදහස අතර ආලෝකා හිතේ හැටියට භික්ෂූන් වහන්සේලා සමඟ ගමන් කළේය. ඇතැම් වෙලාවක පෙරගමන්කරු ලෙස ඉදිරියට දිව යමින්, තවත් වෙලාවක පසුගමන් සගයා ලෙස නිහඬව අනුගමනය කරමින්. නමුත්, ඒ සෑම මොහොතකදීම, ආලෝකාගේ හදවත බැඳී තිබුණේ ඔවුන් සමඟය.
එහෙත්, ශ්‍රී ලංකාවේ පසුබිම එයට සම්පූර්ණයෙන්ම වෙනස් විය. පඤ්ඤාකර හිමිපාණන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ පැමිණීම පිළිබඳ පුවත පැතිර යද්දී, බොහෝ දෙනාගේ ප්‍රථම ප්රශ්නය වූයේ “ආලෝකාත් එනවා ද?” යන්නය. ඒ ආලෝකා පිළිබඳ ඇති වූ අසීමිත ආදරය හා උනන්දුව පෙන්වන සරල ප්‍රකාශයකි. ඒ අනුව, ආලෝකා සුරක්ෂිත කර ගැනීම නිලධාරීන්ගේ ප්රමුඛ වගකීමක් බවට පත්විය. ආලෝකා සාමාන්‍ය පාගමන් සගයකු නොව, ජනතාවගේ හදවත්වල ආදරය රැගෙන ගමන් කරන සුවිශේෂ චරිතයක් බවට පත්ව සිටියේය.
දක්ෂ සුනඛ හසුරුවන්නකු ලෙස පළපුරුද්දෙන් පිරිපුන් කපිතාන් රුසිරුට ආලෝකා සමඟ සම්බන්ධ වීම කිසි විටකත් අභියෝගයක් නොවීය. සාමාන්‍ය සුනඛයකුටත් වඩා විශේෂ හික්මීමක් හා නිහතමානී හැසිරීමක් ආලෝකාගෙන් දක්නට ලැබිණ. ආලෝකා කිසිදු අවස්ථාවක කලබලයක් හෝ නොසන්සුන් බවක් නොපෙන් වූ අතර එම සන්සුන් ස්වභාවයම ගමනට විශේෂත්වයක් එක් කළේය.
ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මේ සුනඛ සගයාට, මෙරට දැඩි අව් රශ්මියට හුරු වීමට කාලයක් අවශ්‍ය විය. විශේෂයෙන්ම, අප්‍රේල් මස 22 වන දින දඹුල්ලෙන් ආරම්භ වූ මුල්ම පා ගමන, දැඩි අව් රශ්මිය යටතේ පැවති එකක් විය. කිලෝමීටර් ගණනාවක් පයින් ගමන් කළ ආලෝකාට ඇති වූ වෙහෙස, පඤ්ඤාකර හිමියන් විසින් සැලකිලිමත් ලෙස අවබෝධ කර ගත්තේය. එබැවින්, ආලෝකා තාවකාලිකව වාහනයක ගෙන යාමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන්හ.
අව්රශ්මියෙන් මුදවා ගැනීම
ඒ අනුව, ඉතා සැලකිල්ලෙන් හා මෘදු ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාගෙන් ආලෝකා වෙන් කරගත් කපිතාන් රුසිරු ආලෝකා වාහනයට නංවා ගත්තේය. පාගමන ආරම්භයේ සිට අවසානය තෙක් සෑම මොහොතකම කපිතාන් රුසිරු ආලෝකා රථයට නංවා ගත්තේත් රථෙයන් බැස්සුවේත් ඔසවාගෙනය. ඒ තරමටම ආලෝකා පරිස්සම් කළේය. තමන් හුරු වූ භික්ෂූන් වහන්සේලාගෙන් හදිසියේ වෙන් වීමෙන්, ආලෝකා මඳක් කලබලයට පත් වූවේය. රථයේ සිට බෙල්ල දිගු කරමින්, ඉදිරියෙන් ගමන් කරනා ඔවුන් දෙස සොයා බැලීම ඔහුගේ කාර්යය විය.
එහෙත්, කපිතාන් රුසිරු ඇතුළු ආරක්ෂක නිලධාරීන්ගේ ආදරය හා පළපුරුද්ද නිසා, ආලෝකා ඉතා ඉක්මනින් ඔවුන්ට හුරු විය. කෙටි කාලයක් ගතවීමෙන් පසු, ආලෝකා කපිතාන් රුසිරුගේ ඇඟට හේත්තු වී, ඉදිරියෙන් ගමන් කරන භික්ෂූන් වහන්සේලා දෙස නෙත් යොමු කරමින්, රථෙය් සිට ගමන් කළේය., ඇතැම් වෙලාවල, ආරක්ෂක නිලධාරීන්ගේ උණුසුම් තුරුල්ලේම ආලෝකාට නින්ද ගියේය.
මුල් දිනයේ දී, කපිතාන් රුසිරු ඇතුළු ආරක්ෂක කණ්ඩායමට ආලෝකා හුරු වන තුරු රැගෙන ගියේ බෙල්ලට බැඳි පටියක් මගිනි. එය ආරක්ෂාව සඳහා ගත් සාමාන්‍ය පියවරක් වුවද, ආලෝකාගේ සන්සුන් හැසිරීමත්, කණ්ඩායමේ දක්ෂතාවත් නිරීක්ෂණය කළ පූජ්‍ය පඤ්ඤාකර හිමියෝ ඉක්මනින්ම එම පටිය ඉවත් කිරීමට තීරණය කළහ. ඒ මොහොතෙන් පසු, ආලෝකා නිදහසේ පා ගමනට එක් වුණේය.
එතැන් සිට ආලෝකා වරින් වර පා ගමනේ ගමන් කළේ නිදහසේය. කෙසේ වෙතත්, එම නිදහස ආලෝකා අනවශ්‍ය ලෙස භාවිත කළේ නැත. සෑම මොහොතකම පූජ්‍ය පඤ්ඤාකර හිමිපාණන් හෝ කපිතාන් රුසිරු අසල ගැවසෙමින්, විශ්වාසයෙන් පියවරෙන් පියවර ගමන් කළේය. එය ආලෝකාගේ හික්මීම හා මිනිසුන් සමඟ ඇති වූ ගැඹුරු සම්බන්ධතාව පිළිබඳ පැහැදිලි සාක්ෂියකි.

ප්‍රහාරයක්
පාගමන අතරතුර අවට සිටි අනෙකුත් වීදි සුනඛයන්ගෙන් යම් තර්ජනයක් එල්ල විය හැකි බව සැලකිල්ලට ගත යුතු විය. කටුගස්තොට ප්‍රදේශයේ දී එවැනි අවස්ථාවක් එළඹිණ. එක් සුනඛයෙකු ආලෝකා දෙසට ඉක්මනින් පැමිණි මොහොතක ආරක්ෂාවට සිටි නිලධාරියෙක් සැණෙකින් ආලෝකා ඔසවා ගත්තේය.
එවැනි සිද්ධීන් පාගමන පුරා කිහිප වතාවක්ම සිදු වූවත්, ආලෝකාගේ ප්‍රතිචාරය සෑම විටම සන්සුන් වූවකි. කිසිදු අවස්ථාවක අනෙකුත් සුනඛයන් පසුපස හඹා ගියේ නැත. කුඩා ගෙරවිලි හඬක් මඟින් පමණක් තම ස්ථාවරය පෙන්වා දුන්නේය. ඒ සෑම මොහොතකදීම, කපිතාන් රුසිරු ඇතුළු කණ්ඩායම ආලෝකා වටා ආරක්ෂිත වළල්ලක් සාදා, ආලෝකා සුරක්ෂිත කර ගත්හ.
ඒ නිසාම, සම්පූර්ණ පාගමන පුරා, ආලෝකා කිසිදු හිරිහැරයකට ලක් වූයේ නැත. ආලෝකාගේ සන්සුන් හැසිරීමත්, කණ්ඩායමේ අවධානයත් එක්ව, ඒ ගමන සාමයේ පණිවිඩයක් ලෙස පමණක් නොව ආරක්ෂාව, විශ්වාසය සහ සම්බන්ධතාව එක්ව ගොඩනැගුණු ජීවමාන කතාවක් බවට පත්විය.
සෑම දිනකම පා ගමන ආරම්භ වූයේ, භික්ෂූන් වහන්සේලා සමඟ සරල උදෑසන ආහාරයකින්ය. එම සන්සුන් මොහොත, ආලෝකාගේ දින චක්‍රයේ වැදගත් ආරම්භයක් විය. පාගමන අතරතුර කිසිදු ආහාරයක් ලබා නොදීම ආලෝකාගේ සෞඛ්‍ය හා ගමනේ අරමුණ දෙකම සුරක්ෂිත කර ගැනීමේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස සැලකිණ. පඤ්ඤාකර හිමියන් ලබා දී තිබූ මූලික සුනඛයන් කීකරු කිරීමේ පුහුණුව නිසා, ආලෝකා මේ ක්‍රමයට ඉතා හොඳින් හුරු විය. ඒ නිසාම, අතරමගදී කෙනකු විසින් දෙන ආහාර හෝ පාන ආලෝකා කිසි විටෙකත් පිළිගත්තේ නැත.
දැඩි අව් රශ්මිය යටතේ දිගු දුරක් පා ගමනේ යෙදෙන විට ඇතිවන පිපාසය සලකා, පඤ්ඤාකර හිමියන්ගේ උපදෙස් අනුව, අවශ්‍ය අවස්ථාවල ජලය පමණක් ලබා දුන්නේය. ආහාර ලබා දීම සිදු වූයේ, භික්ෂූන් වහන්සේලාට ආහාර පාන ගන්නා නිශ්චිත මොහොතේදී පමණි.
කොළඹට ළඟා වන විට දැඩි අව් රශ්මිය නිසා ආලෝකාට යම් වෙහෙසක් ඇති වූ අවස්ථා තිබුණද, එය තාවකාලික තත්ත්වයක් පමණි. ඒ හේතුවෙන්, කෙටි කාලයකට පමණක් පා ගමනෙන් වෙන් කර වාහනයට නංවා ගැනිණ. එය දුර්වලතාවක ලකුණක් නොව, සත්වයකු පිළිබඳ දැක්වූ සැලකිලිමත් රැකවරණයක ප්‍රතිපලයයි.

කපිතාන් රුසිරුට සමුදෙමින්
සමුගැන්ම
ආලෝකා සුරතල්කමෙන් පිරුණු, සෙනෙහස හුරු වූ සුනඛයෙකි. සෑම දිනකම සාම පා ගමන අවසන් වූ පසු, එදින නවාතැන් ගන්නා ස්ථානයට පැමිණි ආලෝකා , දිනය පුරා ගමන් කළ වෙහෙස අමතක කරමින් නිදහසේ සෙල්ලම් කළේය. භික්ෂූන් වහන්සේලාගේ සිරුරුවල දැව ටෙමින් සුරතල් විය. රාත්‍රී කාලයේ දී, භික්ෂූන් වහන්සේලා අසලම නිදාගන්නා ආලෝකා, උදෑසන ඔවුන් අවදි වන මොහොතේම නැවත අවදිව, අලුත් දිනට සූදානම් විය. ආලෝකගේ දින චක්‍රය, භික්ෂූන් වහන්සේලාගේ ජීවන රටාව සමඟ එකට ගැළපී ගමන් කළේය.
එමෙන්ම, රාත්‍රී කාලයේ දී ආලෝකා සුරක්ෂිතව තබා ගැනීමේ වගකීම, කපිතාන් රුසිරු ඇතුළු ආරක්ෂක කණ්ඩායම ඉතා කැපවීමෙන් ඉටු කළේය. ආලෝකා නිතර ඇස ගැටෙන, සුරක්ෂිත ස්ථානයක් අසල සිටිමින් ඔවුහු තම රාජකාරිය ඉටු කළහ. පාගමන අවසන් වූයේ අප්‍රේල් මස 28 වැනිදා නිදහස් චතුරශ්‍ර භූමියේ සන්සුන් අහස යටය. එහිදී, දිගු ගමනක අවසානය සනිටුහන් කරමින්, ආලෝකා නිදහසේ ගමන් කළේය.
අප්‍රේල් 29 උදෑසන දා ආලෝකා, පඤ්ඤාකර හිමිපාණන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සමඟ නැවතත් ගුවන් ගමනට සූදානම් විය. ඒ ඇමරිකාව බලාය. නමුත් පිටත්ව යාමට පෙර ආලෝකා අමතක නොකළ දෙයක් තිබුණි. ගුවන්තොටුපළේ දී, එතෙක් තමන් සෙනෙහසින් රැකබලා ගත් කපිතාන් රුසිරුගේ ඇඟේ දැවටෙමින්, වචනවලින් නොව හදවතින්ම පෙනුණු බැල්මකින් ආලෝකා ස්තුති කොට සමු ගත්තේය. එය භාෂාවකින් පැහැදිලි කළ නොහැකි සියුම් හැඟීම්වලින් පිරුණු විශේෂ මොහොතක් විය.
ආලෝකා මෙරටට පැමිණි ගමන අවසන් වුණත් තැබූ සලකුණු තවමත් මකා දැමිය නොහැකිව පවතී. බොහෝ මිනිසුන්ගේ හදවත්වල, සෙනෙහසින් පිරුණු සිනාවල සහ සාමය පිළිබඳ අලුත් විශ්වාසයක ආලෝකා නිරන්තරයෙන් ජීවත් වෙයි.
දිශානි ජයමාලි කරුණාරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd