
ශ්‍රී ලංකාවේ කන්ද උඩරට පිහිටා ඇති අතිශය සුන්දර ගම්මානයක් වන උඩදුම්බර හුන්නස්ගිරිය මීමුරේ ගම්මානය මෑතක වඩාත් කතා බහට ලක් වූයේ දැනට මාස පහකට පෙර ඇති වූ දිට්වා සුළි කුණාටුවත් සමඟ වැඩිම කාලයක් හුදකලා වූ ගම්මානය ලෙසයි .
වසර 5000 කටත් වඩා පැරැණි සංස්කෘතියක් ඇති බවට ඉතිහාසඥයින් සඳහන් කරන මීමුරේ ගම්මානය රාවණා රජුගේ රාජධානියක් ලෙසද සඳහන් වෙයි. රාවණා රජු හා සම්බන්ධ ප්‍රධාන ස්ථාන කිහිපයක්ම මීමුරෙ තුල දක්නට ලැබෙයි.
මීමුරේ ගම තුල පිහිටා ඇති ලකේගල ගම්මානයට එක් කරන්නේ අමුතුම එළියකි.
එහෙත් පසුගිය වසරේ නොවැම්බර 27 වනදා රට පුරා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා දිවෙන කිලෝ මිටර් 34 කින් පමණ සමන්විත ප්‍රධාන මාර්ගය ස්ථානය 50 කට වැඩි ප්‍රමාණයකින් විවිධ මට්ටමින් නාය ගියේය. ඒ නිසාම මීමුරේ ගම්මානය හුදකලා විය. ගම තුල කොටුවී සිටි ජනතාව වෙනුවෙන් සහන සැපයීම නිලධාරින්ට දැඩි දුෂ්කර තත්වයක් විය. ගම තුලට ප්‍රවේශ වීමට කිසිදු මාර්ගයක් නොවීය.
එසේ නමුත් රජය ඉදිරිපත් වී ගුවන් මගින් ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන තිබිණ. සහන කණ්ඩායම් පා ගමනින් ඉතා දුෂ්කර මඟක් ගෙවා ගොස් මෙම ගම්මානයට සහන සැලසීමේ නියැලුණහ.
දිට්වා සුළි කුණාටුවට ම් වන විට මාස පහක් ගතව තිබේ. මෙම කාලය තුල සියලු ප්‍රදේශ යථා තත්වයට පත්ව තිබුණත් මීමුරේ ගම්මානය තවමත් සම්පූර්ණ වශයෙන් යථා තත්වයට පත්වී නැති තත්වයක් පෙනේ. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මීමුරේ ගම්මානයේ නවතා තිබූ ලංගම බස් රථය මාස කිහිපයකට පසු එතනින් ඉවත් කර හුන්නස්ගිරියට රැගෙන ආවත් එම බස් රථය මේ වන තරුම මීමුරේ ගමට නැවත එන්නේ නැත. බස් රථයක් ගමන් කිරීමට තරම් මාර්ගය ප්‍රමාණවත් පරිදි තවමත් පිළිසකර වී නොතිබීම එයට හේතුවයි.
කෙතරම් ආපදා ඇති වුවත් මීමුරේ ගම්මානය පුරා කොළ පැහැ ගැන්වුණු කෙත්වතුවලින් මේ වන විටත් ගහනව පවතී. බැලූ බැලූ අත හරිත වර්ණයෙන් දිස් වන කෙත් වතු පෙන්වා දෙන්නේ ස්වභාව ධර්මය කෙතරම් බාධා ඇති කළත් මීමුරේ ජනතාව අත හැර නොමැති බවයි .
හුන්නස්ගිරියේ සිට කිලෝ මීටර් 34 ක් පමණ දුරක් විහිදෙන ප්‍රධාන මාර්ගය නායගිය ස්ථාන රැසක් මේ වන විට යථා තත්වයට නොවුනත් වාහන ගමන් කිරීමට හැකි පරිදි පිළිසකර කර තිබේ. එසේ වුවත් ස්ථාන කිහිපයක් පමණක් තවමත් පිළිසකර කර ගැනීමට හැකි වී නැත්තේ එම ස්ථානයේ පවතින අධික බෑවුම් හා ගල් වැටී තිබීම නිසයි .
දිට්වා සුළී කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් හුදකලාව සිටි මීමුරේ ජනතාව මාස පහකට පසු දක්වන අදහස් පිළිබඳවද අප විමසා බැලුවමු.
මීමුරේ ගම්මානයේ රැක ගන්න වෙහෙසන ඊ.ඇම්.පී.ජී. නවරත්න බණ්ඩා මහතා අප සමඟ අදහස් දැක්වූයේ ගම ගැන
ඔහු ඇති කැපවීමද පෙරදැරි කර ගෙනය.
“ දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ මීමුරේ හුදකලා වුණා. ටික කාලයක් වාහනයක්වත් යන්න එන්න බැරි තත්වයක් තිබුණා. අදටත් ලංගම බස් රථයට එන්න බෑ.මේ මාර්ගය කඳු ගිරි දුර්ගවලින් සමන්විත මාර්ගයක්. එදා අධිරාජ්‍යවාදීන් කිසිම සැලසුමක් නැතිව තේ කෝපි රබර් වැනි වගාවන් කරන්න කපපු පාරක් මේක.මේ ගමට මුලින් පාර තිබිල තියෙන්නේ මහියංගණය පැත්තෙන් දන්දෙණිකුඹුර, ඉලුක්හේන ,කැකළවත්ත වගේ පාරම්පරික ගම්මාන තිබ්බ පැත්තෙන්. ඒ පැත්තෙන් අදටත් පුළුවන් මහියංගණය හරහා වස්ගමුව ජාතික වන උද්‍යාන පැත්තෙන් ආවහම මේ ගමට එන්න. කිවුලවාඩිය පත්තෙන් තියෙන මේ පාර සංවර්ධනය කළොත් හොඳ පාරක් වෙයි.
නායයෑමෙන් කඩා වැටුණු මාර්ගය මාර්ගයක් වශයෙන් හදන්න අමාරුයි. මේක හැදුවත් ඉදිරියේදී ඇති වන වැසි වලට ඔරොත්තු දෙන්නේ නැති වෙයි . අනාගතයේදී මේ වගේ කුණාටුවක් ආවොත් ගඟට ඉනි කැපුව වගේ වෙනවා. ඒ නිසා මම යෝජනාවක් හැටියට ගේනව විකල්ප මාර්ගයක් හැටියට දන්දෙණිකුඹුර හරහා මහියංගණය දක්වා මාර්ගය ඉදි කරන එක. දැනටත් ඒ මාර්ගය තියෙනවා . කිලෝ මීටර් 12 ක් විතර වන ඒ මාර්ගයෙන් අලුතින් කපන්න තියෙන්නේ කිලෝ මීටර් පහක විතර දුරක්. අලුතෙන් කිව්වට මිනිස්සු උදලුවලින් කපා ගත් පාරක් මේක.
මීමුරේ ගම්මානය ඉතා සාර්ථක ලෙස සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබූ ප්‍රදේශයකි. දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් දිනපතා පැමිණියහ. ඒ නිසාම මෙම ගම්මානයේ සංචාරක නිකේතන හෝටල් විශාල වශයෙන් ඉදි වන්නට විය. නමුත් දිට්වා ආපදාවෙන් පසුව සංචාරක ව්‍යාපාරය යම් පසු බෑමකට ලක්ව ඇති බව එම ප්‍රදේශ දකිද්දී අපටද අවබෝධ විය . විශේෂයෙන් සංචාරයින් ගමන් ගන්නා සූරිය අරණ මාර්ගය කුණාටුව හේතුවෙන් විශාල ගස් වැටී අවහිර වී තිබේ. එම මාර්ගය මෙතෙක් පිළිසකර කර නොමැති වීම සංචාරක කර්මාන්තය යළි ගොඩනැගීමේදී බාධාවක් වී තිබේ.
මෙහිදි අප සමඟ කතා කළ ගොවි මහතෙකු වන යූ.ජී. ගුණරත්න බණ්ඩා මහතා දැකුවූ අදහස් මේ.
“ ඇත්තටම කියනවනම් අපි තවමත් කොටු වෙලයි ඉන්නේ ගමට ආව බස් එක අතරමඟ නැවතිලා තියෙනවා. පාර තවමත් හරි තත්වයට පත් වෙලා නෑ. දේශපාලඥයින් නිලධාරින් හුඟක් අය ඇවිල්ලා ගියා අපි හිතපු තරම් වැඩක් වුනේ නෑ. අපි දැන් එළවළු වගා කරල තියෙනවා. ඒවා ප්‍රවාහනය කර ගැනීමට තෙල් මිලත් එක්කත් අපහසු වෙලා තිනෙයනවා .ඒ විතරක් නෙවෙයි. ලොරියක් වගේ වාහනයක් ගමට එන්න බැරි වීමත් ගැටළුවක් වෙලා තියෙනවා.සංචාරක ව්‍යාපාරයත් අඩාල වෙලයි තියෙන්නේ. අතරින් පතර සංචාරකයින් ආවත් ඉස්සර වාගේ ආපු සෙනඟ එන්නේ දැන් එන්නේ නෑ. සුරියඅරණ මාර්ගයට ඇති බාධා ඉවත් කරල දුන්නොත් කැබ් එකක් හරි දුවන්න පුළුවන්. ලූල්වත්ත දක්වා දැනට ධාවනය වන බස් රථය ගමටම ලබා දුන්නොත් අපට ලොකු සහනයක් වෙනවා.
මීමුරේ ගම්මානයේ පදිංචි ඒම්.ජී. රම්බණ්ඩා මහතා දක්වූ අදහස් මේ.
‘අපේ මේ ගම්මානය එන ප්‍රධාන මාර්ගය නාය ගියාට පස්සේ තවමත් බස් එක ගමට එන්නේ නෑ .මේ කුඹුරුවලට යන මාර්ගය හදල දෙන්න කියල අපි රජයෙන් ඉල්ලනවා. එළවළු වගා කරල තියෙන්නේ මේ පැත්තේ අස්වැන්න අපට කරෙන් අරන් යන්න බෑ.’
මීමුරේ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පාරම්පරික ගමකට ඇති සන්නාමයක්. මේ ගම රැක ගන්න පළමුවෙන්ම මාර්ගය විධිමත්ව ඉදි කළ යුතු බව ගම් වැසියන් සියලු දෙනාගේම අදහසයි. ගමට ආ බස් රථය නැවත ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලති. ඒත් බස් රථය ගමට ගෙන්වා ගන්න නම්, ප්‍රධාන මාර්ගය ඉතා ඉක්මනින් පිළිසකර කළ යුතුයි. බොහෝ තැන් මේ වන විට පිළිසකර වී ඇතත් ස්ථාන කිහිපයක් පිළිසකර කිරීම දුෂ්කර තත්වයේ පවතින බව පෙනේ. ස්වභාව ධර්මය විසින් ඇති කළා වූ මේ කුණාටුව නිසා මාස ගණනක් හුදකලා වී සිටියත් ආත්ම ශක්තිය අත් නොහැර තවමත් එඩිතරව නැඟී සිටීමට තරම් ශක්තිමත් පිරිසක් මීමුරේ සහ අවට ගම්මානවල පදිංචි සිටීම දැකිය හැකිය. රටේ බොහෝ ප්‍රදේශවල ගොවීන් විවිධ අඩුපාඩු කියමින් හඩා වැටෙද්දී මීමුරේ ගොවීන්ගේ වී පමණක් නොව එළවළු ඇතුළු සියලු වගාවන් හරිත වර්ණයෙන් බැබළෙන්නේ ඒ නිසාම විය යුතුය.
මොහොමඩ් ආසික් (I J)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd