
"කාන්තාවක් තනියම බයික් එකක? දින අටක්?' - සමාජය විසින් ප්‍රශ්නාර්ථයක් තැබූ තැන ඇය තැබුවේ විස්මයාර්ථයකි. බාධක පිරි පාරවල්, හුදෙකලා හන්දි සහ නන්නාඳුනන මිනිසුන් මැදින් ඇය තම යතුරුපැදිය පදවාගෙන ගියේ බිය පසෙකලාය.
බොහෝ දෙනකුට මෝටර් සයිකලයක් යනු හුදෙක් ගමනාගමන මාධ්‍යයක් වුවද, දින අටක්, රෝද දෙකක් සහ ඉමක් නොපෙනෙන නිදහසක් සොයා ඇය ගිය ගමන ඇයට එය තම ආත්මවිශ්වාසය මැන බලන මිම්මක් විය. හුරුපුරුදු සුවපහසු කලාපයෙන් මිදී, තාර පාරේ රස්නයත්, නොකී කතාන්දර සොයා යන සුළඟත් සමග ඇය තනිවම සැතපුම් සිය ගණනක් ගෙවා දැමුවේ තවත් එක් සංචාරයක් සඳහාම නොව තමන්ට තමන්වම මුණගැසෙනු පිණිසය.
"තනියම පාර මාරු වෙන්නත් බයෙන් හිටිය මට රට වටේ තනියම යන්න ශක්තියක් වුණ ඒ කතාව තමයි මේ.” යන්නෙන් ඇය ඇයගේ මුහුණු පොතේ එක් තැනක කියා තිබුණේ හරි අපූරු කතාවකි. දින අටක් පුරා පේදුරුතුඩුවට මග නොදන්නා ඉසව් සොයා ගිය සමන්මලී තුෂාරාගේ ඒ ශක්තිමත් කතාවයි මේ.
ඇය කලා පවුලකින් එන්නියකි. ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන රන්මුතුගල රංජිත්ප්‍රියගේ වැඩිමහල් දියණිය වන සමන්මලී අපේ කථා නායිකාවද ද දක්ෂ බතික් චිත්‍ර ශිල්පිනියකි.
"මගේ ගම වේයන්ගොඩ. මගේ පවුලේ ඉන්නේ අක්කායි මල්ලියි අම්මායි තාත්තායි. ඔව්, මගේ තාත්තා ප්‍රවීණ බතික් චිත්‍ර ශිල්පියෙක්. මගේ අක්කාත් මල්ලිත් බතික් චිත්‍ර ශිල්පියෝ. අපේ පවුලෙන් බතික් චිත්‍ර කලාවට අති දක්ෂම මගේ මල්ලි. එයා සිතුම් සුදාර. බතික් චිත්‍ර කලාව කියන්නේ අපේ පවුලෙම ව්‍යාපාරයක්. අවසානයේ මමත් මගේ ජීවිතය බතික් කලාව වෙනුවෙන් තමයි වෙන් කළේ. චිත්‍ර ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. මේ වෙනකොට තාත්තාගේ බතික් ව්‍යාපාරය කරගෙන යන්නේ මගේ අක්කා. මම ඇයගේ බතික් ව්‍යාපාරයේ ඩිසයිනර් විදිහට වෘත්තිය කරගෙන යනවා.”
බතික් කලාවෙන් රටා මැවුණ ඇගේ ජීවිතයට සංචාරය සහ ඡායාරූපකරණය බද්ධ වන්නේ නොසිතු ලෙසය. ඇගේ මුල්ම ආසාව වන්නේ ඇසට සුන්දර ස්ථාන ඡායාරූප ගත කිරීම පමණක් වුවත්, සංචාරය ඇගේ ජීවිතට එන්නේ ඡායාරූපකරණයේ අතුරු ඵලයක් ලෙසින්ය.
“ලස්සන තැන් දැක්කාම ඡායාරූප ගන්න මම පුංචි කාලේ ඉඳලාම ආස දෙයක්. නමුත් සංචාරය මගේ ජීවිතේට එන්නේ හරිම අහම්බයකින්.
මමත් තරුණ වියේදීම විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරමින් අම්මා කෙනෙක් වෙන්න හරිම ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්. නමුත් විවාහ වෙලා වසර 10 ක් විතර යද්දි මම ජීවිතේ බිංදුවටම කඩා වැටෙනවා. විවාහ ජීවිතේ ඇති වුණ යම් යම් ගැටලුකාරි තත්ත්වයන් එක්ක උසාවියෙන් දුකකුත් නැති සතුටකුත් නැති හිස් හැඟීමකින් එදා අපේ කතාව ඉවර වෙනවා. එතැනින් පස්සේ මම ජීවත් වුණේ මගේ දෙමාපියන් ළඟ.
ඒ විදිහට හැම දේම අහිමි වෙලා මම තනියම ජිවත් වෙන්න බෝඩිං කාමරයකට ගියාට පස්සේ මට විශාල තනිකමක් ආවා. දුක හිතුණා. නිතරම කේන්ති ආවා. ඇස්වල නිතරම කඳුළු. අඬන්නේ නැති වෙලාවක් නැහැ. මට තේරුණා මම ඉන්නේ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි කියන එක. මම ප්‍රතිකාරවලට ගිය පළමු දිනයේ මගේ කතාව අහලා ඩොක්ටර් ඇහැව්වා මගෙන් මොකද් ද ඔයාගේ විනෝදාංශය කියලා.
මගේ විනෝදාංශය තමයි ඡායාරූප ගන්න එක. නමුත් මට කැමරාවක් නැහැ. හැබැයි ලස්සන තැන්වලට ගිහින් මගේ ජංගම දුරකථනයෙන් මම පින්තූර ගන්නවා. එදා ඒ වෛද්‍යවරයා මම ගත්ත ඡායාරූප බලලා ඒවා හරිම ලස්සනයි කියලා කවදා හරි ඔයා මෙන්න මේ කැමරාව ගන්න කියලා යෝජනාවකුත් එක්ක පුංචි ධෛර්යකුයි බලාපොරොත්තුවකුයි දුන්නා. එදා මට බෙහෙත් ලැබුණා. රෝහලෙන් පිට වෙලා හරිම සතුටෙන් ගෙදර ගියා. එදා රෝහලෙන් පිට වෙලා ආවේ පින්තූර ගන්න ආකාර ගැන සිහින මවමින් අලුත් බලාපොරොත්තුවක් එක්ක. සායනික ප්‍රතිකාරවලට යොමු වෙද්දි මගේ මානසික ප්‍රබෝධය වැඩි වුණා. මගේ තාත්තා මගේ පිටිපස්සෙන්ම හිටියා. අක්කා මගේ හෙවණැල්ල වගේ අදටත් ඉන්නවා. අතහැරුණ දේවල් පස්සේ යන්නේ නැතුව ජීවිතේ ගොඩ නඟාගන්න ඒ දෙන්නාම මගපෙන්නුවා.
දවසක් තාත්තා මට කිව්වා වැඩ පහසු කරගන්න බයික් එකක් ගන්න කියලා. අන්න එදා තමයි මම සංචාරකයෙක් වුණේ.
මුලින්ම මගේ ආත්තම්මා බලන්න මාතර ගිය ගමන තමයි බයික් එකේ ගිය දුරම ගමන. ඊට පස්සේ මම දුරම ගමනක් කියලා ගියේ අම්පාරට. ඒ ගමනේ ලොකු කලාපයක් ආවරණය වුණා. එතැනින් පස්සේ අාරුගම්බේ, හපුතලේ, නුවරඑළිය, කල්පිටිය, මහියංගණය ප්‍රදේශවලත් විටින් විට සංචාරය කළා. ඡායාරූප ගන්න සංචාරයට කරත් දවසින් දවස මට සංචාරය කරන්න තියෙන ආසාව වැඩි වුණා.
ජීවිතේ කියන්නෙම වැටීම් නැගිටීම් හැලහැප්පීම් මැද යන්න තියෙන ගමනක් එහෙම ජීවත ගමනක් තුළ මේ වෙනස්ම ගමන බයික් එකකින් යන්න තීරණය කළේ ඇයි?
මම දැකලා තිබුණේ නැහැ ගෑනු කෙනෙක් තනියම මෙච්චර දුරක් කෙනෙක්. මට ඒ අදහස ආවට පස්සේ තාත්තාට කිව්වා. තාත්තායි අම්මායි මුලින් ටිකක් අකමැති වුණා. එයාලා බය වුණා. පස්සේ තාත්තා කැමති වුණා. අම්මාගෙයි තාත්තාගේ ආශීර්වාදය මට ලැබුණා. සංචාරය කරන්න විශේෂම හේතුව තමයි ඡායාරූපකරණයට තියෙන කැමැත්ත. මගේ අම්මා හරිම ශක්තිමත් කාන්තාවක්. මම හිතනවා මේ ගමන් යන්න ගතේ හයිය මට එන්න ඇත්තේ මගේ අම්මාගෙන් හිතේ හයිය එන්න ඇත්තේ තාත්තාගෙන් කියලා.
2025 වසරේ මම යාපනේ දවස් තුනක සංචාරයේ යෙදුණා. එතැනින් පස්සේ මට ලංකාව පුරා ගමනක් යන්න පුළුවන් කියලා දැනුණා. මට මං ගැන හොඳ ආත්ම ශක්තියක් දැනුණාට පස්සේ මේ ගමනට සූදානම් වුණා. මෙම මේ ගමන ගියේ හොඳට සංවිධානය වෙලා.
මගේ සංචාරයේ ගමන පටන් ගත්තේ වේයන්ගොඩින්. දවස් 8 ක ගමන. ගිය සම්පූර්ණ දුර කිලෝ මීටර 1822 ක්. හැම ගමනක්ම උදේම ආරම්භ කරලා සවස 6 වෙද්දි මම නවාතැන්පලකට ගියා. ඒක ගියේ මගේ ආරක්ෂාව ගැන හිතලා. රාත්‍රියට කිසිම වෙලාවක නවාතැනින් එළියට ගියේ නැහැ. නවාතැන් සියල්ලම මම තෝරගත්තේ ගූගල් රිවිව් බලලා. ගමන පිටත් වෙන්න කලින් සමහර නවාතැන් බැලුවා. නමුත් යන ස්ථානයන්ට අනුව ඒ වෙලාවට නවාතැන් තෝරගන්න වුණ අවස්ථාත් තිබුණා.
- මම මුල් දවසේ ගියේ වේයන්ගොඩ සිට කල්පිටියට
- දෙවැනි දිනයේ කල්පිටිය මන්නාරම
- තුන් වැනි දිනයේ මන්නාරම යාපනය
- හතර වැනි දිනයේ යාපනය සහ මුලතිව්
- මුලතිව් ත්‍රිකුණාමලට පස්වන දවස
- හය වැනි දිනය ත්‍රිකුණාමලය අාරුගම්බේ
- හත් වැනි දිනය අාරුගම්බේ වැලිගම
- 8 වැනි දවසේ වැලිගම වේයන්ගොඩ ඒ විදිහට මගේ චාරිකාව නිමා කළා.
ඇත්තටම කිලෝ මීටර් 1822 තනියම ආරක්ෂිතව ගිහින් ආවේ කොහොමද?
මගේ දින අටේ සංචාරය මහා වීරක්‍රියාවක් කියලා දැනෙන්නේ නැහැ. ඒ තරමටම සැහැල්ලුවෙන් මම එය විඳගත්ත නිසා. මේ ගමනට මම මාස හත අටක කාලයක සිට නිවාඩුවක් ලබාගැනීමට බලා සිටියා. අවස්ථාව ලද සැනින් ඊට සූදානම් වුනා. ගමනෙහි ප්‍රධානම අවශ්‍යතාව වන මගේ Rider (Yamaha Ray Zr Dark Knight) බයික් එක සම්පූර්ණයෙන්ම පරීක්ෂා කළා. අඩු පාඩු හැදුවා. හොඳින් පරීක්ෂා කරවාගෙන සකස් කර ගත්තා. මගේ බයිසිකලය ගමන ගිහින් එනකම් මට කිසිම වදයක් දුන්නේ නැහැ. දින අටට අවශ්‍ය ඇඳුම්, පැරසිටමෝල් සහ මගේ අනෙකුත් බෙහෙත් වර්ග, චාජර් කේබල්, ආදී අවශ්‍යම දේවල් වෙන වෙනම අසුරා ගමන් මලු දෙකක් සූදානම් කරගත්තා. හැම දවසකම මම උදෑසන 5.30 – 6.00 වෙද්දි මගේ සංචාරය ආරම්භ කළා. මගේ ළඟ තියෙන්නෙත් අවුරුදු 5 ක් විතර පරණ යමහා ස්කූටි බයිසිකලයක්. කොහොම වුනත් මට මගේ වාහනේ ගැන හොඳ විශවාසයක් තිබුණා.
එදා දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට කාන්තාවන්ට වස්ත්‍රාභරණයෙන් සැරසී ගමන් කිරීමට හැකියාව තිබුණත් වර්තමාන සමාජයේ එවන් තත්ත්වයක් නොමැති බව හොඳින්ම දන්නා යුගයක "ලංකාවේ පාරවල්වල තනියම බයික් එකක යන එක ගෑනු ළමයෙකුට අනතුරුදායකයි" කියන මතය ගැන අය දැක්වූයේ මෙවන් අදහසකි.
"ගොඩක් අය හිතන්නේ ගෑනු ළමයෙක්ට තනියම කරන්න පුළුවන් දේවල් සීමිතයි කියලා. මට ඕන වුණේ ඒ සීමාවන් බිඳලා දාලා මගේම හැකියාවන් අත්හදා බලන්න. බයික් එකේ තනියම යනකොට ලැබෙන ඒ නිදහස ලෝකේ වෙන කොහේවත් නෑ. මම ඒ ගමන ගියේ හරිම සැහැල්ලුවෙන් කලිසමක් ටීෂර්ට් එකක් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන.
ඇත්තටම ලංකාවේ අනාරක්ෂිතයි කියලා තැනක් මට තාම හම්බුන් නැහැ. මම ගියපු දුරත් එක්ක මම කිසිම වෙලාවක සංචාරකයෙක් විදියට හයිලයිට් වෙන්න ගිහින් නැහැ. මම හරි සැහැල්ලුවෙන් තමයි ඒ ගමන ගියේ. අපි තැනකට ගිහින් කැපීපෙනෙන්න ගියොත් තමයි ගැටලුකාරි තත්ත්වයන් ඇතිවෙන්නේ. හයිලයිට් නොවි යන තරමට අපේ ගමන නිදහස් සහ ආරක්ෂිතයි. විශේෂිත දේ තමයි රාත්‍රි ගමන් සුදුසු නැහැ. මම මගේ ගමන්වලදි රාත්‍රි 6 න් පස්සේ සංචාරය කළේ නැහැ. කොහොම හරි 6 ට කලින් නවාතැන් පලට ගියා.
මට මේ ගමන පුරාවටම පුංචි බයක් දැනුණේ මුලතිව් නගරයෙදි විතරයි. මොකද ඒ නගරය හරිම පාළුයි. ඊට පස්සේ මන්නාරමට ගියාහමත් ඒ මිනිස්සු ඒ පරිසරයට වඩා ටිකක් වෙනස් කියලා දැනුණා. ධීවර ගම්මාන අස්සෙන් තනියම බයික් එකක ගැහැනු කෙනෙක් යද්දි අමුතුවට බලපු අයත් හිටියා. ඒ උනාට ඉතින් ගමන ගිහින් එනකම් මට වචනයකින්වත් කරදරයක් නම් වුණේ නැහැ.
ගෑනු ළමයෙක්ට ඕනෑම තැනක තනියම යන්න පුළුවන් ආත්මවිශ්වාසය සහ බුද්ධිය තියෙනවා නම්.” ඇය පවසන්නේ දැඩි විශ්වාසයකිනි.
දින අටක් පුරා ඇය ලංකාවේ විවිධ දේශගුණික කලාප පසු කරමින් ගමන් කළාය. දැඩි අව් රශ්මිය මෙන්ම හදිසියේ ඇදහැලුණු වර්ෂාව ද ඇගේ ගමනට බාධාවක් කර නොගත්තේය. කඳුකරයේ වංගු සහිත මාර්ග මෙන්ම හුදෙකලා වනගත පාරවල් මැදින් ඇය තම යතුරුපැදිය පදවාගෙන ගියේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමිනි. ඒ දින 8 තුළ මුණගැසුණු අමතක නොවන චරිත මිනිසුන්ගෙන් ලැබුණු සහයෝගය ගැන ඇය මතක අවදි කළේ මෙලෙසිනි,
"පාරේ යනකොට හමුවුණු නන්නාඳුනන මිනිස්සු මට දුන්න සහයෝගය අමතක කරන්න බෑ. ගොඩාක් මිනිස්සු මුණගැහුණා. මට ගොඩාක් දෙනා උදව් කළා. සමහරු පුදුමයෙන් බලද්දී, තවත් සමහරු මට බොන්න වතුර පොදක් දීලා මගේ ගමනට ආශීර්වාද කළා. මුලතිව් ඉඳලා කෝකිලායි කලපුව දක්වා යන්න තියෙන පාරේ නයාරුවලින් එහාට යන්න බැරි වුණා පාලම කැඩිලා තිබුණේ. මම නැවත හරවගෙන මුලතිව් දෙසට එනකොට අම්මා කෙනෙක් හෙල්මට් එකකුත් ඔළුවේ දාගෙන දමිළ අම්මා කෙනෙක් මගේ බයික් එකට අත දැම්මා. එයා දමිළ භාෂාවෙන් මොකද්ද කිව්වා මට තෙරෙන්නැ. මට තේරුණා ඒ අම්මාට ඕන යන්න කියලා. මම බයික් එකේ වාඩි කරන් මුලතිව්වලට එක්ක ආවා. මං හරිම ආස කළේ උතුරු පැත්තට ගිය දිනය ඒ මිනිස්සු හරිම සුහදශීලී. යාපනයට ගිහිල්ලා කයිට්ස් දූපතතේ ජැටිය ළඟට ගියාම කරේයි නගර්වලට යන පාලම්පාරුවක් නතර කරලා තිබුණා. ඒකට පෙරිය කියලා තමයි එයාලා කියන්නේ. මම ගිහින් ඇහුවා ඒගොල්ලන්ගෙන් මටත් යන්න පුළුවන් ද කියලා. ඒක දැක්කාම එගොඩට යන්න ආස හිතුණා. අනේ එයාලා හරි කැමැත්තෙන් එන්න එන්න කියලා. මගේ බයික් එකත් එක්කම මාව පාරුවට දාගෙන කරෙයි නගර්වලට එක්ක ගියා. ඒවා සුන්දර මිනිස්සු එක්ක මට ලැබුණ ලස්සන අත්දැකීම්.
පේදුරුතුඩුවෙන් තමයි මගේ ගමන අවසන් කළේ. අලිමංකඩ හරහා ඇවිල්ලා පරන්තන් වලින් මුලතිව්වලට හැරිලා ත්‍රිකුණමලය පැත්තට එන්න තිබුණා. සුලි කුණාටුවෙන් පාරවල් කැඩිලා තිබුණේ. ඉතින් මට මායිම් ගම්මන හරහා අතුරු පාරවල් හොයන් යන්න වුණා. සමහර පාරවල් මඩ තට්ටුවලින් පිරිලා. පාර කැඩිලා යන්න බැරි තැන්වලින් යන්න සමහර ගම්වල මට ගොඩාක් උදව් කළා.
මම තනි වෙලා හිටියාට මම ඒ ගමන ගිහින් ගෙදර එනකොට මාත් එක්ක ලෝකයක්ම හිටියා කියලා මට දැනුණා. ගොඩාක් අය මගේ මුහුණු පොතේ විස්තර දැකලා කතා කළා. විශේෂයෙන් ගැහැනු ළමයි ඒ වගේ ගමනක් යන්න විස්තර අහනවා. මට සුබ පැතුවා. “
දින අටකින් ගෙදරට ආවහම ඇතිවෙච්ච මානසික වෙනස කොයි වගේ ද?
මම ගිය ගමන ගැන ඇත්තටම සතුටු වුණේ ගෙදරට කිලෝමිටරයක් තරම් දුරකදි. එතකම් මට එනකම් බයක් තිබුණා. හැබැයි මම ඕනම දේකට සූදානමින් තමයි හිටියේ. මට නිතරම මතක් වුන කෙනා තමයි මගේ හුරතලා මාරි . මේ ගමන පුරාවටම මගේ හුරතලා මාරි මතක් වෙන හැම වෙලාවකටම හිතට ව ද දුන්නා.
ඊළඟ සංචාරය?
තව සති කිහිපයකින් තව සංචාරයක් යන්න සැලසුම් කරමින් ඉන්නවා.
ජීවිතේ බැඳිම් කියන දේ ඔබ දකින්නේ කොහොම ද?
ජීවත් වෙන්න ආදරේ ඕන. මම ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. මට මානසිකය බලපාපු හැම දේකින්ම මිදෙන්න මට ශක්තිය වුණේ සංචාරය කිරීම. තාත්තා තමයි මාව සංචාරය කරන්න යන්න කියලා මට ආශීර්වාද කළේ.
මගේ ජීවිතේ හැම කුණාටුවක්ම ආවේ බලාපොරොත්තු නොවුණ විදිහට. විවාහා දිවියේ ගැටළු අතරේ මට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මගේ තයිරොයිඩ් ග්‍රන්තියේ පිළිකාවක් තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. මම ඒ වෙලොවේ කලබල වුණේ නැහැ. සැත්කමක් කළා. සැත්කම කරාට පස්සේ මාස 8 ක් වගේ කටහඬ නැතුව ජීවත් වුණා. ඒ වෙනකොට මට අතාරින්න කියලා දේවල් තිබුණේ නැහැ. ඕනෑම දෙයක් භාරගන්න තැනට මගේ හිත හැදිලා තිබුණේ. කටහඬ නැති වුණා කියලා නිකං හිටියේ නැහැ මම මගේ සාමාන්‍ය වැඩ කරගත්තා. මම යාපනේ සංචාරය කළේ කටහඩ නැති කාලේ.
ඒ විදිහට මගේ ජිවිතේ කුණාටුවටම ගසාගෙනගිය කාලයක් තිබුණා. එක පිට එක ප්‍රශ්න එනකොට දෙවියෝ මාව පරීක්ෂා කරන්න එවපු දේවල් විදිහට තමයි ඒවා දැක්කේ. ජීවිතේ අද මම හරිම සතුටින් ගෙවනවා. සංචාරය කරනවා කියන්නේ ජිවිතේ ප්‍රශ්න කියන දේවල් ගොඩාක් අඩු කරගන්න පුළුවන් ඖෂධයක්. කාන්තාවන්ට ට්‍රැවල් කරන්න අපේ රටේ නිදහස තියෙනවා. ඒක මම අත්වින්දා.
නදීශා අතුකෝරළ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd