
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉකුත් 9 වැනි දින නිවේදනය කළේ විදුලි ඒකක 180 ට වැඩියෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ නැංවීමට අවසර ලබා දෙන බව ය. ඒ, විදුලි බල මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට සමාගම් හයක් පිහිටු වූ පසු නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම අප්‍රේල් 28 දාතමින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පිරිවැය ඇස්තමේන්තුව සලකා බැලීමෙන් පසු ය. ඒ අනුව, මෙම නව විදුලි ගාස්තු සංශෝධනය මෙම මස 11 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
මෙම විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 180 ට වැඩි පාර්ශ්වවල විදුලි ගාස්තු සියයට 18 කින් වැඩිවෙන අතර එය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලටත් මහා පරිමාණ කර්මාන්තවලටත් සෘජුව ම බලපානු ඇත. මීට මාස කිහිපයකට ඉහතදීත් විදුලි ගාස්තු ඉහළ නංවනු ලැබූ අතර ඇමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑම නිසාත් කර්මාන්තකරුවන්ගේ පිරිවැය කිහිප ගුණයකින් ඉහළ ගියේ ය. දැන් යළිත් වතාවක් විදුලි ගාස්තු වැඩිකිරීම නිසා කර්මාන්තවලට අහිතකර බලපෑම් තවත් ඉහළ යනු ඇත. මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් දැක්වූ අදහස් මෙසේ ය.

ඒකක 180 ට වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයට බලපැවැත්වෙන විදියට මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදුකරලා තියෙන්නෙ. ඒකක 180 ක් කියන්නෙ විශාල ප්‍රමාණයක් නෙවෙයි. නිවෙසක වායුසමීකරණයක් තියෙනවා නම් රෙදි සෝදන යන්ත්‍රය තුන් හතර පාරක් ක්‍රියාත්මක කරවනවා නම් මාසෙකට ඒකක 180ට වැඩි විදුලිය ප්‍රමාණයක් වැය වෙනවා. මේ ගාස්තු සංශෝධනයෙන් ඒකක 180 ට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට බලපෑමක් වෙන්නෙ නෑ කියලා රජය තර්ක කළාට ඒ අයටත් බලපෑමක් සිදු වෙනවා. මොකද ඒකක 180 ට වැඩි අයගේ විදුලි ගාස්තු වැඩි කළහම ආහාර පාන ප්‍රවාහන මේ ආදී ගාස්තු හැම එකක් ම වැඩිවෙනවා. මේ නිසා ඒකක 180 ට අඩු අයගෙ විදුලි බිල වැඩි නොවුණත් අනිත් වියදම් වැඩිවීම මගින් අහිතකර බලපෑම් එල්ල වෙනවා.
මේ විදුලි ගාස්තු වැඩිවීමෙන් වැඩිවශයෙන් අහිතකර බලපෑම් එල්ල වෙන්නෙ මහ පරිමාණ කර්මාන්තශාලාවලට සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට. ඉහළ විදේශ විනිමයක් රටට සපයන ඇඟලුම් කර්මාන්තය පසුගිය කාලයේ අර්බුද ගණනාවකට මුහුණ දුන්නා. බලයේ සිටි ආණ්ඩු විටින් විට යෝජනා කළ බදු අපනයන වෙළෙඳපොළ කඩාවැටීම මේ ආදි හේතු නිසා පිරිවැය ඉහළ අගයක තියෙන්නෙ. ඩොලරයේ රුපියල් අගය වැඩිවීම නිසා ඒ කර්මාන්තශාලා යම් පමණකට හෝ ඔළුව උස්සගෙන ඉන්නවා. නැවත විදුලි ගාස්තු වැඩිකිරීමෙන් මේ ඇඟලුම් කර්මාන්තශාලා යළිත් අර්බුදයකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් විය හැකි දේ තමයි බොහෝ ඇඟලුම් කර්මාන්තශාලා ලංකාව හැර යෑම. රටට වැඩියෙන් ම ඩොලර් ආදායම එන්නෙත් විශාල පිරිසකට රැකියා ලැබී තියෙන්නෙත් ඇඟලුම් අංශයෙන්. ඒ වගේම තමයි ප්‍රාදේශීය සංවරධනයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නෙත් පෞද්ගලික අංශය. මේ නිසා පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා වැටුණොත් විදුලි ගාස්තු සංශෝධනයෙන් රජය අපේක්ෂා කරන ආදායමට වඩා විශාල අලාභයක් රටට වෙන්න පුළුවන්.
ප්‍රශ්නයකට තියෙන්නෙ උත්තරයක්. නමුත් ගැටලුවකට තිබිය යුත්තෙ විසඳුමක්. මේ තියෙන්නෙ විදුලි බල ප්‍රශ්නයක් ද නැතිනම් අර්බුදයක් ද යන්න රජය තේරුම් ගත යුතුයි. තියෙන්නෙ අර්බුදයක් නිසා ඒකට විසඳුමක් ඕන. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වෙන කොට ලංකාවෙත් තෙල් මිල ඉහළ දැමීම විසඳුමක් නෙවෙයි. හොඳ සමස්ත බලපෑම පිළිබඳ අදහසක් ඇතුව සහ වෙන රටවල් මේ විදියෙ අර්බුදවලට උත්තර සෙව්වෙ කොහොමද කියන එක බලලා මනා විශ්ලේෂණයක් ඇතුව තමයි විසඳුමක් සෙවිය යුත්තෙ. මේ විදුලි ගාස්තු වැඩිකිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඒවායේ නිෂ්පාදන කටයුතු කරගෙන යා නොහැකි වීමෙන් වැසී යන්නත් ඉඩ තියෙනවා. ඔවුන් මේ වැඩි වුණු විදුලි ගාස්තු පිරිවැයට එකතු කරනවා. එසේ කළවිට ඒක වක්‍ර බද්දක් හැටියට ජනතාව දරන්න ඕන. ජනතාව ඒ බර දැරීම යන්නෙන් අදහස් වෙන්නෙ රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් නැවත වරක් ඉහළ යෑම. එහෙම වුණොත් නැවතත් සියයට 10 අගයට උද්ධමනය යන්න පුළුවන්. එහෙම වුණොත් පොලී අනුපාත ඉහළ යෑම රුපියල තවදුරටත් ක්ෂය වීම වගේ අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. 2022 ආර්ථික අර්බුදයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයෙ විශාල ප්‍රමාණයක් කඩාවැටුණා. එම අංශය දැන් තියෙන්නෙත් අවදානම් තත්ත්වයක. එවැනි වටාපිටාවක විදුලි ගාස්තු වැඩි කිරීමෙන් මේ අංශය තවත් අගාධයට ඇදගෙන වැටෙනවා. මේ ගැන රජයේ අවධානය යොමු විය යුතුයි.

පසුගිය මාසෙ කළ විදුලි ගාස්තු සංශෝධනයත් එක්ක ගත්තහම සියයට 25 ක විතර විදුලි ගාස්තු වැඩිවීමක් තියෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවල විදුලි බිල ඉතාමත් ඉහළ අගයක තියෙන්නෙ. රුපියල් මිලියන ගණන්වල විදුලි බිල් තමයි ඇඟලම් කර්මාන්තශාලාවලට එන්නෙ. යම් කර්මාන්තශාලාවකට රුපියල් මිලියනයක විදුලි බිලක් ලැබෙනවා කියලා හිතුවොත් ළඟ ළඟ කළ විදුලි ගාස්තු සංශෝධන නිසා ඒ මිලියනයක බිලට තව සියයට 25 ක් එකතු වෙනවා. ඒ කියන්නෙ රුපියල් ලක්ෂ දෙකහමාරකින් විතර වැඩි වෙනවා. බොහෝ කර්මාන්තශාලාවල මාසික විදුලි බිල රුපියල් මිලියන 6,7 ක් වෙනවා. සමහර ඒවයෙ ඊටත් වැඩියි. තවත් විදුලි ගාස්තු වැඩි කළහම මේ කර්මාන්තශාලා පවත්වා ගෙන යන්නෙ කොහොමද කියලා අපි අහන්න කැමැතියි. ඩිසල් මිල වැඩිවිමෙනුත් අපිට අහිතකර බලපෑම් එල්ල වෙනවා. කර්මාන්තශාලාවල බොයිලර් යන්ත්‍ර ලිහිසි තෙල්වලින් ක්‍රියාත්මක කරවන්න කියලා අපිට උපදෙස් ලැබිලා තියෙනවා. නමුත් ලිහිසි තෙල් ලීටරයක මිල සාමාන්‍ය වෙළෙඳපොළේ ඩීසල් ලීටරයක මිලට වඩා රුපියල් 200 විතර වැඩියි. ඒවත් අරගෙන විදුලි කප්පාදු සිදු වෙන නිසා විදුලි ජනක යන්ත්‍රත් අපි භාවිත කරනවා. මේ ඔක්කොමත් එක්ක මාස දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල සියයට 25 න් වැඩිවුණහම කර්මාන්තශාලා පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේ අවුරුද්දෙදි ඇඟලුම් අපනයනයෙන් රුපියල් බිලියන 5 ක ආදායමක් ගෙන්න බැරි වෙයි. මොකද නිෂ්පාදනවල පිරිවැය වැඩි වුණහම අපේ නිෂ්පාදනවල තරගකාරීත්වය අඩු වෙනවා. ඇණවුම් එන්නෙත් නෑ.
ඇඟලුම් කර්මාන්තයේ ලක්ෂ තුනහමාරක පමණ පිරිසක් සෙවය කරනවා. මේ විදියට පිරිවැය වැඩිවෙද්දි ඒ අයට වැටුප් වැඩිවීම් ප්‍රසාද දීමනා දෙන්නෙ කොහොම ද? මොකද ඇඟලුම් කර්මාන්තවල ආදායම් සියල්ල විදුලි බල මණ්ඩලයටයි ආණ්ඩුවටයි ගෙවන්න වෙන නිසා. මේ නිසා ඇඟලුම් ආයතන පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඉදිරියේ දී විශාල ගැටලුකාරී තත්ත්වයක මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඉහළ යන පිරිවැය ගැන රජයට හැඟීමක් තිබිය යුතුයි. ඒත් අපිට පේන්නෙ රජය ඒ ගැන කිසි වගක් නැති බවයි.

මේ විදුලි ගාස්තු වැඩිකිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අහිතකර බලපෑම් එල්ල වෙනවා. දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමයි මේකෙන් පහර වදින්නෙ. මොකද ඔවුන් තමයි ඒකක 180 වැඩියෙන් විදුලිය පාවිච්චි කරන්නෙ. විදුලි බිල වැඩිවීමත් එක්ක අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ඒකෙන් වෙන්නෙ අපේ නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන්න සිදුවීම. මොකද සියයට 18 න් විදුලිය වැඩිවීම අපිට දරාගන්න බෑ. නිෂ්පාදනවල මිල වැඩි නොකළොත් අපේ ව්‍යාපාර වහන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැඩි කළ සියයට 18 ක විදුලිය ගාස්තු අපේ නිෂ්පාදනවල මිල ගණන්වලට එකතු වෙන නිසා තව නොබෝ දිනකින් අපේ සියලුම නිෂ්පාදනවල මිල ගණන් සියයට 10 න් පමණ වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ විදියට අපි නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ගණන් වැඩි කළහම විදුලිය ඒකක 180 ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන ජනතාවටත් ඒ වැඩිවෙන වියදම දරාගන්න සිදුවෙනවා. ඒ නිසා විදුලිය ඒකක 180 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අයට මේ විදුලි ගාස්තු වැඩිවීම අදාළ වෙන්නෙ නෑ කියලා කිව්වට භාණ්ඩ මිල ඉහළ යෑමෙන් ඒ අයටත් අහිතකර බලපෑම් එල්ල වෙනවා. අවස්ථා දෙක තුනකදි විදුලිය ගාස්තු වැඩි කළ නිසා අපි රජයෙන් ඉල්ලන්නෙ මේ විදුලි ගාස්තු සංශෝධනය අත්හිටුවන්න කියලා.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා අතර බෝතල් නිෂ්පාදන, ඩිටර්ජන් නිෂ්පාදන, තේ සහ රබර් නිෂ්පාදන, අත්මේස් නිෂ්පාදන මේ ආදී විවිධ ඒවා තියෙනවා. මේ සෑම එකකම ඒකක 180 ට වැඩියෙන් විදුලිය පාවිච්චි වෙනවා. මේ කර්මාන්තශාලා බොහොමයක යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා. විදුලි ගාස්තු සියයට 18 න් වැඩිකරපු නිසා ඇතැම් කර්මාන්තශාලා හිමියන් විදුලියෙන් ක්‍රියාත්මක යන්ත්‍ර සූත්‍ර වැඩිවශයෙන් භාවිත කරන්නෙ නෑ. ඒ වෙනුවට මිනිස් ශ්‍රමයෙන් ඒ කටයුතු කරන ප්‍රවණතාවකුත් තියෙනවා. ඒ සඳහා වැඩියෙන් සේවකයන් යොදවන්න වෙනවා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය කොරෝනා වසංගතය ආර්ථික අර්බුදය සහ දිට්වා සුළිකුණාටුව යන මේ අවස්ථා හතරෙදිම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩී පීඩාවට පත් වුණා. සමහර ව්‍යාපාර කඩාවැටුණා. බැංකුවලින් ගත් ණය ගෙවා ගත නොහැකිව බොහෝ ව්‍යාපාරිකයො අසාදු ලේඛනගත වුණා. ඒ අය අද වෙන කොට අසරණ වෙලා ඉන්නවා. ඒ අයට නැවත ණය ලබා ගන්න හැකියාවක් නෑ. ඒ අයට සහන සලසන්න රජයට කිසිදු වැඩපිළිවෙළකුත් නෑ. අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ බැංකුවලින් අසාදු ලේඛනගත වෙන ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා වැඩසටහනක් හදන්න කියලා. මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය එකතු වෙලා පාර්ලිමේන්තුවෙන් වෙනම පනතක් සම්මත කරලා මේ අයට සහන සැලසීම සඳහා වෙන බැංකුවක් ස්ථාපිත කිරීම සුදුසුයි.

මේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ පසුබිම ගැන අවධානය යොමු කිරීම වැදගත්. අප්‍රේල් පළමු වැනිදා කළ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඉදිරිපත් කළේ පෙබරවාරි මුලදි. ඒ අවස්ථාවේ සියයට 15 කින් විදුලි ගාස්තු වැඩිකළත් ඒකට යුද්ධය නිසා ඉන්ධන මිල වැඩිවීමේ බලපෑම හෝ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් වූ පාඩුව එකතු වුණේ නෑ. නමුත් පසුව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හා ගල්අඟුරුවල පාඩුව පැමිණි අතර ඒවායෙන් වූ පාඩුව සියයට 15 විදුලි ගාස්තු වැඩිවීමෙන් ආවරණය කරගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ නිසා අප්‍රේල් මාසයේ 28 වැනිදා ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට ඒ වියදම් දෙකත් ඇතුළත් කරලා තිබුණා. ගල්අඟුරු සිද්ධියෙන් වුණු පාඩුවේ බලපෑමක් කොහොමත් මේ විදුලි ගාස්තු සංශෝධනයට තියෙනවා. ඉන්ධන සඳහාත් විශාල වියදමක් යනවා.
මේ පසුබිමේ මහජන උපයෝගීතා කොමිසමත් ඉතාම අසීරු තත්ත්වයට පත්වෙලා සිටිනවා. ඒ ආයතනයට ප්‍රධාන වගකීම් දෙකක් තියෙනවා. පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීම හා අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම. ප්‍රශ්නය එන්නෙ වැඩිවශයෙන් තෙල් පාවිච්චි කිරීම නිසා. කොමිෂන් සභාව විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර දුන්නෙ ඉතාමත් වැදගත් කොන්දේසියක් යටතෙ. ඒ කොන්දේසිය තමයි 2030 වෙද්දි ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කිරිම නතර කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවත් මීළඟ දිගුකාලීන ජනන සැලැස්මට එම සැලසුම් ඇතුළත් කළ යුතු බවත්. ඒ ජනන සැලැස්ම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඉදිරිපත් කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විධාන කළා. මීට කලිනුත් මේ කොමිෂන් සභාව මෙවැනි වැදගත් නියෝග නිකුත් කළා. ඒත් විදුලි බල මණ්ඩලය ඒවා ගණන් ගත්තෙ නෑ. දැන් විදුලි බල මණ්ඩලය වෙනුවට තියෙන්නෙ සමාගම් හයක්. දැන් ප්‍රශ්නය තියෙන්නෙ කොමිසමේ නියෝගවලට විරුද්ධව කටයුතු කරන්න මේ සමාගම් හයට පුළුවන් ද කියන එක. මෙතැනදි රජයෙ වගකීම වෙන්නෙ ඒ නියෝගවලට අනුව ඒ සමාගම් කටයුතු කරනවා ද යන්න වගබලා ගැනීම. මේ නියෝග අනුව කටයුතු කරනවා නම් ඉන්ධන මිල වැඩිවීම හෝ වෙනත් හේතු ඉදිරිපත් කරමින් විදුලි බිල වැඩිකිරීම සඳහා කොමිසමෙන් අවසර ඉල්ලන තත්ත්වයන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න බෑ.
උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd