වට්ස්ඇප් සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කරමින් ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගනිමින් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙන ජාවාරමක් - මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින බව, ඉකුත් දිනෙක පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ඉරිදා ලංකාදීප”ය සමග එක්වෙමින් ඒ පිළිබඳව එම සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොල දැක්වූ අදහස් සමුදායක සම්පිණ්ඩනයකි මේ.

කෙටි පණිවිඩ සේවා හරහා මූලික වශයෙන් පරිශීලකයන් ඉලක්ක කර ගනිමින් මැසෙන්ජර්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා සාමාන්‍යයෙන් මෙවැනි ජාවාරම් රැසක් ක්‍රියාත්මක වෙයි. මේ අලුත්ම ජාවරාම සිදුවන්නේ වට්ස්ඇප් සමාජ මාධ්‍ය කෙටි පණිවිඩ සේවාව හරහා පණිවිඩ යොමු කරමින් හෝ ඇමතුම් යොමු කරමින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙනයි. බොහෝ වෙලාවට මෙම ජාවාරම තුළදී සිදුවන්නේ තරුණියකගේ ඡායාරූප පරිශීලකයන් වෙත යොමු කරමින් පරිශීලකයන් සමග සංවාදයක් ගොඩනගාගැනීමට උත්සාහ කිරීමයි. පරිශීලකයන් බොහොමයක් මේ ව්‍යාජ ගිණුම් හඳුනාගැනීමෙන් තොරව දිගින් දිගටම සංවාද පවත්වා ඒවා යම් තැනක් තෙක් සංවර්ධනය වීමෙන් පසු පරිශීලකයන්ගේ ඡායාරූප ඉල්ලන අතර, බොහෝවිට එසේ ඉල්ලන්නේ ඔවුන් ගේ නිරුවත් ඡායාරූප වේ. එම ඉල්ලීම් හමුවේ සංවාදය පවත්වා ගෙන යන පරිශීලකයන් ද තම නිරුවත් ඡායාරූප ඔවුන් වෙත යොමු කරන්නට පෙලඹේ.

අප රටේ සැලකිය යුතු පිරිසක් මෙම ජාවාරමට හසුවී දැනටමත් තම නිරුවත් ඡායාරූප එම පාර්ශ්ව වෙත යොමුකර ඇතැයි, චරුක දමුණුපොල ප්‍රකාශ කළේ ය.

සාමාන්‍යයෙන් ෆේස්බුක් මැසෙන්ජර් තුළ දී නම් එම අදාළ පුද්ගලයාගේ ඡායාරූප අදාළ තැනැත්තාගේ මිතුරු ලැයිස්තුවේ සිටින මිතුරන් හට අදාළ චැට් එකේ ස්ක්‍රීන් ෂොට් ඡායාරූපයක් ගෙන යැවීම කරන බව ඒ මහතා කියා සිටි අතර, ඒ හරහා එම ජාවාරම්කරුවන්ගේ අරමුණ වනුයේ අදාළ ඡායාරූප එවූ පුද්ගලයාගේ පවුලේ අය හෝ හිතවතුන් එම සිදුවීමට ඈඳා ගැනීම හෝ ඔවුන් වෙත එම ඡායාරූප නිකුත් කරන බව කියමින් කප්පම් මුදලක් ඉල්ලා සිටීම බවද තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

මෙම ජාවාරම ඉන්දියාවේ සිට මෙහෙයවන බැව් නිසැකයෙන්ම පවසන්නේ කෙසේද? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ කීවේය.

“මෙවැනි අවස්ථා සම්බන්ධයෙන් පරිශීලකයන් රැවටීමට භාවිත කෙරෙන බොහොමයක් වීඩියෝ දර්ශන, කතා කරන ස්වභාවය සහ භාවිත කරන ඡායාරූප ඉන්දියාවේ සිදු වූ වංචාවකට ද සම්බන්ධ බව දැනට සොයා ගෙන තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව තමයි මේ ජාවාරම මෙහෙයවන්නේ ඉන්දියාවේ සිට බව සඳහන් කළේ.”

කෙසේ වෙතත් මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වෙන විට ලැබී ඇත්තේ පැමිණිලි හතරක් පහක් වැනි සුළු සංඛ්‍යාවක් පමණකැයි කී ඉංජිනේරුවරයා යථෝක්ත නිවේදනය නිකුත් කළේ, මෙම ජාවාරමේ ඇති සංවේදී බව හේතුවෙන් පැමිණිලි නොකරන සිදුවීම් තිබිය හැකි නිසා සහ පූර්ව දැනුම්වත් භාවය ඵලදායී වන නිසා යැයි ද කීවේය.

පුද්ගලයන් උපක්‍රමශීලීව සම්බන්ධ කරගනිමින් මේ ආකාරයට සිදු කෙරෙන රොමෑන්ස් ස්කෑම් වර්ගයේ ජාවාරම් සඳහා පුද්ගලයින් ගොදුරු වීමට මූලික වශයෙන් වයස ද බලාපන බව සඳහන් කළ අතර, මෙවැනි  ජාවාරම්වලට හසුවන වැඩි පිරිසක් වයස අවු.30- 50 කාණ්ඩයට අයත් වන බව නිරීක්ෂණය වී ඇතැයි කීවේය. තවද, සමාජ මාධ්‍ය පරිහරණයේ දී පෞද්ගලිකත්වය  ආරක්ෂා කරගැනීමේ වැදගත්කම සම්බන්ධ නොසැලකිලිමත්කම, අනවබෝධය, සමාජ බුද්ධියේ හා ව්‍යවහාර ඥානයේ ඌනතා  වැනි සාධක මෙවැනි ජාවාරම්වල ගොදුරැ බවට පත්වීමෙහි ලා   හේතුවන බව කියා සිටියේය.

මෙවැනි ජාවාරම්වලට හසු නොවී සිටීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විමසූ විට ලැබුණු පිළිතුරයි මේ.

“මෙවැනි ජාවාරම් වලට හසු නොවී සිටීමට නම් තමන් පෞද්ගලිකව නොදන්නා අයෙකු වෙතින් ඇරයුමක්, පණිවුඩයක් ලැබුණු විට එහා විශ්වසනීයත්වය තහවුරු කර ගත යුතුයි. ඇතැම් විට තමන් පෞද්ගලිකව දන්න අයෙකුගේ ඡායාරූප යොදාගනිමින් පවා මෙවැනි පණිවිඩ හෝ ඇමතුම් ලැබිය හැකියි. එනිසා තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු පාර්ශ්වයකට තොරතුරු හා දත්ත ලබාදීමෙන් වැළකිය යුතුයි. විශේෂයෙන් තමන්ගේ සංවේදී ඡායාරූප කිසිඳු අයුරකින් අන්තර්ජාලය හරහා තවත් පාර්ශ්වයක් වෙත යොමු කිරීම කොහෙත්ම නොකළ යුතුයි."

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුකෙරෙන බොහොමයක් දුශ්ක්‍රියා සිදුවනුයේ වංචනික ලෙස රැවටීමට ලක් කොට මුදල් ලබා ගැනීමටය. නමුත් ඇතැම් විටෙක අනන්‍යතා සොරාගැනීමක් දක්වා එවන් අහඹූන් විහිදී යයි. එහිදී පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ තොරතුරු සොරා ගැනීමක් ද සිදුවෙයි. එලෙස අනන්‍යතාව සොරා ගැනීම හරහා ඊට එහා ගිය අපරාධ සඳහා ද එම අනන්‍යතාව යොදා ගැනීමේ අවධානමක් ද පවතී.

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදු කෙරෙන දුශ්ක්‍රියාවන් වැඩිවීමට බලපෑ කරුණු පිළිබඳව විමසූ විට ලැබුණු පිළිතුරයි මේ.

"දැනට අපි මේ ආකාරයේ අපරාධ වැඩිවීම පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදුකර නැහැ. ඒ නිසා නිශ්චිතව දත්ත සහිතව පිළිතුරක් දිය නොහැකියි. නමුත් දිනෙන් දින වැඩිවෙන තාක්ෂණය හා සම්බන්ධ උපාංග බොහොමයක් දෙනා පරිහරණයට යොමුවන තත්ත්වය යටතේ අවධානම් සම්බන්ධ අනවබෝධය හා නොසැලකිල්ල නිසා වංචනිකයින්ගේ රැවටිලිකාරයින්ගේ ගොදුරැ වෙන්න පුළුවන් බව අවධාරණය කළ හැකියි. අද වෙනකොට අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වෙන්න තියෙන හැකියාවත් මේ වංචා වැඩිවෙන්න හේතුවක්."

ශ්‍රී ලංකාව තුළ මෙවැනි වංචාවකට හසුවීම පිළිබඳව මූලික වශයෙන් ළඟම ඇති පොලිසියටත්, ළමයෙක් සම්බන්ධ කාරණයක් නම් ළමා හා කාන්තා කාර්යාංශයටත්, පැමිණිලි කිරීම සිදු කළ හැකිය.
ඉමේෂි මන්දිරා ජයරත්න