ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා  ඔහුගේ පෞද්ගලික දුරකථනය අගුළුහැර තොරතුරු ලබාගැනීමට විමර්ශන නිලධාරීන් එම දේහයේ මුහුණ භාවිත කිරීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වූ බවට පසුගියදා අධිකරණයට වාර්තා කෙරුණි. 

මෙය සමාජය තුළ මහත් කුතුහලයක් මෙන්ම ඇතැම් විට උපහාසාත්මක හාස්‍යජනක කතාබහක් ඇති කිරීමට ද සමත් විය. කෙසේ වෙතත් මෙහි සැබෑ තාක්ෂණික පසුබිම කුමක් ද? මියගිය අයෙකුගේ මුහුණට හෝ ඇඟිලි සලකුණට නවීන ස්මාර්ට් දුරකථන ප්‍රතිචාර දක්වනවා ද? 

මේ පිළිබඳව“ඉරිදා ලංකාදීප” අප වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාරගෙන් විමසීමක් කළෙමු. 

“මුලින්ම කියන්න ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් මැරුණ කෙනෙකුගේ දුරකථනයක් අධිකරණ නියෝගයකින් තොරව සිතූ සිතූ පරිදි අන්ලොක් කළ හැකි ද? කියලා. මියගිය අයකුගේ දුරකථනයක් සම්බන්ධයෙන් පවුලේ අයට තියෙන්නේ ද්වීතීයික අයිතියක්. කෙනෙකුගේ මරණයක් සැක සහිතයි නම්, මියගිය කෙනෙකුට අයිතිකරුවෙක් නැති නිසා පරීක්ෂණවලට අදාළ නම් මරණකරුගේ දුරකථනයක්  පිරික්සීමේ  අයිතිය පොලිසියට තිබෙන බව අපරාධ නඩු විධාන සංග්‍රයේම තිබෙනවා.”  

“පසුගියදා ආන්දෝලනයට තුඩු දුන් ගුවන් සේවාවේ ප්‍රධානියා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දුරකථනය අන්ලොක් කර ගැනීමට නොහැකිවීම ගැන කතාබහට ලක් වන කාරණයක්. අද වන විට අප භාවිත කරන දුරකථනවල රහස්‍යභාවය රැකගැනීම සඳහා මුහුණ හඳුනාගැනීම (Face ID/Recognition) සහ ඇඟිලි සලකුණු (Fingerprint) වැනි ජෛවමිතික ක්‍රමවේද භාවිතා කරනු ලබනවා. මෙම පද්ධති නිර්මාණය කර ඇත්තේ හුදෙක් රූපයක් හෝ රටාවක් හඳුනා ගැනීමට පමණක් නෙමෙයි, එම පුද්ගලයාගේ 'සජීවී බව' තහවුරු කරගැනීමට ද අවශ්‍ය වෙනවා.”

  • ඇත්තටම මැරණ කෙනෙකුගේ මුහුණට Face ID එක  විවෘත කළ හැකි ද?

“I phone වැනි උසස් දුරකථනවල ඇති Face ID තාක්ෂණය මියගිය අයකුගේ මුහුණට ප්‍රතිචාර නොදැක්වීමට ප්‍රධාන හේතු තුනක් පවතිනවා.

Apple සමාගමේ Face ID පද්ධතිය ක්‍රියා කිරීමට නම් පරිශීලකයා දෑස් විවෘත කර දුරකථනය දෙස කෙළින් බලා සිටිය යුතුයි. මියගිය පුද්ගලයකුගේ දෑස් පියවී තිබුණහොත් හෝ ඒවායේ ස්වාභාවික චලන නොමැතිවීම නිසා පද්ධතිය එය හඳුනා ගැනීමට නොහැකි වෙනවා. අනිත් කාරණය තමයි Face ID කියන්නේ සාමාන්‍ය ඡායාරූපයක් නොවන, අධෝරක්ත කිරණ තිත් 30,000කට වඩා මුහුණ මත විහිදුවා සාදාගන්නා ත්‍රිමාණ ආකෘතියක්. කෙනකු මිය ගිය සැණින් මුහුණේ මාංශි පේෂිවල තදගතිය නැති වෙලා යනවා. මුහුණේ ස්වාභාවික හැඩය පවා සියුම් ලෙස වෙනස් වෙනවා.  එවිට පද්ධතිය එම මුහුණ මීට පෙර ගබඩා කළ දත්ත සමග නොගැලපෙන බව තීරණය කරයි. Face ID පද්ධතියට මෙවැනි සියුම් වෙනස පවා හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.” 

“මීලඟ කාරණය තමයි සජීවී සමක් අධෝරක්ත කිරණ පරාවර්තනය කරන ආකාරය සහ මළසිරුරක සම එම කිරණ පරාවර්තනය කරන ආකාරය අතර භෞතික විද්‍යාත්මක පවතින වෙනස.” 

මියගිය කෙනකුගේ ඇඟිලි සලකුණු  භාවිත කළ හැකි ද?

“මුහුණට වඩා ඇඟිලි සලකුණු භාවිතයෙන් දුරකථනයක් අන්ලොක් කිරීමේදී තත්ත්වය වෙනස්.මෙහිදී තීරණාත්මක සාධකය වන්නේ දුරකථනයේ ඇති සංවේදක වර්ගයයි.”

විද්‍යුත් ධාරිතා සංවේදක 

බොහෝ දුරකථනවල පැත්තේ හෝ පිටුපස ඇති මෙම සංවේදක ක්‍රියා කරන්නේ අපේ ශරීරයේ ඇති ඉතා සුළු විද්‍යුත් ආරෝපණය(Electricity) මගින්. පුද්ගලයකු මියගිය පසු ශරීරයේ විද්‍යුත් සන්නායකතාව ක්ෂණිකව නැති වී යනවා. එවිට එම සංවේදකයට ඇඟිලි සලකුණ කියවීමට අවශ්‍ය විද්‍යුත් උත්තේජනය ලැබෙන්නේ නැහැ.

දෘශ්‍ය සංවේදක 

තිරය මත ඇඟිල්ල තැබූ විට ආලෝකයක් විහිදුවන (In-display) දුරකථනවල ඇත්තේ කැමරාවක් බඳු පද්ධතියක්. මරණයෙන් පසු ඉතා කෙටි කාලයක් ඇතුළත (සම රැලි වැටීමට පෙර) මෙම සංවේදක හරහා දුරකථනය අන්ලොක් වීමට යම් සම්භාවිතාවක් පවතිනවා. නමුත් මළසිරුර නරක් වීමට පටන් ගත් පසු මෙය කළ නොහැකි වෙනවා.

අතිධ්වනි සංවේදක

නවීනතම Samsung S Series වැනි දුරකථනවල ඇති මෙම පද්ධතිය මගින් ඇඟිල්ලේ ත්‍රිමාණ රටාවක් ලබාගැනීම සිදුවෙනවා. මෙය වඩාත් ආරක්ෂිතයි. නමුත් මියගිය අයකුගේ ඇඟිල්ලක් මගින් මෙය ක්‍රියා කරවීම අතිශය දුෂ්කර වෙනවා.

  • විමර්ශන නිලධාරීන් අසාර්ථක වන්නේ ඇයි?

“ගුවන් සමාගමේ හිටපු  විධායක ප්‍රධානියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරිමේ දී පසුගියදා ඔහුගේ දුරකථනය අගුළු හැර තොරතුරු ලබාගැනීමට  විමර්ශන නිලධාරීන් එම දේහයේ මුහුණ භාවිතා කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට වාර්තා වුණා. ඇත්තටම පොලිසිය මළ සිරුරක මුහුණට දුරකථනය ළං කරන්නේ එම තාක්ෂණික සීමා පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිවීම නිසා විය හැකියි. මියගිය පුද්ගලයකුගේ දුරකථනයක් අන්ලොක් කිරීමට ඇති සාර්ථකම ක්‍රමය වන්නේ ඔහුගේ මුහුණ හෝ ඇඟිල්ල භාවිතා කිරීම නොව, දියුණු මෘදුකාංග තාක්ෂණය (Forensic Software) හරහා පද්ධතියට ඇතුළු වීමයි. එබැවින් මළසිරුරක මුහුණට දුරකථනය ළං කිරීම මගින් එහි අගුළු  විරහිත කිරීම යනු නූතන තාක්ෂණික ලෝකයේ සාර්ථක ප්‍රතිඵල ලබා නොදෙන, හාස්‍යයට කරුණක් වන ක්‍රියාවක්. නමුත් එයින් ගම්‍ය වන්නේ අප භාවිත කරන තාක්ෂණයේ ඇති සුරක්ෂිතභාවයයි. නවීන ජංගම දුරකථන  ආරක්ෂණ පද්ධති නිර්මාණය කර ඇත්තේ 'සජීවී' මිනිසා වෙනුවෙන්ම පමණි. මෙවන් අවස්ථාවල දී විමර්ශන නිලධාරීන් මීට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේද (Digital Forensics) කෙරෙහි යොමුවීම වඩාත් ඵලදායී වෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බැලීමේදී මරණයෙන් පසු සිරුරේ සිදුවන ජෛව රසායනික වෙනස්කම් තාක්ෂණික මෙවලම් සමග ගනුදෙනු කිරීමේදී තීරණාත්මක වෙනවා. ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා පටක මෘදු කරන රසායනික ද්‍රව්‍ය භාවිත කළ හැකි වුවද, ඒවා දුරකථන සංවේදක මත ක්‍රියා කරවීම ප්‍රායෝගික වන්නේ නැහැ.”

“මීට අමතරව තවත් වැදගත් කරුණක් වන්නේ Security Lockout කාලය. බොහෝ ස්මාර්ට් දුරකථන පැය 48ක් වැනි කාලයක් අගුළු හැර නොමැති නම්, ස්වයංක්‍රීයවම අක්‍රිය කර මුරපද ඉල්ලා සිටිනවා.

එසේම, කීපවතාවක් වැරදි ලෙස මුහුණ හෝ ඇඟිල්ල හඳුනාගැනීමට උත්සාහ කළහොත් පද්ධතිය සම්පූර්ණයෙන්ම අගුළු වැටෙන්න පුළුවන්.

විශේෂයෙන් ඕනෑම අයෙක් තමන්ගේ දුරකථනයේ ආරක්ෂාව සඳහා සැමවිටම අමතර ආරක්ෂක පියවරක් ලෙස ශක්තිමත් මුරපදයක් භාවිත කළ යුතුමයි. මොකද ඔබේ ජීව විද්‍යාත්මක දත්ත තාක්ෂණය හමුවේ ඇතැම් විට මරණකරු මෙන්ම නිවැසියන් අසරණ කළ හැකි බැවිනි.”

නදීශා අතුකෝරළ