
මානවයා සහ ආගම අතර පවතින සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට අරුමයක් නොවේ. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජීවිතය ආගමක් සමග අනුකලනය වී අනිවාර්යයෙන්ම දක්නට ලැබේ. ආගම විසින් ජනයා වෙත ලබා දී ඇති සදාචාරාත්මක ව්‍යුහ, ඒ ආගම විසින්ම කඩකරන අවස්ථා නැතුවාම නොවේ. වර්තමානයේ එලෙස සිදුකරන කඩකිරීම් කිහිපයක්ම යළි මතුවී ඇත. මේ ඒ පිළිබඳව ආචාර්ය චන්දන රත්නායක සමග සිදුකළ සාකච්ඡාවකි.
ආචාර්ය චන්දන රත්නායක දැනට එක්සත් රාජධානියේ සේවය කරන මනෝචිකිත්සකවරයකු මෙන්ම පර්‌යේෂකයෙකි. එසේම බ්‍රිතාන්‍ය මනෝචිකිත්සක සහ උපදේශන සංගමයේ ලියාපදිංචි උපදේශක වරයෙකි. ඔහු වසර 20ක් ශ්‍රී ලංකා බුද්ධ ශාසනයේ භික්ෂූත්වය දරා, ඉන් වසර 10ක් උපසම්පදා භික්ෂූත්වය දැරූවෙකි. ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය තුළ සිදුවන ආයතනික අපයෝජන පිළිබඳ පළමුව කතාබහක් ඇති කරේ මොහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය වන “Breaking the Silence About Institutionalized Child Abuse in the Buddhist Monastery in Sri Lanka” කෘතිය හරහාය. එලෙසම ඔහු දරුවන් ශාසනගත කිරීම සහ බෞද්ධ ආරාමවල ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූවෙකි.
“බල වෙනසක් තිබෙන ඕනෑම ආයතනයක යම් ආකාරයක අපයෝජනයක් සිදුවෙනවා. හමුදාවක වේවා, ක්‍රීඩා කරන කණ්ඩායමක වේවා, පන්සලක, පල්ලියේ, කෝවිලේ, බල වෙනසක් තියනවා නම් යම් කිසි අයුරකින් එය සිදු වෙනවා.” වර්තමාන බුදුසසුන පිළිබඳ සඳහන් කරමින් ආචාර්යවයා සාකච්ඡාව ඇරඹුවේය. “නමුත් මේක ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරාමවල පවතින විශේෂිත ගැටලුවක්. මොකද ඒ ස්ථාන දරුවන් සමග සම්බන්ධ වෙනවා. ඉරිදා දහම්පාසලේ ළමුන් විදිහට හෝ පිරිවෙණක වැඩ ඉන්න සාමණේර වහන්සේලා විදිහට හෝ බල වෙනසක් නිර්මාණය වෙනවා. නමුත් කලකිරෙනම කරුණ වෙන්නේ මේ වගේ අපයෝජනයන් බෞද්ධ ආරාම තුළින් මතු වෙනකොට, ලංකාවේ මිනිස්සු තවමත් එය පිළිගන්නේ නැහැ. මොකද බෞද්ධ සිද්ධස්ථානයක් කියන්නේ ලංකාවේ ගෞරවයට පාත්‍ර වෙන තැනක්. ඒක වෙන්නේ අපේ සංස්කෘතික අපේක්ෂාවන් හරහා.”
බෞද්ධ ආරාම තුළ පවතින පරස්පරතාව පිළිබඳ ඔහු මෙලෙස අදහස් දැක්වූයේය.
“අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි බෞද්ධ ආරාමයක් කියන්නේ තවත් විශාල සමාජයක ප්‍රතිබිම්භයක්. මොකද මොවුන් ශාසනගත වුණේ සාමාන්‍ය පවුල්වලින්. ඉතින් මේ වගේ අපයෝජන වලින් නිරූපණය වෙන්නේ සාමාන්‍ය සමාජය තුළ පවතින ලිංගික ආතතිය. නමුත් මේ ගැටලුවේ තියන අවලස්සනම කරුණ වෙන්නේ මේ සිද්ධීන් ඔවුන් ආරක්ෂා කළ යුතු සංස්කෘතික පරමාදර්ශවලට සම්පූර්ණයෙන්ම විරුද්ධව ගමන් කරන එක. ඒ වෙනස තමයි සමාජයට මේ තත්ත්වය පිළිගැනීමට අපහසු වෙලා තියෙන්නේ. බුදු සසුනට ගරු කරන එක අපේ ජානවලම තියන දෙයක්. ඒ නිසාම තමයි මේ සිද්ධීන් සමාජයට මේ තරම් අසභ්‍ය වෙලා තියෙන්නේ. මේ පිළිබඳව කතා කිරීමට පවා අපහසු වෙලා තියෙන්නේත් මේ කාරණාව නිසා.”
නමුත් ඔහු මතුකළ කරුණක් වන්නේ විශේෂ රාජ්‍යන්වල මේ අකාරයේ ආගමික අපයෝජන පිලිබඳ සමාජය ක්‍රියාකරන අයුරු හාත්පසින්ම වෙනස් බවයි.
නමුත් අපි ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් සැලකුවොත් ඔවුන්ගේ ආගමික ආයතනවල මේ සිද්ධීන් සඳහා විශාල විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ඍජුවම මේ වගේ දේවල් ගැන කතා කරනවා. මොකද ඔවුන්ගේ සමාජය ලිබරල්, විවෘත මානසික සහ තේරුම් ගැනීම තියන සමාජයන්. අපේ සමාජය ඊට වඩා ගතානුගතිකයි. ඒ නිසා මේ වගේ සිද්ධීන් පිළිබඳව සෘජුව කතා කෙරෙන්නේ නැහැ. මේකට සිද්ධියට කියන්න පුළුවන් ගැළපෙනම දේ තමයි මේක පද්ධතියම ගැටලුවක් කියලා.”
ඔහු වර්තමානයේ භික්ෂු පරපුර පිළිබඳ පැහැදිලි කරුණක් පැවසුවේය.
“බොහෝ අයට කියන්න පුලුවන් මේ දුශ්චරිතවත් චීවරධාරීන් පිරිසකගේ වැඩක් කියල. නමුත් පැහැදිලිවම කියන්න ඕනේ බහුතරය ශිෂ්ටසම්පන්න භික්ෂූන්වහන්සේලා. මොකද මමත් භික්ෂූත්වයේ සිටිනකොට එහෙම කෙනෙක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ භික්ෂුව තුළ නෙමෙයි පද්ධතිය තුළ. එදිනෙදා හමුවණ උපසම්පදා හාමුදුරු නමකගෙන් අහන්න අවසාන වතාවට විනය කර්මයකට සහභාගී වුණේ කොයි කාලෙ ද? කියලා. ගොඩක් වෙලාවට ඒ ගොල්ලො ඒ වගේ සීමාමාලක විනය කර්මයකට ගිහින් නැහැ. මම උපසම්පදා වෙලා හිටපු අවුරුදු දහය ඇතුලත මම විනය කර්මයකට ගිහින් තියෙන්නේ දෙසැරයක් පමණයි. වර්තමානයේ මේ වගේ දේවල් වල යාන්ත්‍රණයක් නැහැ.”
“මේ පද්ධතිය ඇතුළතින් පුපුරා යමින් තියන පද්ධතියක්. මේ අපිට පේන්නේ මේ පද්ධතියේ ඇතුළත හිස්වෙන ආකාරය.” වර්තමාන බුදුසසුන පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ආචාර්ය වරයා පැවසීය.
“මොකද මෙය පළවෙනි අවස්ථාව නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳන්ම මේ වගේ සිද්ධි සිදුවුණා. නමුත් ඒ කාළේ මේ සඳහා යාන්ත්‍රණ තිබුණා. මොකද ඒ සිද්ධීන් යාන්ත්‍රණයට බාහිරව සිදුවන ඒවා. නමුත් මගේ අත්දැකීම් සහ මගේ පර්යේෂණ අත්දැකීම් සලකන විට පැහැදිලි වෙන්නේ වර්තමානයේ සිදුවන සිද්ධි බාහිර සිදුවීම් නෙවෙයි. මෙය තමයි වර්තමානයේ බුද්ධ ශාසනයේ සාමාන්‍ය තත්ත්වය. මේක තමයි කවුරුත් පිළිගන්න අකැමැති ඇත්ත.”
එසේම වර්තමානයේ බුද්ධශාසනයේ පවතින ගැටලුවල පැහැදිලි සාක්ෂි පිළිබඳවත් ඔහු පැවසුවේය.
“වර්තමානයේ ඕනෑම දවසක අපි බුද්ධ සාසන අමාත්‍යාශයට ගිහින් බැලුවොත් අපිට දකින්න පුලුවන් හිස් මුඩු ගාගෙන සංඝභාවය හැරයාමේ සහතිකය ගන්න ආපු පුරුෂයන්. මොකද දැනට සිවුරු හැරයන්න ඕනේ නම් අදාළ ප්‍රධාන ස්වාමීන්වහන්සේ ගෙන් ලියුමක් ලබාගෙන හැරයාමේ සහතිකය ලබාගත යුතුයි. ඒකෙන් පැහැදිලි වෙනවා පද්ධතිය තුළ බුදුසසුන ඇතුළතින්ම ඛාදනය කරන යම්කිසි ගැටලුවක් තිබෙන බව. බහුතරයට ඒ දේ දකින්න; පිළිගන්න කැමති නැහැ. විශේෂයෙන්ම බලධාරීන් මෙය දකින්න සහ පිළිගන්න කැමති නැහැ. මගේ පර්‌යේෂණවලට සිදු කරපු සම්මුඛ සාකච්ඡා වලට සහභාගී වුණ භික්ෂූන්වහන්සේලා පැවසුවේ අදාළ නිකායයන් වල නායක හිමිවරුන් මේ ගැටලුව ගැන ඍජුව කතා කරන්න කැමති නැහැ. නමුත් ඔවුන් කුඩා දරුවන්ව මේ පද්ධතිය තුළටම යොමු කරනවා. නමුත් පද්ධතිය තුළින් පිටතට එන්නේ බිඳුණු නිෂ්පාදනයන්. අාධ්‍යාත්මීය සංස්කෘතියෙන් බැහැර වුණ හෝ ශාරීරිකව හෝ ලිංගිකව අපයෝජනයට ලක්වුණු කෙනෙක් තමයි බොහෝ විට පිටතට පැමිණෙන්නේ.”
ගෙදරක දරුවෝ වැඩි වෙනකොට වැඩිපුර ඉන්න දරුවව සසුන්ගත කරනවා. එහෙම නැත්තං ගොඩක් අය සසුන්ගත වෙන්නේ ආදායමක් බලාපොරොත්තුවෙන්. මේක තමයි ආයතනික බුදු දහම.රජය අනිවාර්යයෙන්ම දරුවන්ට අවස්ථා සාදා දිය යුතුයි. මම සහය දක්වනවා දරුවන්ට සසුන් දිවිය ගැන අත්දැකීමක් ලබාගන්න තාවකාලික සසුන්ගත වීම් වලට. නමුත් මේ සියල්ලම සිදුවිය යුත්තේ දෙමාපියන්ගේ හෝ භාරකාරයන්ගේ දැඩි අවධානය මත.
ඔහු වර්තමාන සංඝ ශාසනයේ ඇති ගැටලුවට ඉදිරිපත් කළේ අපූරු උපමාවකි.
“මේක එක තනි නරක් වුණ ඇපල් ගෙඩියක් කියන්න බැහැ. මේ ගැටලුව නරක බාල්දියක තියන නරක් වුණ ඇපල් ගොඩක් වගේ. මම දකින්නේ ඒ විදිහට”
“තව කරුණක් තමයි වර්තමානයේ බුද්ධ ශාසනය හා රජය අතර විශාල ගැටුමක් තියනවා. ශ්‍රී ලංකාව වෙන් නොවුණු අර්ධ වශයෙන් ආගමික රාජ්‍යක් කියන්න පුළුවන්.”
“මොකද ජනපති කෙනෙක් අනිවාර්යයෙන්ම සංඝරත්නය හමු විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය එක්ක බැලුවම ලංකාවේ ආගම සහ රජය වෙන් වෙලා නැහැ. මේකට නායකත්වය බෞද්ධ විය යුතුයි කියන වර්තමාන සමාජීය ආඛ්‍යානයත් හේතු වෙනවා. මේ වගේ ආඛ්‍යාන රාජ්‍ය සමයේ වලංගුයි. නමුත් වර්තමානයේ බෞද්ධ නායකත්වය රජය සමග සම්බන්ධතා පවත්වා ගන්නා විදියේ වෙනසක් තිබෙනවා. මොකද ඔවුන් රජය විසින් ආගමික ආයතනවල මූල්‍ය පාලනයට වැනි දේවල් අධීක්ෂණයට විරුද්ධයි. බොහෝ වෙලාවට රජය විසින් මේ ආගමික ස්ථානවල ඉන්න ළමුන් ගැන අධීක්ෂණය කරන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක්ම සිදුවුනා අයර්ලන්තයේ. ඒ රටේ අනාථ දරුවන් බලාගත්තේ කතෝලික පල්ලියෙන් සහ කන්‍යාරාමවලින්. නමුත් අද වෙනකොට ඒ දරුවන් මුහුණ දුන්නු තත්ත්ව ගැන කරුණු මතු වෙනවා. ඔවුන් ලොන්ඩරිවල සේවයට දමා තිබුණා, ඔවුන්ට පහර දී ශාරීරිකව අපයෝජනය කර තිබුණා. ඉතින් මම මගේ පර්‌යේෂණවල අවධානය යොමු කරපු ලොකුම දෙයක් තමයි මේ සාමණේරභාවය පිළිබඳව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලයේත් සාමනේරවරු සිටියේ කීපදෙනයි. ඒ සමයේ එය ප්‍රධාන කරුණක් වුණේ නැහැ. මියන්මාරයේ තායිලන්තයේ පවා සාමණේරභාවය තාවකාලිකයි. නමුත් ලංකාවේ යම්කිසි හේතුවකට සාමනේරභාවය කියන්නේ ජීවිත කාලයටම භික්ෂුභාවය ලැබීම. නමුත් භික්ෂුභාවයේ ප්‍රතිපත්ති කුඩා දරුවකුට තේරුම්ගන්න අපහසුයි. නමුත් දිගින් දිගටම කුඩා දරුවන් සසුන්ගත වෙනවා.”
වර්තමානයේ ලිංගික අධ්‍යාපනය පාසල් වලට ගෙන ඒමට දැඩි විරෝධයක් දක්වන්නේ සංඝයා වහන්සේයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්යවරයා, “අනිවාර්යයෙන්ම මේ විරුද්ධ වීම් තුළ කුහකකමක් පවතිනවා. ඒ වගේම අදාළ කාරණය සම්බන්ධයෙන් විශේෂඥතාවක් නැහැ. උදාහරණයක් වශයෙන් යළිත් අයර්ලන්තයම ගමු. අයර්ලන්තයේ සමාජයේ සදාචාරය පිළිබඳ ප්‍රධාන වුණේ කතෝලික පල්ලිය. ඔවුන් තමයි සදාචාරය පිළිබඳ සියල්ල තීරණය කළේ. ඔවුන් ඒ සදාචාරය පිළිබඳ සමාජය තදින් අල්ලගෙන හිටියේ ඔවුන් විසින්ම ඒ පරමාදර්ශ අනුගමනය කරන්නේ නැතුව. බුදුරජාණන්වහන්සේ ගේ මූලික ඉගැන්වීම් අනුගමනය කරන භික්ෂූන්වහන්සේ නමක් මේ වගේ කරුණු කරදරයක් කරගන්නේ නෑ. නමුත් මේ වගේ කරුණුවලින් කලබල වෙලා මේ කරුණු ගැන කතා කරන අයට තර්ජනය කරන භික්ෂූන්වහන්සේලා ඉන්නවා, ඒ අය, මගේ අත්දැකීම් වලට අනුව, සාමාන්‍ය මනුෂ්‍යත්වය සහ සදාචාරබවවත් වර්ධනය වුණු අය නෙමෙයි. මෙය ඔවුන්ගේ වරදක් නොවෙයි පද්ධතියේ වරදක්. මොකද මගේ පර්‌යේෂණවලට සම්මුඛ සාකච්ඡා ලබාදුන් බොහොමයක් භික්ෂූන් කිව්වේ එයාල ඉෙගනගත්තු ප්‍රධානම දේ ද්විත්ව ජීවිතයක් ගතකරන එක කියලා. සංවිධානයක් ආයතනගත වෙනකොට ඒ සංවිධානයේ සංරසය අභ්‍යන්තරයෙන්ම නැති වෙලා යනවා. බුද්ධ ශාසනය ඇරඹුණේ මේ අයුරින් නෙමෙයි. විනය පැමිණියේ වසර 20කට පමණ පසුව. මොකද බුදුසසුන ඇරඹුණේ පිරිසක් ජීවිතය අරගෙන යන ආකාරය මත පදනම්ව. නමුත් වර්තමානයේ පවතින්නේ ආයතනගත බුදුදහමක්.”
එසේ නම් මේ ගැටලුවලින් ඇතිවන බලපෑම් අවම කිරීම සම්බන්ධයෙන්ද ආචාර්යවර්යා සඳහන් කළේය.
“ගෙදරක දරුවෝ වැඩි වෙනකොට වැඩිපුර ඉන්න දරුවව සසුන්ගත කරනවා. එහෙම නැත්තං ගොඩක් අය සසුන්ගත වෙන්නේ ආදායමක් බලාපොරොත්තුවෙන්. මේක තමයි ආයතනික බුදු දහම.රජය අනිවාර්යයෙන්ම දරුවන්ට අවස්ථා සාදා දිය යුතුයි. මම සහය දක්වනවා දරුවන්ට සසුන් දිවිය ගැන අත්දැකීමක් ලබාගන්න තාවකාලික සසුන්ගත වීම් වලට. නමුත් මේ සියල්ලම සිදුවිය යුත්තේ දෙමාපියන්ගේ හෝ භාරකාරයන්ගේ දැඩි අවධානය මත. එහෙම නොමැතිව රජය මගින් අධීක්ෂණය වීමක්වත් සිදුනොවන පුද්ගලයන්ට කුඩා දරුවන්ගේ ජීවිතය පාලනය කරන්නට අයිතිය ලබාදිය නොහැකි. අපි ලංකාවේ ක්‍රියාත්මක වන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගත්තත් ඒ ආයතනවල නිළධාරීන් ලමා ආරක්ෂණ අධිකාරිය යටතේ පරීක්ෂා වීම අනිවාර්යයි. ඒ පැය හයකට. නමුත් සාමණේර හිමිවරුන් තමන්ගේ මුළු ජීවිතයම ගෙවන්නේ පන්සලේ. ඇයි ඒ ආකාරයේ පරීක්ෂා වීම් පන්සල් වල සිදුවන්නේ නැත්තේ? එය හරියට නරියට කුකුළන් දීමක් හා සමානයි. ඔබට ඔබගේ ලිංගිකත්වය ප්‍රකාශ කරන්න බුද්ධ ශාසනය අවශ්‍යම නෑ. සසුන්ගත නොවී ලිංගිකත්වය ප්‍රකාශ කරන්න පුළුවන් ඕනෑ තරම් ක්‍රම තියනවා. ඒ නිසා සසුනට පැමිණීම අවශ්‍යම නැහැ. නමුත් මේ ගැටලු ගැන සාකච්ඡා කරන්න පිරිසක් නැහැ. රජය විසින් මේ පිළිබඳ කතා කිරීමට දේශපාලනික ඕනෑකමක් නැහැ මොකද එසේ කළහොත් ඔවුන්ට පැමිණෙන මැතිවරණ ප්‍රතික්‍රියාව අහිතකර නිසා.”
අවසාන වශයෙන් මේ සියල්ලම පිළිබඳ ආචාර්යවරයා මෙසේ ගොනු කොට දැක්වීය.
“ඉතින් අපි ප්‍රශ්න කරනව නම් තවමත් මේ ගැටලු ඇති වෙන්නේ ඇයි කියලා මේක තමයි පද්ධතියේ ස්වභාවය. ඔබ පරිගණකයක ක්‍රියාත්මක කරන බොත්තම ඔබනවා නම් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඔබ ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න දෙයක් නෑ මොකද ඒ පද්ධතිය හැඩ ගැසිලා තියෙන්නේ ඒ ආකාරයෙන්. ඒක තමයි පද්ධතිය”
අංජුන ලියනආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd