සුදා වන්නියලැ ඇත්තන් සිය බිරිඳ සමග
 
අපේ රටේ ආදිවාසී පරම්පරාවේ ඉතිහාසය වසර දහස් ගණනක අතීතතයට දිවයයි. ආදිවාසී නායක විශ්ව කීර්තී වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසන පරිදි මෙම පරම්පරාව වසර 48,000 ක ඉතිහාසයකට උරුමකම් කියයි.
 
අද වනවිට බදුල්ල, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි රැහේ ඇත්තන් ලක්ෂ පහකට වැඩි පිරිසක් ජීවත් වන බව ද හෙතෙම අවධාරණය කරයි. අපේ රටේ ආදිවාසීන් ගේ වගතුග පිළිබදව“වැදි රැහේ ජීවිතේ” මැයෙන් විශේෂාංග ලිපි මාලාවක් පාඨකයන් වෙත ගෙන යාමට “ඉරිදා ලංකාදීප”ය පසුගිය කාලයේ සමත්විය. මෙම ලියුම්කරු එම ලිපිමාලාව ඉදිරිපත් කළේය. 
 
එහෙත් රතුගල සංචාරයේ යෙදෙමින් මෙම ලිපිය ලියන්නේ වැදි පරපුරේ පමණක් නොව බාහිර සමාජයේ කතාබහක් බවට පත්ව ඇති “රතුගල” නව නායකයා ලෙස අවුරුදු 26 ක තරුණයෙකු පත් වූ පසුබිමකය. ඔහු රැහේ ළාබාලතම නායකයා වීම ද විශේෂත්වයකි.
 
බිබිල-අම්පාර මහා මාර්ගයේ නිල්ගල ඖෂධ වනාන්තරය මැදින් කි.මී. 35ක් ගමන් කළ විට රතුගල හමුවෙයි. වියනේගල, හේලංගල, සහ දානිගල රතුගල පාමුල සිට සිවුදෙසින් දිස්වෙයි. රතුගල ජාත්‍යන්තරයට රැගෙන ගියේ සුදු ජාතික වෛද්‍යවරයෙකු වූ ආර්. එල්. ස්පිට්ල් ය.
 
ඔහු පෙන්වා දි ඇති අයුරින් දුරාතීතයේ දී දානිගල, නුවරගල, රතුගල, හීනවන්නිය, වාකරේ යන ප්‍රදේශවල ගෝත්‍රික ජනයා විශාල සංඛ්‍යාවක් ජීවත්ව තිබේ. ඒ අතීතය පිළිබදව 2011 වසරේ නොවැම්බර් මස 10 වැනිදා මා දැනුවත් කළේ පසුගියදා ජීවිතක්ෂයට පත්වූ රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියලැ ඇත්තන් ගේ මෑණියන් වූ දානිගල මහ බණ්ඩාරලාගේ හීන් මැණිකා මාතාවයි. ඇය එදා මා සමග පැවසුවේ “දානිගල” ගල්ගුහාවේ ජීවත්වූ කාලය කුසට ගින්දරක් නැති කාලයක් බවය. දඩමස්, තලප, මීපැණි හා වන පලතුරු බුදිමින් සතුටින් ඒ කාලය ගත කර තිබේ.
 
ඇය එදා කී කතාව මට තවම මතකය.
 
“මගේ සැමියා තමයි රතුගල හිටපු නායකයෙක් වූ රන්දුන් වන්නියා. මම අවුරුදු 10 ක පමණ කැකුළියක් කාලේ අප්පිල ඇත්තෝ අම්මිල ඇත්තෝ එක්ක දානිගල කැලෑවේ ගල් ගුහාවක ජිවත්වුණේ. තවත් පවුල් 25 ක් විතර ඒ කැලේ ගල්ගුහාවල ජීවත්වුණා. මේ කාලේ මහා වසංගතයක් ආවා. රැහේ අය මැරෙන්න පටන් ගත්තා. පවුලක මරණයක් වුණාම මිනිය එතැනම තියෙද්දි වෙනත් ගල්ගුහාවකට යනවා.මෙහෙම ඉන්නකොට තමයි ස්පිට්ල් කියන සුදුදොස්තර මහත්තයා ඇවිත් අප්පිල ඇත්තන්ට කිව්වේ රතුගල කැලේට ගිහින් පදිංචි වෙන්න එතකොට බෙහෙත් දෙන්න ලේසියි කියලා.” 
 
“ඒ දොස්තර මහත්තය අපේ ඇත්තන් සමග බොහොම සමීපව කටයුතු කළ හිතවතෙක් නිසා රැහේ ඇත්තෝ ඒ ඉල්ලීම අනුව රතුගලට ඇවිත් පැල්පත් අටවාගෙන පදිංචි වුණා. අප්පිල ඇත්තන්ගේ නායකත්වයෙන්  රැහේ අය ඒකට කැමති වුණා. ස්පිට්ල්ස් මහත්තයා ගොඩක් උදව් කළා. මෙහේ පදිංචියට එනකොට. මේක මහ මූකලානයක් නේ.” යැයි ද කීවාය.
 
කාලයාගේ අවෑමෙන් රතුගල ආදිවාසී පරපුරට ඛේදජනක ඉරණමක් අත්වූ බවත්, රැහේ ඇත්තන් පිළිබදව ඇල්මකින් කටයුතු කළ තම සැමියා වූ නායකයා මිය යාමෙන් පසු පුතා වන සුදා වන්නියලැ ඇත්තන්ට නායක කම ලැබුණ බවත්, ඇය කීවාය. මම සුදා වන්නියලැ ඇත්තන්ද මුණ ගැසුණෙමි. 
 
තම රැහේ ඇත්තන් ගේ දුක සහ තමාට පැවරී ඇති වගකීම පිළිබඳව ඒ ඇත්තෝ එදා මෙසේ පැවසීය.
 
“අප්පිල ඇත්තන් මිය බෙට දැමීමෙන් පසු රැහේ ඇත්තන් ගේ නායකයා වූ මම විශාල අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. රතුගල ආදිවාසී පවුල් 120ක් විතර ජීවත් වෙනවා. වනසංරක්ෂණ නිලධාරින් ඇවිත් කැලෑබිම ලකුණු කරලා නීති දැම්මට පස්සේ හේනක් කොටා ගෙන කුරහන් ඉරිඟු වවා ගෙන තලපයක් හදාගෙන කන්න බැරි තත්ත්වයක් උදාවුණා. කැලේ ගිහින් දඩයමක් කරගන්න, මීවදයක් කඩාගෙන පැණි ගන්න, අරළු බුළු නෙල්ලි සහ වන පලතුරු කඩා ගන්න ඖෂධ වර්ග එකතු තරන්න  අප්පිපල ඇත්තන්ගේ කාලයේ තිබූ නිදහස අපට අහිමි වුණා. මේනිසා රැහේ ඇත්තෝ අන්ත අසරණ වුණා. ආර්ථික අගහිඟකම් නිසා වැදි සංස්කෘතිය අනුව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවීමත් සමග නව පරපුරේ අය බාහිර සමාජයේ ගොදුරක් බවට පත්වුණා. කැකුලෝ කුලීවැඩට සහ වෙනත් සුළු සුළු රස්සා හොයා ගෙන ගියා. කැකුළියෝ ඇගළුම් කම්හල්වලට සහ ඇතමුන් නිවාසවල මෙහෙකාර වැඩට යනවා.” 
 
සුදා වන්නියලැ ඇත්තන්ට දියණියන් දෙදෙනක් හා පුතුන් දෙදෙනෙකි. එක පුතෙක් ආබාධිතය. දියණින් දෙදෙනාම ආදිවාසී නොවන පුද්ගලයන් දෙදෙනකු සමග විවාහවී සිටින බවත්, මේ ආකාරයට ආදිවාසී නොවන අය  සමග සිදුවන විවාහ වැඩිවී ඇති බවත්, හෙතෙම කීවේය. 
 
එසේ මා සමග එසේ දොඩමලු වූ නායක සුදා වන්නියලැ ඇත්තෝ පසුගියදා මිය ගියේය. කලක් රෝගාතුරව සිට කොළඹ රෝහලක දී ඔහු මියයන විට 62 වැනියේ වියේ පසුවිය. ඔහුගේ හිතවත් මාධ්‍යවේදියකු වූ මම ද මළගමට ගියෙමි.
 
රතුගල සිදුවන මරණ සාමාන්‍ය මිනීපෙට්ටිවල තැන්පත්කර අවසන් කටයුතු සිදුකිරීම දැන් නම් සුලබ සිද්ධියකි. එහෙත් නායක සුදා වන්නියලැ ඇත්තන්ගේ දේශය හික්ගසේ පොත්තක් හා කිරිවැල් උපයෝගී කරගෙන හැදූ ආදිවාසී සාම්ප්‍රදායික මිනීපෙට්ටියක තැන්පත් කර තිබිණ. එය ඔහුගේ ද ඉල්ලීමකි.
 
සනුහරේ ඇත්තන්, දේශපාලනඥයන්, හිතවතුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම මළගමට පැමිණ සිටියහ. බෞද්ධ වත්පිළිවෙත් අනුව භික්ෂුන් වහන්සේ වැඩමවා පිරිස පංචශීලයේ පිහිටුවීම, මතකවස්ත්‍ර පිදීම හා පැන්වැඩීම යනාදී පිළිවෙත් ද ඉටුකෙරිණ. මෙම අවමඟුල් උත්සවයේ  ප්‍රධානියා වූ ආදිවාසී ජාතික නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තන් විසින් සිදුකළ කතාව සංවේදී සහ හැඟුම්බර එකකි.
 
“අපේ සම්ප්‍රදාය අනුව නායකයෙක් මිය ගියාම ඊළග නායකයා වන්නේ ඔහුගේම පුතෙක්. හැබැයි නායකයා මියයාමට පෙර අනාගත නායකයා නියෝජ්‍ය නායකයා ලෙස නායකයා සමග එක්වී කටයුතු කරමින් අවබෝධයක් ලබාගැනීම අපේ සිරිතයි. නායකකම කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. රැහේ ඇත්තන්ට සමීපව ඔවුන් ගේ ප්‍රශ්න ගැටලු වල දී ඉදිරිපත් වී විසඳුම් ලබාදීමට ක්‍රියාකළ යුතුයි. ඒ වගේම රැහේ ඇත්තන්ට ඇහුම්කන්දෙන, තරහ නොයන, ගුටිබැට ඇතිකර නොගන්නා කෙනෙක් විය යුතුයි. බාහිර සමාජයේ ගොදුරක්, ඉත්තෙක් නොවිය යුතුයි.
 
ආදිවාසී උරුමය, සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් - මනා පෞරුෂයකින් යුතුව, අභිමානවත්ව, නීතිගරුකව, හා ආදර්ශමත්ව ජීවත්වෙමින් පරම්පරාව ඉදිරියට රැගෙන යාමේ අභියෝගය තමයි නායකයකුට තියෙන්නේ.” යැයි ආදිවාසී නායකයා පැවසීය. 
 
කෙසේ නමුත් මෙහිදී  පවුලේ අයගේ ද මනාපය ඇතිව නව නායකයා ලෙස දානිගල මහබණ්ඩාරලාගේ නිශාන්ත කුමාර කැකුළා පත්කරන බව ද ඔහු පැවසීය. 
 
සුදා වන්නියලැ ඇත්තෝ කෑමට වඩාත් ප්‍රිය කළ ආහාර සහ බීම වර්ග නෑ යකුන්ට පිදීම සඳහා සිරිත් පරිදි අවමඟුල් පෙරහරේ රැගෙන යාම සිදුවිය. තවමත් වැඩ අවසන් නැති නිවසේ සිට මීටර් 100ක් පමණ දුරින් මිනීවල කපා තිබිණ.
 
කොළඅතු එල්ලා සැරසු පාර දිගේ අවමඟුල් පෙරහර ඉදිරියට ගියේය.
 
නව නායකයා ලෙස දානිගල මහබණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තෝ නිල වශයෙන් පත්කිරීම සංකේතවත් කරමින් මියගිය නායකයා භාවිත කළ - ‍දුන්න, ඊතලය, පොරව, පෙරවූ තුවාය සහ රතුගල කැලේ උරුමය පිළිබඳව බුද්ධදාස රජතුමා විසින් ආදිවාසීන්ට ලබාදුන් බවට ආදිවාසීන් විශ්වාස කරන කරන සන්නස ඒ ඇත්තන්ට පිරිනමන ලද්දේ ආදිවාසී ජාතික නායක වනස්පති උරුවරිගේ වන්නයලැ ඇත්තන් විසිනි.
 
මෙම අවමඟුල් කටයුත්තෙහි වියදම් සඳහා රාජ්‍ය අනුග්‍රායක් සහ රාජ්‍ය නොවන සංවිධානයක දායකත්වය ලැබී තිබිණ. මළගම අවසන් වුවත්, හත් දවසේ බණ පැවැත්වීමටත් කලින් නව නායකයා පිළිබඳව විවිධ කතා ඇසෙන්නට විය.
 
මේ අතර ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් බවත්, එක්තරා පක්ෂයකින් ඡන්දයකට සහභාගී වූ අයකු බවත්, කියැවෙන කතා - ඇතැම් පුවත්පත්වල ද, මුහුණුපොත් සටහන්වලින් ද, දක්නට ලැබිණ. ඒ සියල්ල සාවද්‍ය බවත්, නව නායකයාගේ නියම නම දානිගල මහබණ්ඩාරලාගේ නිශාන්ත කුමාර බවත්, රතුගල ආදිවාසී සංවර්ධන සමිතිය නමැති සමිතියක් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
 
නිශාන්ත කුමාර යන නම වෙනුවට රැහේ නායකයා ලෙස ඉදිරියේදී වෙනත් නමක් භාවිත කිරීමට බලාපොරොත්තුවන අතර, එම නම වරිගසභාවේ දී තීරණය කරනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් විය.
 
මේ පලහිලව් අස්සේ මා යළිත් රතුගලට ගියේ නව නායකයා මුණ ගැසීමටය. මා ගමන් කළ බසයේ නව නායකයාගේ මව වන දානිගල මහ බණ්ඩාලාගේ ලීලාවතී ඇත්තිය ද ගමන් කළාය. හත් දවසේ දානයට බඩු රැගෙන ඒම සඳහා බිබිලට ගිය බව ඇය කීවාය.
 
නව නායකයා විවාහක එක්දරු පියෙක් බවත්, ලග්ගල විදුහලේ ඉගෙන ගැනීමෙන් පසු රතුගල සංචාරක හෝටලයක සේවකයකු ලෙස රැකියාව කළ බවත්, ඇය කීවාය. “පුතා වෙනම ගෙදරක ජිවත්වෙනවා” යැයිද සඳහන් කළාය.
 
මා ඇය සමග නිවසට පියනගන විට නවනායක ඇත්තෝ සිය බිරිඳ සහ කුඩා දරුවා ද සමග යතුරුපැදියකින් මහගෙදරට පැමිණියේය.
 
කොට කලිසමකින් සහ ටීෂර්ට් එකකින් සැරසී සිටි හෙතෙම නිවස තුළට ගොඩ වැදුණේය.
 
“ඔබ සමග කතා කරන්න අවශ්‍යයැයි” මා පැවසූ විට - “අපෝ බැහැ  මාධ්‍යවලට කිසිම ප්‍රකාශයක් කිරීමට බැහැ” යනුවෙන් හෙතෙම කීවේය. ඉදිරියේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අදහස් කරන බව ද කීවේය. 
 
කෙසේ වුවද ඔහු පිළිබඳව ධන හෝ ඍණ තීරණයක් ගැනීමට තවම කල් වැඩිය. ලිපිය අවසන් කිරීමට පෙර ආදිවාසී ජාතික නායකයා ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ඇමතුවෙමි.
 
“ඔව් නව නායකයාගේ ක්‍රියාකාරම් පිළිබඳව ජාතික නායකයා හැටියට මම අවධානයෙන් පසුවෙනවා. ඒක මගේ වගකීමක්” හෙතෙම දැඩි වගකීම්සහගත ස්වරයකින් ඒ අයුරින් පිළිතුරු දුන්නේය.
බදුල්ලේ 
පාලිත ආරියවංශ
 
හික් ගසේ පොත්තකින් නිර්මාණය කළ මිනි පෙට්යේ තැන්පත් කර තිබු සුදා වන්නයලැ ඇත්තන්ගේ දේහය අසල ආදිවාසි ජාතික නායක ඌවරුවරිගේ වන්නියලැ ඇත්තෝ, නව නායක නිශාන්ත කුමාර ඇත්තෝ සමග දඹානේ නියෝජ්‍ය නායක යන අය බුහුමන් දැක්වූ අයුරු.
 
 
පවුලේ අය විසින් පැන්වැඩීම සිදුකළ අයුරු
 
අවමගුල් පෙරහැර
 
සහභාගි වූ දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරින්
 
 
නව නායකයාගේ මිත්තනිය
 
නව නායකයාට දුනු ඊතල පැළදවීම                (ඡායාරූපය : ප්‍රසන්න පද්මසිරි)