ඇවිදින මං තීරුද? ජීවන මං තීරුද?   


මේ, ගෙවුණු සතියේ අපේ රටේ ප්‍රධාන මාතෘකාවය.  


හැම සතියකම කුමක් හෝ මාතෘකාවක් සොයාගෙන ආණ්ඩුවේ පතුරු හැරීමට උත්සාහ කිරීම විපක්ෂයේ වගකීම බවට පත්ව තිබේ. ඒ අතින් විපක්ෂය වාසනාවන්තය. 
 


මේ ඇවිදින මංතීරුව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ පරාක්‍රම සමුද්‍රයේ බැම්ම දිගේ ඉදිකරන්නට ගිය මංතීරුවක් නිසාය. පැවතුණ අලි වැටක් ද කඩා දමා පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා ඉදිකෙරෙන මේ මංතීරුව මගින් වැවට විශාල හානියක් සිදුවන බවද ප්‍රකාශ විය. අන්තිමේදී මහා සංඝරත්නයද වැඩම කර මංතීරුවට විරෝධය පළකළ සේක. ඉනික්බිති ඒ මං තීරුවේ වැඩ කටයුතු නතර කරනු ලැබිණි.  
කෙසේ වෙතත් ඒ සමගම ඇවිදින මං තීරුව පිළිබඳ කතාව රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්කර ගත් විපක්ෂය, රටේ ජනතාවට අවශ්‍ය ජීවන මං තීරු මිස ඇවිදින මං තීරු නොවන බව කියන්නට පටන් ගත්තේය.  


ඇවිදින මං තීරු සංකල්පය යහපාලන ආණ්ඩුවට කලින් පැවති මහින්ද රාජපක්ෂ ජනපතිගේ ආණ්ඩුව කාලේ බිහිවූවකි. එම ව්‍යාපෘතියේ අරමුණ වූයේ ජනතාවට ව්‍යායාම කිරීමට අවස්ථාව උදා කිරීමය. මේ ඇවිදින මං තීරුවේ දිනපතා නැත්නම් සතියට දවස් දෙක තුනක්වත් ඇවිදීමෙන් ශරිරයට නිසි ව්‍යායාම ලැබී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබීමට ඇවිදින්නන්ට හැකිවේ. එමගින් රෝහලට එන පාර වසා දමන්නට හැකිවීම රටේ ජනතාවට වාසනාව උදා කිරීමකි.  


ඉතිං ලංකාවේ පළමුවන ඇවිදින මං තීරුව ඉදිකළේ ගම්පහ ඔරුතොට ඌරුවල් ඔයේ ‘බන්ට් එක’ දිගේය. ඔරුතොට පාරේ සිට පල්ලිය පාර දක්වා වූ කිලෝමීටර් 2.7 ක දුරකටය.  
මේ කැලේට මොන මංතීරුද?   
ඕකෙන් වෙන්නෙ මේ කුඹුරු ටික වපුරගන්නත් බැරිවෙන එක.   
හොරුත් බෝ වේවි.  
කපල්ස් ඇවිත් ළමයෙකුටවත් වෙලට බහින්න බැරි වේවි.  
ඕකට ඇවිදින්න එන්නෙ මොක්කුද?   
ආණ්ඩුවෙ උන් සල්ලි ගහන්න කරන වැඩනෙ.  
මේ ආණ්ඩුවට පිස්සු.  


‘ගමේ අයියලා’ ඉදිවෙන මංතීරුව දෙස බල බලා චෝදනා නැගූහ.  
එහෙත් අවසානයේදී ලංකාවේ පළමුවැනි මං තීරුව විවෘත කෙරිණි.  
ඇත්ත වශයෙන්ම කිවහොත් එය සුන්දර නිර්මාණයකි. සුවතා මං තීරුව ලෙස නම් කළ එහි ඇවිදීමේ වටිනාකම ගැනත්.... විධිමත්ව ඇවිදින ආකාරය ගැනත් ‘ඇවිදින්නන්’ දැනුම්වත් කළ පුවරු සවිකර තිබිණි. ඇවිදීමෙන් කකුල්වල යටි පතුල් ‘නිල’ තෙරපෙන හැටිත් ඒ තෙරපීම් මොලයට සහ ශරීරයේ වෙනත් ස්ථානවලට බලපාන හැටිත් සිතුවම් සහිතව පැහැදිලි කර තිබිණි. කොටසක බ්ලොක් ගල් ද, තවත් කොටසක කළු ගල්ද, තවත් කොටසක බෝල බෝල දොළ ගල්ද, තවත් කොටසක වැලිද ආදී වශයෙන් මං තීරුවේ කොටස් බෙදා තිබිණි. කළු ගල් සහ දොළ ගල් සහිත කොටසේ පාවහන් ගලවා ඇවිදිය යුතු වූයේ යටිපතුලේ නිල තෙරපීමට අවශ්‍ය වූ නිසාය.  

 

ඇවිදින මං තීරු සංකල්පය යහපාලන ආණ්ඩුවට කලින් පැවති මහින්ද රාජපක්ෂ ජනපතිගේ ආණ්ඩුව කාලේ බිහිවූවකි. එම ව්‍යාපෘතියේ අරුමණ වූයේ ජනතාවට ව්‍යායාම කිරීමට අවස්ථාව උදා කිරීමය. මේ ඇවිදින මං තීරුවේ දිනපතා නැත්නම් සතියට දවස් දෙක තුනක්වත් ඇවිදීමෙන් ශරිරයට නිසි ව්‍යායාම ලැබී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබීමට ඇවිදින්නන්ට හැකිවේ.


මේ මංතීරුව දෙපස වූයේ සුන්දර තුරු වියනකි. ඒ ගස් ද එහෙන් මෙහෙන් සොයා​ෙගන සිටවූ දුර්ලභ ගස්ය. කොටින්ම කිවහොත් එතෙක් කලක් ඔය බැම්මේ හෝ මේ ප්‍රදේශයේ නොදුටු ගස් වර්ගය. අත්තික්කා, උණ, බෝ, බක්මී, ඇහැල, රොබරෝසියා, කොහොඹ, කුඹුක්, මැයි, නා, ගොඩපර, දියපර, දිය බෙරලිය වැනි වටිනා අගනා ගස් වර්ගය. මේ හැම ගසකම නම සඳහන් පුවරුවක්ද සවි කර තිබිණි.  
රාත්‍රියටත් ඇවිද යා හැකි පරිදි මං තීරුව ආලෝකමත් කළේ සූර්යකෝෂ සවිකිරීමෙනි.  
ගෙවී ගියේ ටික දිනකි. මංතීරුව අසල රිය ගාලේ වාහනයක් නතර කර තබන්නටවත් නොහැකි තරමට ‘‘ඇවිදින්නෝ’’ මං තීරුවට ආහ. ඔවුන් දුවමින් වේගයෙන් ඇවිදිමින් තම ශරීර සුවතාවය සලසා ගත් අතර, සමහරු යෝග ව්‍යායාම ද වෙනත් ශාරීරික ව්‍යායාමද කරන්නට පටන් ගත්හ.  


උදේ වරුවත් හවස් වරුවත් දෙකේම ඇවිදින්නන් මං තීරුවට පැමිණි අතර උදේ නවයට පමණ පාසල් ළමුන් සමග ගුරුවරුද මංතීරුවට ආහ. ඒ ළමයින්ට පරිසර පාඩම් කියා දෙන්නට මේ මං තීරුව අපූරු තැනක් වු නිසාය. විවිධ ගස් වර්ග හඳුන්වා දෙන්නටත් කබරගොයා, දිය කාවා, කොකා, පිළිහුඩුවා, ගිරවා, කොරවක්කා, මයිනා ආදී උරගයින් හා පක්ෂීන් පෙන්වන්නටත් මේ මං තීරුව කදිම තැනක් වූ නිසාය.  
උදේ දහය එකොළහ වනවිට පෙම්වතුන්ද නොආවා නොවේ. එහෙත් ඔවුන් ආදරය ගැන ඉගෙන ගත්තා මිස අසභ්‍ය ලෙස හැසිරුන බවක් නම් කාටවත්ම පෙනුණේ නැත.  


මේ මං තීරුවේ වටිනාකම වටහාගත් ‘ඇවිදින්නෝ’ පිරිස එකතු කරගෙන සංවිධානයක්ද පිහිටුවා ගත්හ. පරිසර මිතුරන් නම් වූ ඔවුන් ඉනික්බිති මේ මං තීරුව සුද්ද පවිත්‍ර කර ගැනීමට රැක බලා ගැනීමට ආවරණ සකස් කර ගැනීම ආදී බොහෝ කටයුතු ඔවුන්ගේම වියදමින් කර ගත්හ.  
ඇවිදින මං තීරුව බොරු වැඩක් අපරාධයක් සේ සැලකූ ‘ගමේ අයියලා’ දැන් මේ මං තීරුවේ අපූරුවට ඇවිද යති.  


එහෙත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දාම රාත්‍රියේ ඇවිදින මං තීරුවට ආ පිරිසක් සූර්යකෝෂ සියල්ල කඩා දමනු ලැබිණි. ඒ ජයග්‍රහනය සැමරීමට නම් පැවති ආණ්ඩුව කරපු දේවල් විනාශ කර දැමිය යුතුය යන සෘණාත්මක ආකල්පය අපේ සමාජයේ මුල්බැසගෙන තිබූ නිසාය. අන්තිමේදී ඒ සූර්යකෝෂ පෙට්ටි මයින්නු උන්ගේ කැදලි තනන්නට යොදා ගත්හ.  


වාසනාවකට මෙන් ඇවිදින පිරිස් සහ ඔවුන් පිහිටුවාගත් සංවිධානය මගින් මේ මං තීරුව රැකබලා ගත්හ. දෙපස කුඹුරු වැපිරීමට ගොවි මහත්තුරු ඇතැම් ගස් කපා දමා තිබුණද අදටත් මේ ඇවිදින මංතීරුව සුන්දරය. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට පමණක් දෙවැනි වේ. මංගල ඡායාරූප ගැනීමට තරම් අලංකාර පරිසර පද්ධතියක් බැවින් මනාල යුවළද නිතරම මෙන් මෙහි ගැවසේ.  


ඉතිං ඇවිදින මං තීරුවලින් මේ රටේ ජනතාවට වැඩක් නැතැයි කවුරුන් හෝ කියන්නේ නම් ඒ ඥානාන්විත ප්‍රකාශයක් නොවේ.  


මා මේ සඳහන් කරන්නේ පරාක්‍රම සමුද්‍ර බැම්ම මත ඇවිදින මං තීරුවක් ඉදිකළ යුතු බව නොවේ. එතැනට නොගැලපුණත් ඇවිදින මං තීරු මේ රටට අනවශ්‍ය නොවන බවය. එයින් අවැඩක් සිදු නොවන බවය. එනිසා ආණ්ඩුවක් කරන හැම ‘රෙද්දක්’ම හොඳ නැති, නොකළ යුතු, නොහොබිනා ‘මගුලක්’ යැයි පැවසීම විපක්ෂයත් හැමවිටම නොකළ යුත්තකි.

 

ශාන්ත කුමාර විතාන