මේ වන විට කොරෝනා වසංගතයට එරෙහිව බිම් මට්ටමේ කටයුතුවලට මැදිහත්ව සිටින ඒ පිළිබඳ විශේෂඥ දැනුම සතු, කණ්ඩායමක් සමග මෙන්ම ජනතාවගේ නියැදියක් ද යොදාගෙන මීට මාස කීපයකට පෙර කළ සමීක්ෂණයකි මේ. එදාටත් වඩා අද තත්ත්වය නරකය. ඒ අනුව කොරෝනා වැළඳුණු එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවසේම රැකබලා ගන්නවාට කැමති ප්‍රමාණය අඩු වී ඇති බවද මුලින්ම අවධාරණය කරමු . 


මෙහිදී අප සොයා බලනු ලැබුවේ තම නිවසේම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් හුදකලා කර පවත්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දී සෞඛ්‍ය අධීක්ෂණය යටතේ රෝගීනට ඔවුන්ගේ නිවසේම රැඳී සිටීමට අවස්ථාව සලසා දීම සුදුසු ද යන බවයි. 


මෙහිදී මුලින්ම පැහැදිලි කළ යුතු වන්නේ නිවසේ නිරෝධානය හා නිවසේම ප්‍රතිකාර කිරීම යන කරුණු දෙකේ වෙනසයි. 


නිවසේ නිරෝධනය දැනටමත් සිදුකරන දෙයකි. එය අරම්භ කළේ 2021 ජනවාරියේදී පමණය. නිවසේ නිරෝධායනය සිදුවන්නේ රෝගියකුගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඔවුනගේ නිවසේ සිටම අධීක්ෂණය කිරීමයි. නමුත් PCR පරීක්ෂණයෙන් හෝ Rapid Antigen පරීක්ෂණයෙන් රෝගියකු බව හඳුනා ගන්නා තැනැත්තා හෝ තැනැත්තන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකරණු ලබයි. එහෙත් සමහර අවස්ථාවලදී එසේ යොමු කිරීමේදී දින දෙක තුනක ප්‍රමාදයක් ඇතිවේ. 


නිවසේ රෝගීන් ප්‍රතිකාර කිරීමට යෝජනා කරන අයගේ තර්කය ඇමරිකාව, කැනඩාව මෙන්ම යුරෝපයේ රටවල ද ආසාදිතයන් රෝහල්ගත කරන්නේ විශේෂ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පමණක් බවයි.

එහෙත් එය අපේ රටට ඒ ලෙසම යොදා ගත හැකිද? 


මෙම වාර්තාව සකස් කිරීමේදී අප පසුව සඳහන් කරන විෂය දැනුම සහිත විශේෂඥයන් පරාසයක කණ්ඩායමක් සහභාගි කරවා ගත් අතර ඔවුන් සමඟ තාක්ෂණය යොදාගෙන මුහුණට මුහුණලා කරන ලද මූලික සාකච්ඡා වටයට පසු මෙම ලියකියවිල්ලක් සැකසීම සඳහා වට 15කට වඩා ගතකළ බවයි. 


මෙහිදී අප සාකච්ඡාවට බඳුන් කළේ PCR පරීක්ෂණයකින් හෝ Rapid Antigen පරීක්ෂාවෙන් රෝගය වැළඳුණු බවට තහවුරු වූ එහෙත් කිසිදු රෝග ලක්ෂණයක් රහිත වූ පුද්ගලයන් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට සුදුසු ද නැද්ද සාකච්ඡාවයි. 


මෙහිදී විද්වත් මතය පැහැදිලි ලෙසම ද්‍රවීකරණය වී බෙදුණු මතයක් විය. සමහරුන් එයට දැඩි කොන්දේසි සහිත සහයක් පළකළ අතර සමහරුන් එය කිසිසේත්ම ප්‍රඥාගෝචර කටයුත්තක් නොවන බවට අදහස් පළ කළේය. 


මෙම තත්ත්වය තුළ අපගේ ඒකමතික තීන්දුව වූයේ රෝග ලක්ෂණ රහිත කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට පෙර ඒ පිළිබඳව වාසි අවාසි, සාධනීය නිශේධනීය ප්‍රතිපල පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකින් හා ඉතා කල්පනාකරීව සැලසුම් කළ නියාමන ව්‍යාපෘතියකින් තොරව කිසිසේත්ම නොකළ යුතු බවයි. එහෙත් රෝගය වැළඳුන අය තම නිවස තුළම ප්‍රතිකාර සඳහා කැමැත්ත පළ කරන උදවියට ඒ සඳහා අවස්ථාවක් දිය හැකිද යන්න ගැඹුරින් සිතා නොබලා, නියාමන ව්‍යාපෘතියකින් කරුණු දැන ගැනීමකින් තොරව කිසිසේත්ම නොකළ යුතු බව ද අප සමීක්ෂණයේදී එකඟතාව ඇති විය. මන්ද එය බරපතළ අනිසි විපාක ගෙන ඒමට ඉඩ ඇති නිසාය. එහෙත් දැන් එම සකච්ඡාවලට ප්‍රමාද වැඩිය. ගිලීයෑමට යන නැවකින් මිනිසුන් ගොඩ දැමීමට සාකච්ඡා කර කර සිටිය නොහැක. 


ඒ නිසා දැනට කළ යුතු වන්නේ රෝහල් හෝ අතරමැදි ‍‍ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගීන් රැක බලා ගැනීමයි. එහෙත් දැනුවත් කෙනෙකුට තමන්ගේ තීරණය මත ගෙදර සිට ප්‍රතිකාර ලැබීමට ඉඩ දේනම් එය කාගේ තීරණයක් විය යුතුද? රෝගියාගේද සේවා සපයන්නගේද? මේ සමීක්ෂණය කරන කාලයේ නිවසේ ප්‍රතිකාර ලැබීමට කැමති වූ සියලු‍ දෙනා තව දුරටත් එම මතයේම සිටින බව අපි විශ්වාස නොකරමු. 
සුවිශේෂ වශයෙන් ගත් කල කොවිඩ් ආසාදනයේ සංකීර්ණ සංකූලතාවලට ගොදුරු විය හැකි අය අනිවාර්​ෙ‌යන්ම රෝහලක හෝ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුල් කළ යුතු බවට අපගේ සමීක්ෂණයේ ඒකමතිකව එකඟ විය. මේ අය අතර සුවිශේෂ වශයෙන් ගත් කල වැඩිහිටි උදවිය එනම් විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි හා බෝ නොවන රෝග වන දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, වෙනත් ස්වසන පද්ධතියට අදාළ රෝග, ඇදුම මෙන්ම පිළිකා රෝග, වකුගඩු ආබාධ, දුම්වැටි හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ උදවිය, දරුවකු ලැබීමට සිටින අතරම හෘද රෝග හෝ වෙනත් උපතින් ඇති වූ රෝගාබාධ ඇති අය මෙන්ම, විශේෂ අවශ්‍යතාව ඇති වැඩිහිටියන් ද මේ කාණ්ඩයේ ලා සලකන ලදී. මෙම රැල්ලේදී මතුවූ වයිරසයේ නව ප්‍රභේදය නිසා තරුණ අයටද අවදානමක් ඇති බව අමතක නොකළ යුතුය. 


ඒ අතරම මහල් නිවාස හෝ ඒවායේ ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාවට සරිලන ඉඩකඩ නොමැති නිවෙස්වල ජීවත් වන අය ද, රෝගියෙකුට තනියෙන් වැසිකිළියක් හෝ කාමරයක් පවා ලබාදීමට තරම් පහසුකම් නොමැති නිවෙස්වල ජීවත් වන අය ද, මූලික අවශ්‍යතාවයන් නිසි ආකාරයෙන් නොමැති නිවාස හෝ වතු නිවාස සංකීර්ණ තුළ ජීවත් වන අය ද, රෝහලකට හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුල් කළ යුතුම බව එහිදී එකඟතාවයකට පැමිණියේය. 


පෞද්ගලික රෝහලක හෝ මුදල් ගෙවා පවත්වාගෙන යනු ලබන අතරමැදි ‍‍‍ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබීමට දැනටත් ඉඩ කඩ ඇත. එහෙත් එහිදී අාසාදනය වැඩි වන්නන් නවතින්නේද රජයේ රෝහලකමය. මෙය මුදල් ඇති හෝ සමාජයේ වරප්‍රසාද ඇති අයට දෙන වරප්‍රසාදයක් ලෙස කෙනෙකුට සැලකිය හැක. එහෙත් එවන් ක්‍රියාමාර්ගයක් තුළ රෝහල් පද්ධතියට ඇතිවන අනවශ්‍ය පීඩනය යම් ප්‍රමාණයකින් අඩු කරගත හැකි බව සැබෑය. 


මේ වන විට කොවිඩ් අාසාදිතයන්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයන් තම නිවාසවලදී නිරෝධානය කිරීමට කරනු ලබන කටයුතු පිළිබඳ අභියෝග ගැනද අපි හොඳින් දනිමු. එයින් ඉගෙන ගත යුතු සියලු‍ පාඩම් ද ඉගෙන නොගැනීමකින් තොරව මෙම කටයුත්තට කිසිසේත්ම අවතීරණ නොවිය යුතු බවට ද අප සමීක්ෂණයේදී එකඟතාව පළ කරන ලදී. 


රෝග ලක්ෂණ රහිත උදවිය තමන්ගේ නිවස තුළම රැකබලා ගැනීමට තීරණය කිරීමට පෙර ඒ හා බැඳුණු අනිවාර්ය සාධක කීපයක් පිළිබඳව එකඟතාවයක් තිබිය යුතුය. එනම් එම නිවස්නයක් තුළ සිටින උදවියගේ රෝගී තත්ත්වය දිනෙන් දින වෛද්‍ය තක්සේරුවකට ලක් කරනු ලබන්නේ කවුරුන් විසින්ද, ඔවුන් නියාමනය කරනු ලබන්නේ කොයි ආකාරයකට ද, යම් හෙයකින් ඔවුන්ගේ රෝග ලක්ෂණ නරක අතට හැරුණ හොත් ඔහු ගෙන යනු ලබන රෝහල හෝ දැඩි සත්කාර ඒකකය කුමක්ද යන්නත්, එවන් ස්ථානයකට ගෙන යාම සඳහා පූර්ව සැලසුම් එකඟව තිබීමත් අනිවාර්ය විය යුතු බවට නිර්දේශ විය. හඳුනා ගත් රෝගීන් පවා ප්‍රතිකාර මධ්‍යස්නයකට ගෙනයාමට දින 2-3 ප්‍රමාදයක් පවතිද්දී ගෙදරදී නරක අතට හැරෙන රෝගීන්ට කාගේ පිළිසරණක් ලැබේද? 


නිවසේ ප්‍රතිකාර කිරීම දැනටමත් සීමාවේ ආසන්නයටම පැමිණ තිබෙන සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් වන බවද සාකච්ඡාවට ලක්විය. එසේම එය රෝග ව්‍යාප්තියට රුකුලක් වීමටද ඉඩ ඇත. ලෙඩුන් දස දෙනෙකු දස පොළක තබා එක වෛද්‍යවරයකු විසින් අධ්‍යයනය කිරීමට ගතවන කාලය කොපමණද? එකම ග්‍රාම සේවක වසමේ වුවත් දස පොළකට යාමට කොපමණ වෙලාවක් ගතවේද? එම දස දෙනා එක තැනක තබා අධීක්ෂණය ඊට වඩා කාර්යක්ෂම නොවන්නේද? 


මෙවන් පසුබිමක මොනතරම් අභියෝගයක් වුවද රෝගීන් ප්‍රතිකාර මධස්ථානයකදී රැක බලා ගැනීම වඩාත් ප්‍රඥාගෝචර කටයුත්තක් වනු ඇත. 

 

 

සෞඛ්‍ය හා සමාජ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ගරු අධ්‍යක්ෂක මෙන්ම ජාතික මුලික අධ්‍යයන ආයතනයේ සභාපති මහාචාර්ය
අතුල සුමතිපාල