(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උසස් පෙළ හදාරන සිසුවියක වාර විභාගයෙන් පසු  දැඩි සිත් තැවුලකට පත්ව සිටි දැරියක වැල්ලවත්තට  මුහුදු වෙරළේ ගලක් මත වාඩිවී හඬා වැටෙමින් සිටි ගේ දිවි  වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් එම දැරිය පොලිසියට කඳවාගෙන ගොස් මවුපියන්ට බාරදිමට කටයුතු කළේය.  

ඇය ගම්පහ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක සිසුවියකි.

වාර විභාගයෙන් පසුව කලකිරීමට පත්ව නැවත නිවසට නොයන බවත් වැල්ලවත්තට යන බව මිතුරියන්ට පවසා ඇය  ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

තම සහෝදරිය සිත කලකිරි දුම්රියට නැග වැල්ලවත්තට යන බව පවසා පිටව ගිය බවට ඇයගේ මිතුරියන් සහෝදරයාට කළ දැනුම් දීමකට අනුව සහෝදරයා  වැල්ලවත්ත පොලිසියට දුරකතනය  දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතා විනාඩියත් වටිනා බව තේරුම් ගෙන ඒවන විටත් රාජකාරියක් සඳහා පිටව ගොස් තිබූ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විරාජ ගනේවත්ත මහතා දැනුම් වත් කර අනතුරුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරිනියන්ද එම පණිවිඩය අනුව වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ මුහුදුවෙරළ පරික්ෂා කිරීම සඳහා යෙදවීමටද කටයුතු කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස උප පොලිස් පරීක්ෂක විරාජ ගනේවත්ත මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරිනියන්ට එම සිසුවිය දුම්රියපොළ පාරේ මුහුදු වෙරළේ ගලක් මත වාඩිවී හඬා වැටෙමින් රැඳී සිටින අයුරු දැක ගත හැකි වී ඇති අතර ඇය අසලට ඉතා උපක්‍රමශීලීව ළංවී සිය භාරයට ගෙන පොලිස් ස්ථානය කරා රැගෙන ඒමට කටයුතු කරනු ලැබූ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතා පැවසීය.

එම සිසුවිය අස්වසා ඇයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයගේ මව්පියන්ට  භාරදීමට කටයුතු කරනු ලැබූ බව ස්ථානාධිපතිවරයා වැඩි දුරටත්පැවසීය.