සුජිත් හේවාජුලිගේ

බන්ධනාගාරවල ගැටුම්, ආරවුල් තදබදය ඇතුළු විවිධ ගැටලු‍ විසඳීමට අලු‍ත් නීති සංශෝධන ගෙනඑන බව අධිකරණ අමාත්‍යාංශ ප්‍රධානීහු  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දුන්හ.

අමාත්‍යාංශ ප්‍රධානීන් මෙසේ දැනුම් දුන්නේ බන්ධනාගාරවල ගැටලු‍ විසඳීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී ඉකුත් 18 වැනිදා පැවති සාකච්ඡාවේදී ය.

බන්ධනාගාර පුනරුත්ථාපන පටිපාටිය සංකීර්ණ එකක් හෙයින්, එය සරල කිරීමට පියවර ගතයුතු බව කොමිසම මෙහි දී පෙන්වා දුන්නේය.

මේ අතර බන්ධනාගාරවල ගැටුම් සහ වෙනත් ගැටලු බොහොමයකට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා දී ඇති නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක නොකිරීම නිසා බව සඳහන් ය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2020 වර්ෂයේ දී විශේෂ වාර්තාවක් මගින් මෙම නිර්දේශ ඉදිරිපත්  කෙරිණ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල්. ජී. පුංචිහේවාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ, කොමිසම දුන් නිර්දේශ බොහොමයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර නොමැති බවයි.

එම නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරවල ගැටුම්, තදබදය ඇතුළු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා  වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පොලිස් දෙපාර්තමේන්තුවේ අධිකරණ අමාත්‍යාංශයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමග ඉකුත් 18 වැනිදා  දීර්ඝව සාකච්ඡා කළේය.

අධිකරණ දඬුවම්, නිවාස අඩස්සියේ තැබීම, ප්‍රජා විශෝධනය යන කාරණා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ, බන්ධනාගාරවල තදබදය ඇතුළු ගැටලු විසඳීම සඳහා දැනටමත් පියවර ගණනාවක් ගෙන ඇති බවයි. තදබදය වැළැක්වීම සඳහා අලු‍තින් බන්ධනාගාර පිහිටුවීම සහ දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර පුළුල් කිරීම යනාදී කටයුතු කරගෙන යන බවද බන්ධනාගාර ප්‍රධානීහු කොමිසමට දැනුම් දුන්හ.

බන්ධනාගාරවල ගැටුම්වලින් පසු මාරුකර යැවුණු ඇතැම් සිරකරුවන්ට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා කොමිසමට වැඩිදුරටත් දැනුම් දී ඇත.