සුජිත් හේවාජුලිගේ
එල්නිනෝ සමග මතුව ඇති වියළි කාලගුණය දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 කට දැඩිව බලපා ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පාර්ලිමේන්තුවේ දී පෙරේදා (21) පැවසීය.
වියළි කාලගුණය සමග මතුව ඇති ජල හිගයෙන් එම දිස්ත්‍රික්කවල පවුල් 25,563කට අයත් 81,605ක් පීඩාවට පත්ව සිටින බවද, ඔහු සඳහන් කළේය.
වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකළපුව, අම්පාර සහ මොනරාගල දැඩි නියගය පවතින එම දිස්ත්‍රික්ක හත වේ.
මින් පවුල් විසි දහසකට පමණ පානීය ජලය සපයාදීමට කටයුතු කර ඇතැයි පැවසු අමාත්‍යවරයා, එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළේය.
එල්නිනෝවලට මුහුණදීම සඳහා සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කර ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙම වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මස අග දක්වා පවතිනු ඇතැයි විශ්වාස කෙරෙන බවත්, පරිසර අමාත්‍යවරයා කීය.
ඊට පසු වර්ෂා කාලයක් බලාපොරොත්තු වන බව කී හෙතෙම වර්ෂා කාලය දෙසැම්බර් දක්වා පවතීවි යැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.
ඔක්තෝබර් නොවැම්බර් කාලයේ දෙවැනි අන්තර් මෝසම තුළ වෙනදාට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන හෙයින් ගොවීන්ට අවශ්‍ය කරන දැනුවත් කිරීම් පටන් ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව වගා කටයුතු ආරම්භ කිරීමේ ඉල්ලීම කර ඇති බවද ඔහු කීය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මෙසේද කීය.
“ලබන වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් නියඟ තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. වර්ෂාව අධික කාලවලදී ජලය එක් රැස් කරගෙන ඊට මුහුණදීම සඳහා කටයුතු කරනවා. ජලාශවල ජලය අඩුකර සූදානම් කර තියාගන්නවා. වියළි කාලගුණය පවතින අවස්ථාවේ දී වැව් ප්‍රතිසංස්කරණය කරනවා. රජය මේවා අත්හැරලා දාල නෑ. සියලු දෙනාම ඒ ගැන සාකච්ඡා කරන එක හොඳයි. අපි මේ සම්බන්ධයෙන් හොඳ සාකච්ඡාවක් හදාගමු. අපට මේ තත්ත්වයට සාමූහිකව මුහුණ දෙන්න සිදුවෙනවා. එල්නිනෝ විපත් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම කරන්න හොඳ නෑ. එලනිනෝ විතරක් නෙවෙයි අපිට බලපාන්නේ. තවත් සංසිද්ධි එක්ක එකතු වෙලා තමයි බලපාන්නේ.ඉන්දියන් සාගරයේ ඩයිපෝල තත්ත්වය අපිට සුභවාදී ලෙස බලපා තිබෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd