උපුල් වික්‍රමසිංහ
පැසිෆික් සාගරයේ සක්‍රිය වී ඇති එල්නිනෝ තත්ත්වයට සමගාමීව ඉන්දියානු සාගර කලාපයේ ද්විධ්‍රැව තත්ත්වය පසුගිය සතියේ සිට ධනාත්මක වී ඇති බැවින්, එළැඹෙන ඔක්තෝබර් - නොවැම්බර් කාලයේ දෙවැනි අන්තර් මෝසමෙන් ලැබෙන වර්ෂාපතනය දැඩි වී එයින් මහ කන්නයේ වගාවට අහිතකර බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
දෙවැනි අන්තර් මෝසමෙන් අධික වැසි ලැබුණු පසු ඊසානදිග මෝසම් වර්ෂාව ලැබෙන බව ද එහිදී වියළි කලාපයට සුළු ගංවතුර තත්ත්වයක් පවා ඇතිවීමේ අවදානමක් ඇති බව ද කී මහාචාර්යවරයා, මේ සන්දර්භය හමුවේ එළැඹෙන මහ කන්නය පරෙස්සමෙන් කළ යුතු බව ද කීවේය.
වර්ෂාව ලැබීමට පෙර ඔක්තෝබර් වන විට පවතින ජලයෙන් යම් ප්‍රමාණයකට හෝ වී වගාව ආරම්භ කළ හැකි වුවහොත් ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීමට හැකියාවක් ඇතත්, වියළි කලාපයේ ජලාශවල ජල මට්ටම මේ වෙද්දී ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන නිසා අතරමගදී වර්ෂාව නොලැබුණහොත් කලින් වගා කටයුතු ආරම්භ කිරීම අසීරු විය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
හොඳින් කල්පනාකාරීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව වී වගා කාලය තීරණය කළ යුතු බව කී මහාචාර්යවරයා, පවතින වියළි කාලගුණය හමුවේ බඩඉරිඟු බෝගය වී වගා කරන භූමිවල වගා කරන්නේ නම් ඒ සඳහා හොඳින් ජලවහනය වන කුඹුරු තෝරා ගත යුතු බව ද සිහිපත් කළේය.
වගා කිරීමට භූමිය තෝරා ගැනීමේදී බෝග සමඟ සසඳමින් නිවැරදිව ඒ කටයුතු කළ යුතු බව පෙන්වා දෙන කෘෂි විශේෂඥයා, පවතින වියළි කාලගුණය හමුවේ අතරමැදි කන්නයේ මුං ඇට වැනි ජලය වැඩි වශයෙන් අවශ්‍ය නොවන බෝග වගා කිරීමට රජය පෙලඹී ඇතත්, දැඩි වියළි කාලගුණික තත්ත්ව යටතේ මුං බෝගයටත් බලපෑම් එල්ල විය හැකි බව සඳහන් කළේය.
එල්නිනෝ තත්ත්වයක් අවම වශයෙන් වසරක කාලයක්වත් බලපැවැත්විය හැකි බැවින්, දැන් උද්ගතව ඇති එල්නිනෝ තත්ත්වය මීළඟ යල කන්නයටත් බලපෑ හැකි බවත්, ඒ අනුව ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේත් ඇතැම් විට අප්‍රේල් මාසයේත් දැඩි වියළි කාලගුණික තත්ත්වයක් උද්ගත විය හැකි බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd