වෛද්‍ය චින්තක, පියා, මව සහ සොහොයුරිය

 

  • අම්මගෙයි තාත්තාගෙයි හදවත් නතර වුණේ එකම වෙලාවේ

 වසර දෙකක් වැනි කෙටි කාලයක් පුරා කොරෝනා අපගේ ජීවිතවලට ලබාදුන් වේදනාව සුළුපටු නැත. දිනකට සිය දහස් ගණනින් ජීවිත කොරෝනාවට බිලිවෙද්දී රෝහල් සහ මෝචරි ඉදිරිපිට තාමත් දකින අමිහිරි දසුන වන්නේ වේදනාව පමණක් ගුලිකර ගත් මිනිසුන් දහස් ගණනින් නගන විලාපය සහ රෝහල් ඇඳන් මත හුස්ම යදින මිනිසුන්ගේ වේදනාව පමණි.   


කොරෝනා අපට උරුම කරදුන් කඳුළු කතා අස්සේ වේදනාත්මක හද සසල කරවන පුවතක් මීට දින කිහිපයකට ඉහතදී වාර්තා වූයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂ කොරෝනා මධ්‍යස්ථානයෙනි. ඒ කොවිඩ් රෝගීන් දහස් ගණනින් බේරාගන්නට දිවා රෑ වෙහෙසී ජීවිතය කැප කළ වෛද්‍ය පුතුගේ දෑස් ඉදිරියේම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මව සහ පියා දෙදෙනාම අවසන් හුස්ම හෙළුෑ අනුවේදනීය පුවතයි.   


කොරෝනා ආසාධනය වීමෙන් මෙලෙස මිය ගියේ දිවුලපිටිය, බඩල්ගම, අකරන්ගහ පදිංචිව සිටි 76 හැවිරිදි ෂෙල්ටන් රත්නසූරිය සහ 66 හැවිරිදි පද්මිණී කුලරත්න යන මව්පියන් දෙපළය. මෙම මව්පියන් දෙපළගේ පුත්‍රයා වන වෛද්‍ය චින්තක රත්නසූරිය මහතා එම කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන අතර මෙම මව්පියන් දෙපළ අවසන් හුස්ම හෙළන්නේ තම පුතු යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදීමය.   
අනුරාධපුර මෙත්සිරි සෙවන විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරි චින්තක රත්නසූරිය මහතා ජීවිතේ දරුවකුට අත්විඳින්නට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරන ඒ අමිහිරි වේදනාබර අත්දැකීම ඉරිදා ලංකාදීප අප සමඟ පැවැසුයේ මෙලෙසය. 

 
“පසුගිය මාසේ මුල් සතියේ අම්මා මට කතා කරලා කිව්වා අක්කාගේ මහත්තයාට උණ කැස්ස වගේ රෝග ලක්ෂණ ටිකක් තියෙනවා කියලා. ඊට පස්සේ මම කොළඹ රාජකාරි වැඩකට යන අතරතුර ගෙදරට ගිහින් අක්කාගේ මහත්තයාට රැපිඩ් ඇන්ටිජන් එකක් කළා. එතනදී අක්කාගේ මහත්තයා පොසිටිව් වුණා. එයා රෝහල් ගත වෙන්න කැමැත්තක් නොතිබුණු නිසා නිවසේම ප්‍රතිකාරවලට යොමුවුණා. ඊට දින දෙකකට පස්සේ මගේ අක්කාටත් කොවිඩ් ආසාදනය වුණා. අක්කාට පොසිටිව් වෙලා දින දහයක් විතර යද්දී අම්මාටත් කැස්ස උණ වගේ තියෙනවා කියලා මට කතා කරලා කීවාම ඒ කියපු වෙලාවෙම මම වැඩ ඔක්කොම දාලා ගෙදර ගියා. අම්මාගේ රැපිඩ් ඇන්ටිජන් එකක් කළාම ඒකෙන් අම්මා කොවිඩ් ආසාදිතයි කියලා තහවුරු වුණා.   


ඒ වෙනකොට තාත්තටත් කැස්ස ගතිය ටිකක් තිබුණා. තාත්තාට ඒ වෙනකොට කොවිඩ් ආසාදනය වෙලා නොතිබුණත් අම්මවයි තාත්තවයි දෙන්නම මා සේවය කරන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කළා. දින තුනක් යද්දී තාත්තටත් පොසිටිව් වුණා. අම්මටයි, තාත්තටයි දෙන්නටම පසුගිය දහතුන්වෙනිදා ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. දෙන්නම වැක්සීන් එක අරගෙන තිබුණේ. රෝහලට එක්ක එනකොට දෙන්නටම කිසිම අමාරුවක් තිබුණේ නැහැ. අමාරු නැති නිසා රෝහලට එන්න වැඩිය කැමැති වුණෙත් නැහැ. මගේ බල කිරීමට තමයි රෝහලට එක්කගෙන ආවේ.   


අම්මාට දින දෙකක් යද්දී කැස්ස වැඩි වුණා. ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙන්න ගත්තා. අම්මාගේ පෙනහළු දෙකම අක්‍රිය වේගන ආවා. තාත්තාටත් කැස්ස වැඩිවෙලා ටිකෙන් ටික අමාරු වුණා. තාත්තට වඩා අම්මට ගොඩක් අමාරුයි කියලා මට තේරුණා. ඒ අතරේ තාත්තාගෙ වකුගඩු අක්‍රිය වෙන්න පටන් ගත්තා.   
රෝගය මොහොතින් මොහොත උත්සන්න වෙනකොට අම්මටයි තාත්තටයි දෙන්නවම දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන්න විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කළා.   


අම්මයි තාත්තයි එක්ක අන්තිමට මම කතා කළේ දැඩිසත්කාර ඒකකයේ මැෂින් එකට දාන්න කලින්. ඒ වෙලාවේ අම්මාට මම කිව්වා අම්මේ දින පහකට මම අම්මාව නිදි කරනවා එතකොට අම්මාට සනීපයි කියලා. එතකොටත් අම්මාට හුස්ම ගන්න අමාරුවෙන් හිටියේ. මම එහෙම කියලා වැන්දම මගේ ඔළුව අතගෑවා. ඊට දවස් දෙකකට පස්සේ තාත්තාටත් ඒ වගේම හුස්ම ගන්න අපහසුතා එක්ක මැෂින් එකට දාන්න වුණා. මම තාත්තටත් කිව්වා අම්මා දවස් පහකින් නැගිටිනවා. දැන් තාත්තවත් දවස් තුනකට නිදිකරවනවා කියලා හා හා ඒක හොඳයි මටත් දැන් මහන්සියි කියලා කිව්වා.   


සිහිය නැති කරන්න කලින් තාත්තටත් මම වඳින කොට කිව්වා එක එක්කෙනා කතා කරාවි කවුරු කතා කළත් යන්න එපා පුතා බලාගෙන ඉන්නවා තාත්තේ කියලා කිව්වාම “ඔයාව දාලා අම්මායි මායි කොහේ යන්නද කියලා මගේ ඔළුව අත ගෑවා. හරියට ඔක්තෝබර් 5 වැනිදා රෑ 10.15ට අම්මාගෙයි තාත්තාගෙයි එකපාරටම ප්‍රේෂර් එක බ්ලොක් වුණා. දෙන්නාගෙම ටික ටික ප්‍රේෂර් එක අඩු වෙනකොට විශේෂඥ වෛද්‍යවරුන් හැමකෙනාම ඒ වෙලාවේ කරන්න පුළුවන් හැම දේම කළා ගොඩගන්න. ඒත් අවසානයේ කොරෝනා ජය ගත්තා.   


මගේ ඇස් ඉස්සරහම අම්මාගෙයි තාත්තාගෙයි හුස්ම නතර වූයේ එකම වෙලාවට. ඒ හරියට පස්වෙනිදා රෑ 10.15ට. අම්මාට අමාරු වෙනකොට තාත්තාව හරි මට බේරගන්න පුළුවන් වේවි කියලා විශ්වාසයක් තිබුණා. අවසානයේ මම පරාද වුණා. දෙන්නාගෙම අවසන් හුස්ම පොද ගියාට පස්සේ මම ඒ දෙන්නටම වැඳලා ඔළුව අතගාලා අයි. සී. යූ. කාමරෙන් එළියට ආවා. මට ඒ මුහුණු දෙක දිහා බලාගෙන ඉන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. මම අවිවාහකයි. මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ අම්මායි තාත්තායි විතරයි. ඒ දෙන්නාගේ හුස්ම ගිය වෙලාවේ මට දැනුණේ මගේ අත් දෙකයි, කකුල් දෙකයි කපලා බිත්තියට හේත්තු කළා වගේ හැඟීමක්. මට දරාගන්න බැරි වේදනාවක් එක්ක මට මහා තනි කමක් දැණුනා. මම අදටත් රෑ වෙනවට කැමැති නැහැ. මොකද අම්මා හැමදාම මට රෑට කතා කරලා දවසේ විස්තර අහනවා. අම්මා කතා නොකරාම මට නින්ද යන්නේ නැහැ දුකයි. දැන් ඒ කෝල් එක එන්නේ නැහැ කියලා මතක් වෙනකොට පපුව හිරවෙනවා.   


බටහිර වෛද්‍ය විද්‍යාවේ වැඩ ඉවර වුණාමත් මම අම්මවයි තාත්තාවයි බේරාගන්න සටන අතැරියේ නැහැ. අන්තිම තත්ත්පරෙත් ඒ දෙන්නා ජීවත් වේවි කියලා හිතේ තිබුණු බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් අතහැරියත් දරුවෙක් විදිහට අතාරින්න සූදානමක් තිබුණේ නැහැ. නොගිය පන්සලක්, දේවාලයක් නැහැ. භාරහාර වුණා. දාන දුන්නා. හොඳයි කියන දේශීය ඖෂධ තෙල් වර්ග පපුවේ ගෑවා. අම්මවයි, තාත්තවයි බේරගන්න මම නොකරපු දෙයක් නැහැ. අවසානයේ ලෝක ධර්මතාවය අනුව ඒ දෙන්නා පතාගෙන ආපු විදිහට ඒ ලෝකෙට ගියා.  


මොකද තාත්තා මිය යන්නට දින කිහිපයකට කලින් දවසක් තාත්තට ඉක්මනට සුව වුණොත් තාත්තට කලින් ගෙදර යන්න පුළුවන් කියලා කිව්වාම අම්මා නැතුව මම විතරක් ගෙදර ගිහින් මොකටද කියලා ඇහැව්වා. අම්මාට කලින් තාත්තාට සුව වුණත් අම්මා නැතුව ගෙදර යන්න බලාපොරොත්තුවක් තිබුණේම නැහැ.  
මගේ මේ අත් දෙකෙන් කොරෝනා ලෙඩ්ඩු දහස් ගණනක් බේරගෙන තිබුණත් මගේ රත්තරං අම්මවයි තාත්තවයි බේරගන්න බැරිව ගියා. ඒ වේදනාව එක්ක හැමදාම මම ජීවත් වේවි. පහුගිය මාසවල දවසකට රෝගීන් දෙතුන් දෙනා එක දවසේ මිය යනකොට විශේෂයෙන් රෑට ලෙඩ්ඩු හතර පහ මැරෙනකොට ඒ දුක තුනී කරගන්න මම රෑ එකට දෙකට හරි අම්මාට කතා කරනවා. නැත්නම් හිතවත් ස්වාමින් වහන්සේ නමකට කතා කරනවා. බුදු දහම අනුව මම ජීවිතේ ගොඩක් දේවල් දියුණු කරගන්න කෙනෙක්. අම්මාගෙයි තාත්තාගෙයි නික්ම යාමත් මම දරාගත්තේ බුදු දහම අනුව. මට කෑ ගහලා අඬන්න තිබුණා. ඒත් මම ඇඬුවා කියලා ඒ ජීවිත දෙක ම​ට නැවත ලැබෙන්නේ නැහැ. දරුවෙක් විදිහට වෛද්‍යවරයෙක් විදිහට මගේ අත් දෙකෙන් ඒ දෙන්නාට කරන්න පුළුවන් හැම දේම කරපු නිසා එක පැත්තකින් මට හිත හදාගන්න ඒක සැනසීමක් කියලා දැනෙනවා.   


වෛද්‍ය චින්තක මහතා වේදනාබරව පැවැසීය.   


රජරට විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සමත් වූ චින්තක මහතා සිය පශ්චාත් සීමාවාසික පුහුණුවද අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිමා කළද ගමත් අනුරාධපුර රෝහලත් හැරදා නොයන්නේ ඔහුට අකුරු කරන්නට මංපෙත් සෑදූ ඒ පරිසරයේ අහිංසක දුප්පත් ජනතාවට සේවය කිරීමේ දැඩි අදිටනිනි. මුදලට වඩා මනුසත් බව අගයකොට සැළකූ චින්තක මහතා අනුරාධපුර රෝහලේ මෙන්ම සිය උපන්ගම වන අකරන්ගහ ග්‍රාමයේ මිනිසුන්ගේද හදවත දිනාගත් මානවදයාවෙන් පිරිපුන් වෛද්‍යවරයෙකි.  


මගේ පවුලේ හිටියේ අක්කයි මමයි, අම්මයි තාත්තයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ව්‍යාපාර කටයුතුත් ඒ අතර තියෙනවා. නමුත් මගේ අම්මාටයි තාත්තටයි ඕනැ වුණේ මාව කොහොම හරි වෛද්‍යවරයෙක් කරන්න. මගේ අම්මයි තාත්තයි වැඩිපුරම සතුටු වුණේ මම වෛද්‍ය විද්‍යාලයට ගිය දවසේ. මම රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගෙන අනුරාධපුර රෝහලේ සීමාවාසික කාලය අවසන් කළත් මම ඒ අයගෙන් ඉගෙන ගත්ත නිසා ඒ මිනිස්සුන්ට සේවය කරන්න ඕන කියලා හිතුනා. අම්මා නිතරම කිව්වේ හැකි තරම් අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන්න කියලා.  


ඒ අතර ඔහු සිය වෘත්තියට එහා ගිය සමාජ සේවා කාර්යයන් තුළම ඇප කැප වී සේවය කළ අයෙකි. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොතිබුණු අනුරාධපුර ශික්ෂණ රෝහලට ගරා වැටී තිබුණු වකුගඩු ඒකකය කොවිඩ් රෝගීන්ට විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සියලු පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කළ දිනයේ පටන් චින්තක රත්නසූරිය වෛද්‍යතුමා සක්‍රිය දායකත්වය ලබාදෙමින් වෙහෙස මහන්සි වූ වෛද්‍යවරයෙකි.   


කොරෝනා රෝගීන් දවසින් දවස වැඩිවෙනකොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විශේෂඥ වෛද්‍ය කනිෂ්ක උත්පල සෙනවිරත්න මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමකගේ මූලිකත්වයෙන් කොවිඩ් මර්දන කමිටුවක් පත්කළා. රෝහල් අධ්‍යක්ෂතුමා මාව කොවිඩ් කමිටුවට පත්කළ දා ඉඳලා මේ කොවිඩ් මධ්‍යස්ථානය මාස කිහිපයක් ඇතුළත සාදා නිමවනතෙක් මට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දුන්නා. මේජර් ජනරාල් විකුම් ලියනගේ, ලුතිනන් කර්නල් චමල් මහේන්ද්‍ර යන අයගේ ඍජු දායකත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ඇඳන් 12ක් සහ අධි සත්කාර මධ්‍යස්ථානයක්, වෛරසවේදී රසායානාගාරයක් ඇතුළු ඇඳන් සියයකට අධික අංගසම්පූර්ණ කොවිඩ් මධ්‍යස්ථානයක් අපි හැදුවා. මාර්තු මාසේ ආරම්භ කරල අප්‍රේල් 26 වැනිදා වැඩ සියල්ලම අවසන් කළා. යැයි ඔහු පැවැසීය.  


කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව කොවිඩ් මධ්‍යස්ථානය පිළිසකර කිරීමේ වැඩ කටයුතුවලට දැඩි ලෙස වෙහෙස මහන්සි වෙමින් දායකත්වය දුන් ඔහුට නොසිතූ ලෙස තවත් අවාසනාවන්ත සිදුවීමක මුහුණ දීමට සිදුවන්නේ පසුගිය වසරේ මැයි දහවැනිදාය. ඒ චින්තක රත්නසූරිය වෛද්‍යතුමා පිළිකා රෝගයකට ගොදුරු වී ඇති අවාසනාවන්ත පුවතයි. එහෙත් කිසිම විටෙක ජීවිතේ ආපස්සට අඩිය නොතැබූ ඔහු ජීවිතයේ තවත් අලුත් ආරම්භයක් ලෙස ක්ෂණිකව ප්‍රතිකාරවලට යොමුවෙමින් ශල්‍යකර්මයන්ට මුහුණ දෙමින් කෙටි විවේකයකින් පසුව නැවතත් කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට දායක වන්නේ පිළිකා රෝගියෙක් ලෙස ජීවිත අවදානම සහ දෛවයට අභියෝග කරමිනි.  


කොවිඩ් මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතුවලට දායකවෙලා ඉන්න අතරතුර තමයි මගේ පිළිකා රෝගයේ ලක්ෂණ මතු වූයේ මුලින්ම වැඩ කර කර ඉන්නකොට වකුගඩු ගල්වලට එනවා වගේ දරුණු වේදනාවක් ආවා. පරීක්ෂණ කරද්දී පොඩි ගෙඩියක් තියෙනවා ඒක පිළිකාවක් දක්වා වර්ධනය වෙලා කියලා වෛද්‍යවරුන් කිව්වා. මැයි 10 තහවුරු වුණා මම පිළිකා රෝගියෙක් කියලා. මැයි 15 වෙනිදා කළුබෝවිල රෝහලේ ශල්‍යකර්මයක් කරලා සති තුනක් වගේ තමයි මම විවේක ගත්තේ. කොරෝනා රෝගීන්ව බේරගන්න මම යා යුතුයි කියන තැන මම හිටියා. පිළිකාවට ප්‍රතිකාර කරපු සියලු වෛද්‍යවරුන් කිව්වේ අවදානමක ඉන්න නිසා ඒක හිතේ තියාගෙන කල්පනාවෙන් වැඩ කරන්න කියලා. පිළිකා රෝගය නිසා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න යන්න මම කිසිම වෙලාවක බය වුණේ නැහැ. ඒ අවදානම එක්ක තවත් අවදානමක් ගනිද්දී අම්මායි තාත්තයි තමයි මට ශක්තිය දුන්නේ. අම්මා හැමදාම කිව්වේ බයවෙන්න එපා ඔයාට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒ දෙන්නා මාව මනසින් ගොඩක් ශක්තිමත් කළා.   
මේ වෙනකොට ඔබේ පිළිකා රෝගී තත්ත්වය කොහොමද මා වෛද්‍යතුමාගෙන් විමසීමි.  


මැයි මාසේ වෙනකම් පරීක්ෂණ කළා රිපෝට් සාමාන්‍යයි. දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියලා වෛද්‍යවරුන් කියලා තියෙනවා. ඉදිරියටත් ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මොකද අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ මට ඉස්සරහට ජීවත් වෙන්න ලොකු බලාපොරොත්තු නැහැ.   


විශේෂයෙන්ම කියන්න ඕනෑ කොරෝනා පටන් ගත් දවසේ ඉඳලා වෙනදා වගේ ගෙදර යන්න මට අම්මලා එක්ක ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු එක්ක කොළඹ රාජකාරි වැඩවලට යන අතරතුර ගෙදරට ගිහින් විනාඩි ගාණකට අම්මයි තාත්තයි බලනවා ඇරෙන්න එයාලා එක්ක ඉන්න මට අවස්ථාව ලැබුණෙම නැහැ. මේ කොරෝනා මධ්‍යස්ථානයෙන් සුව වෙලා යන රෝගීන් දෙන පින අයිති වෙන්න ඕනැ මගේ අම්මටයි තාත්තටයි. මොකද මේ වැඩ කටයුතු පටන් ගත්ත දා ඉඳලා මට ඔවුන් ගෙදර කිසිම වගකීමක් භාර දුන්නේ නැහැ.  


අම්මයි තාත්තයි වෙන අසනීපයක් හැදුනත් ඉවසගෙන මට හොරෙන් ගෙදර ළඟ වෛද්‍යවරයාට පෙන්නලා අමාරුම වුණොත් තමයි මට කියන්නේ. මොකද මම කොරෝනා මධ්‍යස්ථානයේ වැඩ ඔක්කොම දාලා ඒවි කියලා. ලෙඩක්වත් කියලා මට ඔළුවට බරක් දුන්නේ නැහැ. රැයක් දවාලක් නැතුව කොරෝනා ලෙඩ්ඩු එක්ක වැඩ කරද්දි මගේ මනසට සැනසීම දුන්නේ අම්මාගේ කෝල් එක.  


අම්මායි මායි හරියට ගහයි පොත්තයි වගේ. හැමදාම රාජකාරි වැඩකට කොළඹ යනව නම් තත්ත්පරයකට හරි ඒ දෙන්නගේ මූණ බලලා තමයි මම යන්නේ. අවුරුදු දෙකකින් අම්මයි තාත්තයි එක්ක කොහේවත් ගිහින් නැහැ. හරියට කතා බහ කරන්න ලැබිලා නැහැ. එයාලව සතුටු කරන්න ලැබිලා නැහැ. මේ කොරෝනා මධ්‍යස්ථානය හදන්න කොරෝනා රෝගීන්ටම ජීවිතේ කැප කරන්න ඒ දෙන්නා මට දීපු නිදහස උපරිමයි. ඒක කියන්න මට වචන නැහැ. මම අවිවාහක වීම සහ හදිසියේම පිළිකා රෝගයට ගොදුරුවීම ගැන අම්මාගේ හිතේ ලොකු දුකක් තිබුණා. මට එයාලාව සතුටු කරන්න බැරි වුණාම ඒ දෙන්නා හැකි සෑම අවස්ථාවකම මාව සතුටු කළා.  


ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 වැනිදා මගේ උපන් දිනය දවසේ කේක් එකක් අරගෙන මාව පුදුම කරවන්න කොරෝනා මධ්‍යස්ථානයට ආවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් 21 වැනිදා මගේ උපන් දිනය දවසේ අම්මයි තාත්තයි හිටියේ අයිසීයූ එක ඇතුළේ. ඒත් මට හොරෙන් මගේ මල්ලි කෙනකුට කෝල් කරලා කේක් ගෙනැල්ලා මාව පුදුම කළා. එදා අම්මා මුළු කාර්ය මණ්ඩලයටම කේක් බෙදුවා. ඒවා මතක් වෙද්දි සහ ඒ දවස්වලට ඉස්සරහට මම මුහුණ දෙන්නේ කොහොමද කියලා මට තාම හිතාගන්න බැහැ.   
මේ වෙලාවේ මගේ අම්මවයි තාත්තවයි රෝහලට රැගෙන ආ දවසේ ඉඳලා ආදරයෙන් ඇප උපස්ථාන කළ රෝහලේ සහායක කාර්ය මණ්ඩලයට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කරුණාතිලක, මහාචාර්ය සිසිර සිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය නන්දික හරිචන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය නාමලි විමලසිරි, විශේෂඥ වෛද්‍ය දිනේෂා පුංචිහේවා, වෛද්‍ය  ශෂික විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු සියලුම වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්, සමස්ත කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුරාධපුර නිසල අරණ සුසාන භූමියේදී අම්මාගෙයි තාත්තාගෙයි ආදාහන කටයුතු සෞඛ්‍ය නීති රීතිවලට අනුව සිදුකළා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අනුරාධපුර ශාඛාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය සහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අය ඒ කටයුතු සියල්ල කළා. මට මිනීපෙට්ටි දෙකවත් ගන්න ඒ අය ඉඩ දුන්නේ නැහැ. ඒ සියලුම දෙනා ගෞරවරයෙන් සිහිපත් කරනවා.   
ඒ වගේම ජනරාල් විකුම් ලියනගේ සහ ලුතිනන් කර්නල් චමල් මහේන්ද්‍ර ඇතුළු අකරංගහ අම්මලා පදිංචි වී සිටි ගමේ සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කරනවා. මම අවසන් කටයුතු නිම කරලා ගමට යනකොට සත් දවසට හාමුදුරුවරු 39 දෙනෙක් වැඩම කරවලා පිංකම කරන්න සියලුම දේ සූදානම් කරලා තිබුණා. එදා මුළු ගමම ඇඬුවා. අම්මාගෙයි තාත්තගෙයි වියෝව ඒ අඩුව මට විතරක් නෙමෙයි මුළු ගමටම දැනෙනවා. මගේ පිටිපස්සේ හිටපු එකම හයිය තමයි ඒ දෙන්නා. දෙමාපියන්ට පින් තකා රෝගීන්ව සුවපත් කිරීම තමයි මගේ ජීවිතේ එකම අරමුණ. මගේ හුස්ම ටික යනකම් මම රෝගීන් වෙනුවෙන් කැප වෙනවා. වේදනාව, බලාපොරොත්තුව, දුක, සතුට මේ සියල්ල සමඟ ඔහු සංවාදයට සමුදුනි.

 

 

නදීශා අතුකෝරළ