‘නුවර‘ කියූ විට රට පුරාම නුවරවල් තිබුණද, ඒ වචනය ඇසෙද්දීම අපේ මතකයට එන්නේ මහනුවරයි. ඒ සමඟම මතකයට එන්නේ මහනුවර දළදා පෙරහරයි. දළදා පෙරහර ආසන්න වෙද්දීම ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරක නිවේදන නිකුත් වන අතර, ඊට සමගාමීව කලඑළි බහින කෝන්තර කිහිපයක්ද තිබේ.

  • පෙරහරේ අලි ගෙන යාම එක්තරා සත්ව හිංසනයකි.
  • පෙරහරේ යන අලි පැටවුන් අල්ලා ගන්නේ මහා ඇතින්නියන් මරා දමමිනි.
  • අහිංසක අලි ඇතුන් අමානුෂික පීඩනයට ලක්කරන පෙරහර සංස්කෘතිය අහෝසි කිරීමට පෙළගැසෙන්න.

මේ මොනවා කීවත්, පෙරහර සරසන සද්දන්ත අලියකු හෝ කැලයේ සිටින අලියකු පිළිබඳ සමාජයේ ඇති මතවාදය වෙනස් එකකි. වනයේ සිටින අලියා වන අලියාද නැත්නම් වල් අලියාද යන්න වෙනම ප්‍රශ්නයකි. ඊටත් වඩා ඒ සතා වල් අලියා වූයේ අල්ලා ගන්නා විට ඇතින්නියන් දෙදෙනකු හෝ තුන්දෙනකු සමඟ සිටි නිසාද යන්න තවත් කාරණයකි. කෙසේ වෙතත්, පොදුවේ මේ හස්තියා ගැන ඇත්තේ මෙවැනි මතවාදයකි.

පෙරහර සුන්දර කරන හස්තියකු හෝ කැලයේ සිටින අලියකු දෙස බලන්නට විදේශිකයන් මෙරටට පැමිණීමෙන් ලැබෙන දැවැන්ත ඩොලර් ප්‍රමාණය දෙස බලන විට, මෙරටට විශාල සේවයක් කරන සත්ව කොට්ඨාසයක් ලෙස මොවුන් හැඳින්විය හැකිය.

පසුගිය සතියේ දිනක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ තොරතුරු සහ ඉගෙනුම් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය විසින් අලි-මිනිස් ගැටුම කළමනාකරණයට අදාළ යෝජනාවලියක් එළිදක්වන ලදී. එහිදී සඳහන් වූයේ මෙරට එක් අලියකුගේ වටිනාකම රුපියල් කෝටි 380 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 126ක්) පමණ වන බවයි. එමෙන්ම, කෙන්යාවේ වල් අලියකුගෙන් සංචාරක කර්මාන්තය හරහා වසරකට ඩොලර් මිලියන 1.5 කට ආසන්න මුදලක් උපයා ගන්නා බවද එහිදී අනාවරණය විය.

පෙරහරේ යන අලි

දැන් නැවතත් මහනුවර පෙරහර සමය ආරම්භ වී ඇති බැවින්, අලින් ගැන අඳෝනා කියන රාජ්‍ය නොවන සත්ව අවිහිංසාවාදීන් එළියට බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙවර නුවර පෙරහර පිළිබඳ නිකුත් කර ඇති නවතම නිවේදනයක දැක්වෙන්නේ, පෙරහරේ යන අලි ඇතුන් සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් 25 කට සීමා වී ඇති අතර එය පෙරහර පවත්වාගෙන යාමට තර්ජනයක් වී ඇති බවයි.

එහෙත් අලි ඇතුන්ගේ හිංසනය ගැන පාරම්බාන කණ්ඩායම්වලට, මෙම පෙරහර නැරඹීමට දශක ගණනාවක් පුරා ලංකාවට පැමිණෙන විදේශිකයන් සහ ඔවුන්ගෙන් ලැබෙන දැවැන්ත විදේශ විනිමය පිළිබඳ මතක් වූයේ නැත. පොදුවේ ගත් කල, මෙම පෙරහර සංස්කෘතිය තුළින් මෙරට විදේශ විනිමය සංචිතයට ලැබෙන පෝෂණය ගැන කිසිවකුගේ ඇගයීමක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක පවා, අලි ඇතුන් නිසා පෝෂණය වන පෙරහර සංස්කෘතියෙන් විදේශ විනිමය සංචිතවලට සිදුවන ප්‍රසාරණය ගැන කිසිදු ඇස්තමේන්තුවක් කර නැති බව පසුගිය බදාදා පැවැති ලෝක අලි දින රැස්වීමකදී දේශකයෙක් දත්ත සහිතව පෙන්වා දුන්නේය.

මෑත යුගයේදී හීලෑ අලි ඇතුන් සඳහා වනජීවී නීති බලපෑ යුතු නැතැයි මුලින්ම ඉල්ලීමක් කරන ලද්දේ විජයමුණි සොයිසා වනජීවී අමාත්‍යවරයකුව සිටි සමයේ කොලොන්නාවේ සුමංගල හිමියන් විසිනි. නීත්‍යානුකූල ලියාපදිංචිය සහ බලපත්‍ර නැති අලි වනජීවී භාරයට ගැනීමට විරෝධය පළ කරමින් වනජීවී අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ. සමස්ත ලංකා හීලෑ අලි ඇතුන්ගේ සංගමය සහ භික්ෂූන් වහන්සේලා ඇතුළු අලි ඇතුන් 18 දෙනකු එම උද්ඝෝෂණයට සහභාගී වී සිටි අතර, ලංකාවේ හීලෑ අලින් 130 ක් සිටියද ධාතු කරඬුව වැඩම කරවීම සඳහා සිටින්නේ ඇතුන් 30 ක් පමණක් බව සුමංගල හිමියෝ එහිදී සඳහන් කළහ. එම සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, කැලයෙන් ඇල්ලීම තහනම් නම් පිටරටින් හෝ අලින් ගෙන්වා දෙන ලෙස උන්වහන්සේ එවකට අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ලංකාව යනු අමුතුම රටකි. අත්අඩංගුවට ගන්නා ගංජා ආයුර්වේද ප්‍රයෝජනය සඳහා නිකුත් නොකර ගිනි තබා විනාශ කරනු ලබයි. ඒ වෙනුවට ආයුර්වේද දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගංජා ඉන්දියාවෙන් ආනයනය කරන්නේ කෝටි ගණනින් මුදල් වියදම් කරමිනි. ලංකාවේ අලින් සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම ප්‍රතිපත්තියකි. ප්‍රශ්නය වී ඇත්තේ, මෙම පෙරහර සංස්කෘතිය නිසා ලංකාවට ලැබෙන ඩොලර් කෝටි ගණනක විදේශ විනිමය ගැන කිසිවකුගේ අවධානය යොමු නොවීමයි.

හීලෑ අලි

කලකට ඉහතදී, අත්අඩංගුවට ගන්නා අලි ඇතුන් ආපසු කැලයට මුදා හැරීමට නොහැකි හෙයින්, ඔවුන්ව පාරම්පරික හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංසදය වෙත ලබාදෙන ලෙස එම සංගමය එවකට සංචාරක හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් සංගමය කියා සිටියේ, තම සාමාජිකයන් කිසිදු අයුරකින් නීති විරෝධී හෝ සදාචාර විරෝධී ලෙස අලි පැටවුන් ඇල්ලීමේ යෙදී නොමැති බවයි. එලෙසම අලි වෙදකම, අලි භාෂාව, අලි ඇල්ලීමේ පැරණි ක්‍රමවේද වැනි පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවලට දායාද කිරීම මෙම ඉල්ලීමේ මූලික අරමුණ බවද සංසදය පෙන්වා දුන්නේය.

අලි භාරකාරත්වය ලබාදීමේදී එම පුද්ගලයා පරම්පරා දෙකක සිට පැමිණෙන හිමිකරුවකුදැයි සොයා බැලිය යුතු බවත්, දැනට අලියකු සිටින අයට නැවත අලින් ලබා නොදීමට පියවර ගත යුතු බවත් එම ලිපියේ සඳහන් විය. එමෙන්ම, පින්නවල වසර 6-7 ක් තිස්සේ එකතැන බඳින ලද දඩබ්බර අලින් තමන්ට භාර දුන්නොත්, පෞරාණික දැනුම යොදා උන් හීලෑ කර සමාජයට වැඩදායී ලෙස යෙදවීමේ හැකියාව පවතින බවද එම ලිපියෙන් අවධාරණය කර තිබුණි.

එදා හීලෑ අලි ඇතුන්ගේ සංගමය කළ ඉල්ලීම අදටත් බීරි අලින්ට වීණා වැයීමක් වී ඇත. එදා එම අලින් හීලෑ අලි සංචිතයට එක් වූයේ නම්, මෙරටට පැමිණෙන සංචාරකයන්ට අලි වෙදකම, අලි භාෂාව, අලි ඇල්ලීමේ පැරණි ක්‍රම ආදිය පිළිබඳ දැනුම ලබාදීමෙන් මහ භාණ්ඩාගාරයට ඩොලර් මිලියන ගණනක් එකතු කර ගැනීමට ඉඩ තිබුණි.

නුවර පෙරහර සමයේදී අලි හිංසාව ගැන කතා කරන කණ්ඩායම්වලට එරෙහිව, හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මාගල්කන්දේ සුදත්ත හිමියන් අදහස් එදා දක්වා තිබුණේ මෙසේය.

එවකට විෂය භාර අමාත්‍යවරයා සමඟ කොළඹදී පැවැති සාකච්ඡාවකින් පසු නිසි විසඳුම් නොලැබුණු බැවින්, දිවයිනේ පැවැත්වෙන කිසිදු පෙරහරකට අලි ඇතුන් සම්බන්ධ නොකිරීමේ දැඩි තීරණයකට එළඹි බව සුදත්ත හිමියෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, ”ලොකු කුඩා භේදයකින් තොරව ලංකාවේ සියලු‍ම අලි ඇතුන් ලියාපදිංචි කිරීම, ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකර මයික්‍රෝ චිප් ලබාදීම ඇතුළු විධිමත් ක්‍රියාමාර්ග මඟින් මෙයට විසඳුම් සෙවිය හැකියි. එහෙත් ඇතැම් ඇමතිවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන මෙය හිඟන්නාගේ තුවාලය වගේ ඇදගෙන යන්න හදනවා. සත්ව අවිහිංසා සංවිධාන යැයි කියාගන්නා ඒවට ඩොලර් ලක්ෂ ගණන් ලැබෙනවා. උත්සාහ කරන්නේ අපේ සංස්කෘතිය විනාශ කරන්නයි.

අපි යෝජනා කළ යම් යම් කාරණාවලට එකඟතාව පළ වුවත්, ඊට පටහැනිව කටයුතු සිදුවන නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ දැඩි තීරණය ගන්න සිදුවුණා.

විහාරස්ථානවලට, අලි ඇතුන්ට හා අලි බාස්වරුන්ට කරන මේ කෙනෙහිලිකම් අපි දැඩිව ප්‍රතික්ෂේප කරනවා. කටයුතු මෙසේ සිදුවුවහොත් ඉදිරියේදී දළදා පෙරහරටත් අලින් සම්බන්ධ කරන්නේ නැහැ කියන තීරණය ගන්න සිදුවේවි.”‍ යැයි ප්‍රකාශ කළහ.

එහෙත් අදටත් පෙරහර පැවැත්වීමේදී මෙම අලි ප්‍රශ්නය එලෙසම පවතී. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන එකඟතාවයන්ට පැමිණීමට නීතිඥ සංගමයට සාකච්ඡා වාර ලබා දුන්නද, හීලෑ අලි ඇතුන් හිමියන්ට අගමැති හෝ ජනාධිපති හමු වීමට අවස්ථාවක් දුන් බවට මෙතෙක් වාර්තා වී නැත.

කැලෑ අලි බලන්නම එන සංචාරකයෝ

මෙරටට සංචාරකයන් පැමිණීමේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ කැලෑ ආශ්‍රිත අලි ඇතුන් නැරඹීම සහ මහනුවර දළදා පෙරහර වැනි සංස්කෘතික උත්සවවල ගමන් ගන්නා අලි ඇතුන් නැරඹීමයි. ඇත්තෙන්ම අපේ පෙරහර සංස්කෘතියේ ප්‍රධාන සාධකය අලි ඇතුන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ජර්මන් ජාතික යුවළක් අඛණ්ඩව වසර තිහක් ලංකාවට පැමිණීම නිමිත්තෙන් කලකට ඉහතදී මෙරට උත්සවයක් පවත්වන ලදී. ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වූයේ පෙරහරවල ගමන් ගන්නා අලින් සහ කැලයේ වෙසෙන දරුණු ගණයේ අලින් නැරඹීමයි. මහනුවර පෙරහරේ ගමන් ගන්නා අලින්ගේ සුන්දරත්වයෙන් වශී වූ මේ යුවළ, තම ජර්මන් මිතුරන්ද කැඳවාගෙන ආවේ නුවර පෙරහරේ අලින් දැකබලා ගැනීමටයි. සංචාරක සඟරාවක මේ යුවළ ගැන මෙවැනි සටහනක් පළ වී තිබුණි.

”අපි ලෝකයේ බොහෝ රටවල සංචාරය කර තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව තරම් සුන්දර රටක් ලොව වෙන කොහේවත් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ තමයි අපි ලෝකයේ දැකපු සුන්දරම මුහුදු වෙරළ. ශ්‍රී ලාංකිකයන් හරිම මිත්‍රශීලීයි. ඔවුන්ගේ මුහුණේ නිතරම රැඳී තියෙන අව්‍යාජ සිනහවටත් අපි හරිම කැමතියි”‍ යැයි වසර 31 ක් තිස්සේ නොකඩවා නිවාඩුව ගත කිරීමට ලංකාවට පැමිණෙන එම ජර්මන් යුවළ පවසති. ලෝකයේ ලස්සනම අලින් දැකගැනීමට ලංකාවට පැමිණිය යුතු බවත්, තමන්ගේ ගමනේ ප්‍රධාන අරමුණ නුවර පෙරහරේ යන අලින් දැකබලා ගැනීම බවත් ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

ජර්මන් ජාතික අර්නස්ට් සහ මරියානා නමැති මෙම යුවළ ශ්‍රී ලංකාවට පැමිණි විට වැඩිපුර කාලයක් ගත කරන්නේ උඩවලව කැලයේය. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් වැඩිදෙනකුගේ අරමුණ අලි ඇතුන් නැරඹීමයි. ලෝකයේ වෙසෙන අලි විශේෂ අතුරින් වඩාත් දැකුම්කළු මෙන්ම පරිණාමයෙන් උසස්ම සත්වයා ලෙස සැලකෙන්නේ ආසියානු අලියායි.

උඩවලවේදී සුලභ දසුනක් වන අලි කෙළිසෙල්ලම් අපූර්ව අන්දමින් දැකගත හැකි ස්ථානයකි, උඩවලව ජලාශයේ එක් කොනක පිහිටි සුළං කපොල්ල. තරමක තැන්නක් වන එම ප්‍රදේශය තණ ගොමුවකින් වැසී ඇත. නිතර ජලය පිරි වගුරු පෙදෙසක් වන මෙහි අලි ඇතුන් දිය කෙළියේ යෙදෙනු දැකගත හැකිය. ඇත් පන්තියේ නායක ඇත් රජු පෙරටු කොටගෙන එන අලි සමූහය මෙන්ම තුන්පත් රෑන කෙළිදෙලෙන් පසුවන මෙම ස්ථානය, දෙස බලමින් දැහැන් ගත වීමටද කදිමය. දුර්ලභ වනසතුන් වන වලසා, හම්බාවා, හෝතම්බුවා, කබල්ලෑවා ආදී සතුන්ටද උඩවලව සෙවන සදන බව එම විදේශීය යුවළ පවසා ඇත.

ආර්ථිකයට ලැබෙන දායකත්වය

පෙරහර සංස්කෘතිය නැරඹීමට එන සංචාරකයන් ගැන ඇත්තේ ලිඛිත ඉතිහාසයකි. ඉතිහාසය හාරා අවුස්සද්දී පෙනී යන්නේ 1936 දී ජාතීන්ගේ සංගමය විසින් පැය විසිහතරකට වඩා තම රටින් පිටත ජීවත්වන පුද්ගලයා ‘සංචාරකයා‘ (Tourist) ලෙස නිර්වචනය කළ බවයි.

එමෙන්ම විලියම් එෆ්. තියාබෝල්ඩ් විසින් සම්පාදිත, සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ගේ දැඩි අවධානයට ලක්වූ ‘Global Tourism’ කෘතියේ සඳහන් වන්නේ 1946 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වීමත් සමඟ ‘Tourism’ යන වචනයේ අර්ථය තවදුරටත් පැහැදිලි කළ බවයි.

19 වැනි සියවසේ මැද භාගයේදී, එනම් 1958 දී ඇමරිකානු බෝයිං සමාගම විසින් බෝයිං 707 ජෙට් යානා මගී ප්‍රවාහනයට යෙදවීමත් සමඟ ‘Tourism ‘ යන්න ජනප්‍රිය විනෝදාංශයක් බවට පත් විය. මෙරට පෙරහරේ අලින් ගැන නිරීක්ෂණය කිරීමේදී, පෙරහර සංස්කෘතිය තුළ අලියා හා ඇතා පිළිබඳ විවිධ ආර්ථික විග්‍රහයන් පර්යේෂණ වාර්තාවල පළ වී ඇත. පෙරහර කාලයට පමණක් එළියට එන අලි විරෝධීන්ගේ අවධානයට ඒවා ලක් නොවීම කණගාටුවට කරුණකි. එහි ඇත්තේ මෙවැනි සටහනකි:

සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් ප්‍රධාන ආර්ථික උපායමාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තයට අවධානය යොමු කරන්නේ, ආර්ථිකයට ලැබෙන සුවිශේෂී දායකත්වය නිසාය. එම දායකත්වය ප්‍රධාන වශයෙන් කොටස් පහකින් පෙන්වා දිය හැකිය:

  • විදේශ විනිමය ගෙන ඒම
  • රැකියා උත්පාදනය
  • ආර්ථික උත්තේජනය
  • ප්‍රාදේශීය සංවර්ධනය
  • රජයට ආදායම් ලැබීම

සංචාරක කර්මාන්තය හරහා වෙනත් කර්මාන්තයකට වඩා වැඩි ආර්ථික වාසි අත්වන බව පැහැදිලි වී ඇත. එහිදී ලංකාව වැනි රටකට වඩාත් වටිනාකමකින් යුතු සත්වයා වී ඇත්තේ පෙරහර ආශ්‍රිත අලි ඇතුන් සහ වනයේ සැරිසරන සුන්දර අලි ඇතුන්ය.

අලි ඇතුන් සහිත පෙරහරට විරුද්ධ වන කණ්ඩායම් පවා ලංකාවේ සිටින අලි ඇතුන්ගේ කුල දහය වන උපෝසථ, ඡද්දන්ත, ගන්ධ, මංගල, හේම, මංගල, පණ්ඩර, පිංගල, ගංගෙයිය, තම්බ, කාලාවක ආදිය දන්නේදැයි ප්‍රශ්නයකි. එහි අවසාන කුලය කාලාවකය. කාලාවක ගජ කුලයේ හස්තියකු ගැන කියැවෙන කවියකින් ලිපිය අවසන් කරමි.

  • “රකුස් දඬුරු ලෙසට පවතී කිසිත් ගත ඉස්තුලක් නැති වෙති
  • දෙයස් ඉල්පී දෙකම මුලවල කොන්ද පස්සා ඝාත පා පැති
  • සොඬක් කොට වෙති වාල ලොම් නැති රෑට නාදය වැරෙන් සොලවති
  • ආල නැත කන කෑම කිසිවක් චලන වේ රඹ පතසේ ලෙල දෙති”

මහින්ද රණවීර