යාල වනෝද්‍යානයේ සුදු පාලකයා වූ එංගල් බ්‍රේක්ගේ මිණිපිරිය ඇයයි  

 

සුදු කොණ්ඩය, කොටට කපලා බැලූ බැල්මටම ලන්සි නෝනා කෙනෙක් වාගෙමයි .....! ඒත් තිස්සමහාරාමේ කොහේද ලන්සි නෝනලා?? ලන්සි නෝනලා ඉන්නේ ඉතිං වැඩිපුරම කොළඹ රටේ නොවේ දැයි මීට වසර දෙකකට උඩදී හරියටම තිස්සමහාරාම තිස්ස වැව් බැම්ම උඩදී කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන් පිරිසක්, වැව් බැම්ම මාර්ගයේ ඉතා කඩිසරව ඔබ මොබ ඇවිදගෙන යන කාන්තාව දිහා බලමින් පවසන්නට වූහ.   


ඇය අතෙහි බරටම බඩු පිරවූ මල්ලක්ද අනෙක් අතෙහි දවටනයක බහාලූ, ටොෆි, සිගරට්, රටකජු ආදිය ගෙන යමින් වන්දනාකරුවන්ට අලෙවි කරමින් සිටියාය. 

 
ඒත් එහි සිටි කිසිවකු හෝ ඇය කවුරුන්දැයි දැන සිටියේ නැත. එහෙත් ‘ලන්සි’ නෝනා කෙනෙකු යැයි පැවැසූ සමහර වන්දනාකරුවන්ට අනුමාන උත්තරයක් ලැබෙනුයේ එදා ඒ වෙළෙඳාම් කරමින් ඇවිදගෙන ගියේ ලෝරා එංගල්බ්‍රේක් සුදු ආච්චි බවට තහවුරු වීමෙනි.   


ඔව්, සැබැවින්ම ඒ ලෝරා මේරි එංගල්බ්‍රේක් මෙනවියයි. ලෝරා අපේ කථාවේ නිමිත්ත බවට පත්වනුයේ යාල ප්‍රථම භාරකරු ලෙස රාජකාරිය දේවකාරියක් ලෙසටම ඉටුකළ යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රථම භාරකරු වූ දකුණු අප්‍රිකානු බ්‍රෝහියර් ජාතික හෙන්රි වෑන් එංගල්බ්‍රේක්ගේ අවසන් මිණිපිරිය ලෙසට ලෝරා මේරි පත්වන්නීය.   


හෙන්රි වෑන් එංගල්බ්‍රේක්ගේ පුතු හැරී එංගල් බ්‍රේක්ගේ දියණියක වශයෙන් ලෝරා මේරි 1949-07-10 දින මෙලොව එළිය ලැබුවාය.   


ලෝරාගේ මව ඇසිලින් නෝනා නම් වූවාය. තම මුත්තනුවන් වන හෙන්රි වෑන් එංගල්බ්‍රේක් යාල වනෝද්‍යානයේ ප්‍රථම භාරකරුවා ලෙසට එවකට සිටි ආණ්ඩුකාර හෙන්රි බ්ලේක් විසින් පත් කරලන්නට වූ අතර, 1922 මාර්තු 25 දින හෙන්රි වෑන් එංගල්බ්‍රේක් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ එකම පුතු ලෙස සඳහන්ව ඇති හැරී එංගල්බ්‍රේක් හට යාල වනෝද්‍යානයේ වන සත්ව ආරක්ෂක නිලයෙහි නිලධාරියෙකු වශයෙන් සේවය කරලන්නට අවස්ථාව ලැබ තිබුණි. 

 
හැරී එංගල්බ්‍රේක් වන සත්ව ආරක්ෂක නිලධාරියෙකු ලෙසට සේවය කරද්දි එවකට විවිධ වනෝද්‍යාන ප්‍රදේශවල තම සේවාව සිදු කිරීමට සිදුවූ අවස්ථා රාශියකි. 

 
ඇසිලින්නෝනා මියයෑමෙන් අනතුරුව හැරී එංගල්බ්‍රේක් කුඩා ලෝරා දැරිය ද රැගෙන අනුරාධපුර ප්‍රදේශයේ පවා රාජකාරිවලට ගිය බව පැවසේ.   

 


එම අවස්ථාවේදී ලෝරා අනුරාධපුරයේ කොන්වන්ට් මඩමක කාලය ගත කළ බවත් එහිදී තම පියාණන්ට යවන ලද තැපැල් පතක විස්තර අසා ඇති අයුරු වසර 60ක් පැරැණි තැපැල්පතකින්ද හමුවී තිබේ.   
එම කාලය තුළ හැරී එංගල්බ්‍රේක් තමන් හා මිත්‍ර වූ කුසුමා නමැති කාන්තාවක සමඟ පෙමින් බැඳි සිසිලියා නමැති දියණියක්ද ලද බව පැවසේ. හැරී එංගල්බ්‍රේක් රාජ්‍ය සේවාවට සමුදී තිස්සමහාරාම ප්‍රදේශයේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ ටියුෂන් පන්ති පවත්වා ඇත. මේ නිසා ඔහුගේ අවසාන කාලය හැරී මාස්ටර් ලෙස ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ වීය.   


තම පියාගේ අවසාන කාලය වෙන විට ලෝරා මේරි මෙනවියද ලස්සන රූමත් තැනැත්තියක බවට භද්‍ර යෞවනයත් සමඟ පත්වී සිටියාය. තම පියාණන්ට පිහිට වෙමින් කුදුමහත් කටයුතු කරමින් 1970 දී තිස්සමහාරාම ටිකිරිවැවගොඩාන ප්‍රදේශයට පැමිණි අතර ලෝරා මේරි පසුගිය මාර්තු 12දා මියයනතෙක්ම එම කුඩා නිවසෙහි කල්ගත කළාය.   


මියයන තුරුම අවිවාහකව දිවිය ගත කළ ලෝරා මේරිගේ පියා හැරී මාස්ටර් 1976 වර්ෂයේ මියයෑමෙන් අනතුරුව ලෝරා තවත් අසරණ තත්ත්වයට පත්වූවාය. තම පියාණන්ගේ රාජ්‍ය සේවයේ කිසිදු විශ්‍රාම වැටුපක්වත් පාරිතෝෂිත දීමනාවක්වත් නොමැතිව ඇය ඉතාමත් අසරණ තත්ත්වයට පත්වූවාය.   
උපතින්ම රෝමානු කතෝලික භක්තිවන්තියක් වූ ලෝරා ඉඩ ලද හැම දිනකම හම්බන්තොට රෝමානු කතෝලික පල්ලියට ගොස් දෙවියන්ට යාඥා කළාය. ඇය ඉතාමත් භක්තිවන්ත කාන්තාවකි. බොහෝ විට ඇයගේ ගෙළෙහි කුරුසිය සමඟ රිදී මාලයක්ද තිබුණි.   


ලෝරා නිරතුරුව තිස්සමහාරාම ගම් ප්‍රදේශ පුරා ඇවිද ගියේ තම හිතමිත්‍රාදීන්ගේ නිවෙසත් කරාය. ඒ හැම දෙනෙක්ම ඇයට කෑමට ආහාරපාන ඇඳුම් මිල මුදල් හැකි පමණ දුන් අතර ගමේ කවුරුත් ලෝරාට ආදරය කළහ. ලෝරාත් සෑම දෙනෙකුටම හැකි ලෙස උදව් උපකාර කර ඒ අයගේ හිත් දිනාගත්තාය.   
හැරී මාස්ටර්ට වැළඳුණ උණ වමනය යෑම රෝග ඔහු මරණය කරා ගෙන ගිය බව ලෝරා තම පියා නැතිවීම සම්බන්ධව එකල ඉතාමත් හැඟුම්බරව පැවැසුවාය.   


ලෝරා කුඩා අවධියේ සිටම මෙම එංගල්බ්‍රේක් පරම්පරාවේ අතීත විස්තරයන් හොඳ හැටි දැනගෙන සිටියාය. එපමණක් නොව අතීත විස්තරයන් බොහෝම සවිස්තරාත්මකව ඇය එකිනෙකාට පැවැසීමට දක්ෂතාවක් දැක්වූවාය.   


මීට වසර දෙකකට පෙරදී තිස්සමහාරාම ප්‍රදේශයේ හිතවතුනගේ නිවෙස කරා ගොස් ඒ අයගෙන් ලැබෙනා සුළු සුළු දේවල් රසමසවුළුවලට ඇය ප්‍රියතාවක් දැක්වූවාය.   
ගමේ පුංචි දරු පැටවුන්ගේ ආදරණීය ‘සුදු ආච්චි’ ලෙසට ලෝරා මේ අතර ප්‍රසිද්ධ වූවාය. හැරී මාස්ටර්ගේ මරණයෙන් පසු හුදකලාවේ තනිව විසූ ලෝරාගේ නිවසේ රෑ ජාමේ වහලට ගල් ගසනා බවත් ජනේලවලින් එබිකම් කරනා බවත් යටි හිතේ වද දුන් කරුණු ද වූවාය. එහෙත් එළිය වැටීගෙන එන හිමිදිරියේ ඒ කථා රාත්‍රී කථා බවට පත්වී ගියේය.   


කිරිපිටි බීමටත්, බිස්කට් සහ කෙසෙල්ගෙඩි කෑමටත් ලෝරා බොහෝ ප්‍රිය කළාය. ඒත් ඒවා කෑමට කෝ මුදල්? ඒ පැනයට පිළිතුරු ලෝරා වෙනුවෙන් ලැබුණු සමෘද්ධි සහනාධාර රු. 1500/-ක මුදල වග කීවේය.   
ඒ සමෘද්ධි මුදල ලෝරාට මහමෙරක් විය. පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ඇස් දෙකම නොපෙනී ගිය ලෝරා තම නිවසේම හුදකලාවේ දිවි ගෙව්වාය.   
ගම වටා කරක් ගැසූ අතීතය නිමා විය. සුළු වෙළෙඳාම් කටයුතුද හමාර විය.   
ගිලන්ව ඔත්පල වූ ලෝරාව බලා කියා ගත්තේ අල්ලපු ගෙදර විනීතා මහත්මියයි. ඇයත් සමෘද්ධිලාභී එක්දරු මවකි. විනීතා, ලෝරා වෙනුවෙන් ලැබෙනා සමෘද්ධි සහනාධාරය ලබාගෙන තුන්වේලට ලෝරාට කෑමට කන්න ටික ලබා දුන්නාය. කිරිපිටි පෙව්වාය. ඒ හයිය නිසාදෝ ලෝරා මේරි මේ තාක් කාලයක දිවි ගෙවීමට සැලැස්වීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි. සමෘද්ධිය සහනාධාරය හදා දුන් සැමටත් පිං සිදුවන්නේය.   

 


ලෝරා කියන නමින් ප්‍රසිද්ධ වුවත් ලෝරා, ‘ලෝනා’ ලෙසට ඇයම ලිපි ලේඛනවල ලියා තිබීමත් එම නමෙහි තවත් පැතිකඩක් ඇති බවත් පැහැදිලි වේ.   
ජීවත්ව සිටියදී හොඳට කටකාර ලෙස සිංහල භාෂාව උච්චාරණය කිරීමට ලෝරාට හැකියාව තිබුණි.   
වේගවත්, උස් ගොරහැඩි කටහඬක් ලෝරා උත්පත්තියෙන්ම රැගෙන ඇවිත් තිබුණි.   
එයත් නිතරම සමාජයේ අඩුපාඩු, අසාධාරණකම් වෙනුවෙන්ම අවදිකරලන්නට ලෝරා සමත් වූවාය. ගැහැණියක වශයෙන් සමාජයේදී කොපමණ බාධා කම්කටොලු ආවත් පුදුම ආත්ම ශක්තියකින් ඒවා විඳ දරා ගැනීමට ලෝරා කටයුතු කළාය.   


මේ හැම දෙයකටම ලෝරා පන්නරය ගත්තේ සිය මුත්තණුවන් වන හෙන්රි වෑන් එංගල්බ්‍රේක් ගේ චරිතයයි.   
වරෙක ලෝරා සිය මුත්තා යාල පාලනය කරන අවධියේ සිදුවූ රසවත් කථාවක් මෙලෙස අපහට පැවැසුවාය.   
‘ඒ කාලේ යාල සත්තු බලන්න කියලා, ආපු සුපිරි පැලැන්තියේ තරුණ කොල්ලො, කෙල්ලෝ මැණික් ගඟ ළඟ ගල්තලාවල අශෝභනව හැසිරිලා තියෙනවා. මුත්තාට මේවා ආරංචිවෙලා එතනට ඇවිදින් අශීලාචාර ලෙස හැසිරුණු පුද්ගලයින් අල්ලා ගස් බැඳලා දිමි ගොටු දාලා හොඳ දඬුවමක් දුන්නාලු. එදා අන්න එහෙමයි මුත්තා යාලට ආදරය කළේ. යාල ඇවිල්ලා විනෝදයට සත්තු මරපු බල පුළුවන්කාරයින්ට මුත්තා නීතිය අකුරටම ක්‍රියාත්මක කළා ලු.   


ඒත් කේලාම් බොරුකාරයින්ගේ ගැටවලට හසුවෙලා එදා පාලකයෝ අවසන් කාලයේ එංගල් බ්‍රේක් මුත්තා නිකරුණේ සිරගත කරලා. අන්තිමේ ඔක්කොම නිර්දෝෂ වෙලා මුත්තා හිරෙන් එළියට එනකොට වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඉවරයි. ඒ දුකටම මුත්තා මෙලොවින් සමුගත්තා’.   
මේ විස්තර හරි අපූරුවට, කවුරුහරි අතීත කතාවක් වාගේ ඇහුවොත් ලෝරා සවිස්තරවම පවසනවා. මේ වාගේ එංගල්බ්‍රේක් පරපුර ගැන කථා කරන්න පුළුවන් වෙනත් කිසිම කෙනෙක් දැනට ඉතිරිව නැහැ. ඒක නිසා තමයි ලෝරා මේරි එංගල්බ්‍රේක් අපේ කථාවේ කථා නායිකාව වෙන්නේ.   
එහෙත් ඒ පරපුරේ යාල වික්‍රමයන් ගැන කියන්න තවත් කිසිම කෙනෙක් නැත්තේය. ඒ පරපුරට නෑකම් කියන අතළොස්සක් පිරිසක් තිස්සමහාරාම අවට ජීවත් වුවත් ලෝරා මේරිගෙන් දැනගත් ඒ කරුණු මේ අයට කීමට හැකියාවක්ද නැත්තේය.   


එය ලෝරා මේරි මෙනෙවියහටම අභිමානයක් වූවාය. විදේශීය සම්භවයක් ඇත්තාවූද ලාංකික කාන්තාවක ලෙස ඇයටම ආවේනික ගතිලක්ෂණ මඟින් ලෝරා සමාජයීය සලකුණක් තැබුවේ, වත් පොහොසත්කමින් නොවේ. එකතු කරගෙන හදවතේ රඳවාගත් මනුසත්කමේ පාඩම් මඟිනි. අඩසිය වසකට වැඩි කාලයක් මුළුල්ලේ තම පරපුර ගැන කියමින් මහත් අහිංසක උජාරුවක් ඇය ගෙනහැර පෑවාය.   
ඒ සෑම දෙයකටම ‘ගුඩ්බායි’ කියමින් මේ විදේශීය සම්භවයක් ඇති ලෝරා මේරි එංගල් බ්‍රේක් දිවි රඟමඬලින් සමුගෙන දෙව් මව් තුරුලේ සමාදානයේ පසුගියදා සැතපෙන්නට වූවාය.   
ඇය වෙනුවෙන් අවසන් කටයුතු සිදුකරන්නට මහසෙන්පුර සමෘද්ධි සංගමයේ නිලධාරීන් හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් වන ජී.එස්. සිංගප්පුලි මහතා සහ ශාන් නිම්රෝද් යන මහත්වරුනගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් සඳරුවන් මහතාගේද සම්බන්ධීකරණයෙන් සිදුකරලන්න යෙදුණි.

 

කතරගම විශේෂ 
රුක්මන් රත්නායක