0
සීදුවේ වයෝවෘද්ධ කාන්තාවගේ සිරුර බහාලන ලද ගමන් බෑගය
සීදුව මූකළංගමුව අංක 03/87 දරණ පියසමර නිවසේ හුදෙකලාව පදිංචිව සිටි 79 හැවිරිදි ඩී.එන්.ගර්ලි චන්ද්‍රානි ඝාතනය කර ඇයගේ සිරුර ගමන් බෑගයක සඟවා තැබූ බව කියන පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ සීදූව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
චන්ද්‍රානි ඝාතනය කර ඇය පැලඳ සිටි කරාබු ජෝඩුව සහ මංගල මුදුව පැහැරගෙන ගොස් තිබූ අතර, ඒවා රුපියල් අසූ දහසක මුදලකට උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබිය දී පොලිසිය සොයාගත්තේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මතය. ඒවා උකස් ගත් පුද්ගලයා ද සොරබඩු ළඟ තබාගත්තේ යැයි කියන චෝදනාව යටතේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
රන් කරාබු ජෝඩුව සහ රන් මුද්ද උකස්කර ලබාගත් මුදලින් කොටසක් වියදම් කර පංචායුධයක් සැකකරු විසින් මිල දී ගෙන එය ඔහුගේ දරුවාට පලඳවා තිබේ. දරුවාට පලඳවා තිබූ එම පංචායුදය ද පොලිස් භාරයට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර, තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බව පොලිස් පරීක්‍ෂණ වලින් අනාවරණය කරගෙන ඇත.
පොලිසිය පවසන ආකාරයට මොහු මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයාගැනීමේ අරමුණින් මෙම කාන්තාව ඝාතනය කර ඇය පැලඳ සිටි කරාබු ජෝඩුව සහ රන් මුද්ද පැහැරගෙන ගොස් තිබේ.මේ අපරාධය සිදුකිරීම සඳහා යන විටද මෙම සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව කියති.
ඔහු නිවාසවලට ගොස් එම නිවාස සහ වැසිකිළි පිරිසුදු කිරීමේ නිරතව සිටින තිස්නව හැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකි.බිරිඳ ඇඟලුම් කම්හලක සේවය කරන නිසා, කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට සීදුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිට ඇත.
වයෝවෘද්ධ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යන විටත් ඔහු බිරිඳ සහ දරුවා ද කැටුව එම කුලී නිවසෙන් පිටත්ව යාමට බඩුමුට්ටු සූදානම් කරමින් සිටින අයුරු පොලිස් කණ්ඩායමට දැක ගැනීමට හැකි විය.
“සර්ලා එන්න තව පොඩ්ඩක් පමාවුණා නම් මාව අල්ලනවා බොරු”යැයි පොලිස් කණ්ඩායම සමග එම සැකකාර පුද්ගලයා පවසා තිබෙන බව ද කියති.
“මම ඒ නෝනගේ ගෙදරට ගියේ වැසිකිළි පිරිසුදු කරන්න තියෙනවා දැයි” කියා අසාගෙනයි. කුඩු ගහන්න සල්ලි හොයා ගන්න ඕන නිසයි ඒ නෝන මරලා කරාබු ජෝඩුවයි මුද්දයි ගලවා ගත්තේ. කරාබු ජෝඩුවයි මුද්දයි ගලවා ගත්තාට පස්සේ නෝනගේ සිරුර ගමන් බෑගය තුළට එබුවා. ඊට පස්සේ මම පැනලා ගියා.ගෙදර සවිකර තිබුණු සී.සී.ටී.වී. කැමරාද ගලවාගෙන අරගෙන ගියා. ගෙදර දුරකථනයේ රැහැන් ද කපලා දැම්මා.” යැයි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇතැයි දැනගැනීමට ඇත.
“මම ඒ නෝනගේ ගෙදරට ගියේ වැසිකිළි පිරිසුදු කරන්න තියෙනවා දැයි” කියා අසාගෙනයි. කුඩු ගහන්න සල්ලි හොයා ගන්න ඕන නිසයි ඒ නෝන මරලා කරාඹු ජෝඩුවයි මුද්දයි ගලවා ගත්තේ. කරාඹු ජෝඩුවයි මුද්දයි ගලවා ගත්තාට පස්සේ නෝනගේ සිරුර ගමන් බෑගය තුළට එබුවා
වයෝවෘද්ධ කාන්තාවගේ නිවසේ සවිකර තිබිය දී සැකකාර පුද්ගලයා විසින් ගලවාගෙන ගිය සී.සී.ටී.වී. කැමරා ද ඔහු පදිංචිව සිටි කුලී නිවසේ සඟවා තිබිය දී සොයා ගනු ලැබුවේ සැකකරු ගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මතය.
ඝාතනයට ලක් වූ ගර්ලි චන්ද්‍රානි රුපියල් ලක්ෂ ගණනින් මුදල් පොලියට ලබාදීමේ නිරතව සිටින නිසා, ඒ හා සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත කිසිවකු විසින් ඇය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය මුලින්ම සැක පහළ කළේය.
චන්ද්‍රානිගේ 51හැවිරිදි පුතා ද පදිංචිව සිටියේ මවගේ නිවස ආසන්නයේ මය. ඔහු මේ සිදුවීම විස්තර කළේ මෙසේය.
“මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා.පසුගිය19වෙනිදා උදේ වැඩට යන්න යනකොට අම්මා ගේ ඉස්සරහ දත් මැද මැද ඉන්නවා මා දැක්කා.එදායින් පස්සේ මම අම්මව දැක්කෙම නැහැ. අම්මා තනියමයි ගෙදර ඉන්නේ.අම්ම ගෙන් මුදල් පොලියට ඉල්ලා ගත් ගැහැනු කෙනෙක් විසි වැනිදා ගේ ළඟට ඇවිල්ලා ගර්ලි අක්කේ කියා තුන් හතර පාරක් කතා කරනවා මට ඇසුණා. අම්මා එළියට ආවේ නැති නිසා ඒ ගෑනු කෙනා ආපසු යනවා මා දැක්කා. එදාම අම්මගේ නංගි මට කතා කරලා කිව්වා ගර්ටි ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ.පොඩ්ඩක් හොයා බලපන් පුතේ කියා.මම අම්මගේ ගෙදර ළඟට ගිහින් විපරම් කර බැලුවා. ගෙයි දොරක් ඇර දමා තිබෙනවා දුටුවා.මම මේ බව නැන්දාට දුරකථනයෙන් කතාකර දැනුම් දුන්නා. අම්මාට මොකක් හරි කරදරයක් වෙලාද කියා මට සිතුණා.අම්මා මා එක්ක තරහ නිසා මට විරුද්ධව බොරු පැමිණිලි කරන නිසා ප්‍රශ්න ඇතිවෙයි කියා සිතා මම ගේ ඇතුලට ගිහින් විපරම් කර බැලුවේ නැහැ.”

කාන්තාවගේ නිවස
“ඊට පස්සේ මම ග්‍රාම නිලධාරිනියට මේ ගැන දැනුම් දුන්නා ඇය ඇවිත් කිව්වා ගේ ඇතුළට ගිහින් බලන්න කියා.නමුත් මම ඊට කැමති වුණේ නැහැ.පස්සේ මම මේ ගැන පොලිසියට පැමිණිලි කළා.පොලිසියේ කණ්ඩායමක් ඇවිත් ගේ හැම තැනම චෙක් කළත් අම්මාව සොයා ගැනීමට නොහැකි වුණා.”
“අම්මගේ සෙරෙප්පු ජෝඩුවයි ගමන් බෑග් දෙකයි ගෙදර තිබෙන නිසා අම්මා කොහෙවත් ගිහින් නොමැති බව මට සිතුණා. මගේ සහෝදරයකුට ද අම්මා ගෙදර නොමැති බව පැවසුවා.පස්සේ ඒ සහෝදරයත් ආවා.අපි ගේ ඇතුළට ගිහින් විපරම් කර බැලුවා.එක් බෑග් එකක් ළගට යනකොට අමුතු දුගඳක් මට ආවා. ඒ වගේ ගඳක් එළියේ ඉද්දි ආවේ නැහැ .මීයෙක් මැරිලා කුණු වුණහම දැනෙන ගඳට සමාන ගඳක් මට දැනුණේ.මම ඒ බෑග් එක විවෘත කරනවාත් එක්කම අම්මගේ කකුල් දෙක දැක්කා.මම එළියට පැනලා දිව්වා.ඊට පස්සේ ඒ ගැන පොලිසියට පැමිණිලි කළා.”
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ගේ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයතිස්සගේ සහ මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිමල් පෙරේරාගේ උපදෙස් මත මීගමුව සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසිරිගේ මෙහෙයවීම යටතේ සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. වීරසිංහ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. කුමාර ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd