මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව ප්‍රදේශය ආශ්‍රිතව “මොළේ උණ” ලෙස ජනතාව අතර හඳුන්වන රෝග තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් මතුව තිබේ. ඒ අනුව දියතලාව මූලික රෝහලෙන් මේ වනවිට රෝගීන් 18 දෙනෙකු පමණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එසේම අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 10 දෙනකු රෝගයට ගොදුරුව  බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එක් අයකු මරණයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
 
මෙම රෝග තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ - උණ, දැඩි හිසරදය, වමනය, ශරීර දුර්වලතාව, ඇස් වෙහෙසීම සහ සමහර අවස්ථාවල සිහි විකල්වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් රෝහල්ගත කර ඇති බවයි.
 
විශේෂයෙන් පාසල් ළමුන් සහ තරුණ පිරිස් අතර මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද වාර්තා වේ. කෙසේ වෙතත් රෝගය පිළිබඳ නිශ්චිත තහවුරු කිරීම් සඳහා රුධිර සහ වෙනත් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
“මොළේ උණ” ලෙස සාමාන්‍ය ජනතාව අතර හඳුන්වන්නේ මෙනින්ජයිටිස් (Meningitis) නම් රෝග තත්ත්වයයි. මෙය මොළය සහ සුෂුම්නාව ආවරණය කරන “මෙනින්ජීස්” නම් පටලවල ඇතිවන ආසාදනයක් හෝ දැවිල්ලක් ලෙස වෛද්‍යවරු පැහැදිලි කරති.
 
මෙම රෝගය වෛරස්, බැක්ටීරියා හෝ කලාතුරකින් දිලීර ආසාදන හේතුවෙන් ඇති විය හැකියි. ඒ අතරින් බැක්ටීරියා මගින් ඇතිවන මෙනින්ජයිටිස් තත්ත්වය වඩාත් භයානක ලෙස සැලකෙයි.
 
“යම්කිසි ආසාධන තත්ත්වයක් කනෙහි, ඇති වූයේ නම් මොළයට විශබීජයක් ගිහින්" කියලා  සාමාන්‍ය ව්‍යවහාරයේ කියැවෙනවා. මොනයම් අවයවකින් හෝ රුධිර මාර්ගයකින් මොළයට විෂබීජයක් යන්නට පුළුවන්. මෙමගින් දරුවකුට මොළයේ උණ ඇතිවීමට පුළුවන්. මේ පිළිබඳ දෙමාපියන් ඉතා සැලකිලිමත් විය යුතු අතර, මෙය අවදානම් සහිත තත්ත්වයක්."
 
ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කවින්ද දයාසිරි “ඉරිදා ලංකාදීපය” ට මෙසේ පෑවසීය.
 
“මොළේ උණ” ලෙස හඳුන්වන මෙනින්ජයිටිස් (Meningitis) රෝගය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් වැලඳිය හැකි රෝගයකි. කෙසේ වෙතත් කුඩා දරුවන්, පාසල් වයසේ ළමුන්, තරුණයන් සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් වැඩි අවදානමක පසුවන බව වෛද්‍ය තොරතුරුවල සඳහන් වේ.
 
මොළේ උණ ලෙස හඳුන්වන මෙනින්ජයිටිස් (Meningitis) රෝගයේ ප්‍රධාන ලක්ෂණ දරුවන්ගේ වයස් කාණ්ඩය අනුව වෙනස් වේ. වයස අවුරුදු 3 - 4 අතර දරුවන්ගේ අධික හිසරදය, වමනය යාම, තද උණ ගතිය, මෙන්ම ආලෝකයට ඇස් කැක්කුමක් හෝ අපහසුතාවක් දැනීම දැකිය හැක. මීට අමතරව තද හිසරදය, බෙල්ල තදවීම හෝ බෙල්ල නවන්න අපහසු වීම, වමනය හෝ ඔක්කාරය අධික නිදිමත ගතිය,
 
ශරීර දුර්වලතාව දැකිය හැකිය. කුඩා ළදරුවන්ට තම වේදනාව පෑවසිය නොහැක. එවන් ළදරුවන් පිළිබඳව දෙමව්පියන් සැලකිලිමත් වීම ඉතා වෑදාගත් වේ. එවනි ළදරුවන් තුළින් අධික ලෙස හඬා සිටීම, කිරි බීම අඩුවීම, අසාමාන්‍ය නිදිමත ගතිය, අලුත උපන් ළදරුවෙක් උණ තත්ත්වය සමග කහවීමක් සිදුවූයේ නම්, ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ.
 
මොළේ උණ ලෙස හඳුන්වන මෙනින්ජයිටිස් රෝගය දැයි තහවුරු කර ගැනීම සඳහා රෝහලක දී වෛද්‍යවරුන් පරීක්ෂණ කිහිපයක් සිදුකරයි. රුධිර පරීක්ෂණ, CT Scan හෝ MRI වැනි මොළය ආශ්‍රිත ස්කෑන් පරීක්ෂණ, බැක්ටීරියා හඳුනා ගැනීම සඳහා Blood Culture පරීක්ෂණ, මෙන්ම 
 
සුෂුම්නාව ආශ්‍රිත දියරයක් ලබාගෙන පරීක්ෂා කිරීමක් ද සිදු කරයි. බොහෝ දෙනා මෙය "කොන්ද විදින පරික්ෂාව" ලෙස හඳුන්වයි. එය කිසි සේත්ම බිය විය යුතු පරීක්ෂාවක් නොවේ. මෙම පරීක්ෂණයේ දී මොළය සහ සුෂුම්නාව ආවරණය කරන පටල ආශ්‍රිත “CSF” නම් දියරයේ බැක්ටීරියා, වෛරස් හෝ වෙනත් ආසාදන සලකුණු තිබේදැයි පරීක්ෂා කරයි.
 
මොළේ උණ ලෙස හඳුන්වන මෙනින්ජයිටිස් (Meningitis) රෝගය ඇති කරන ඇතැම් බැක්ටීරියා සහ වෛරස්වලට එරෙහිව එන්නත් වර්ග තිබේ.
 
විශේෂයෙන් දරුවකු ඉපදීමත් සමග රෝහලෙන් ලබා දෙන BCG එන්නත මේ රෝගය වෑලක්වීමට ප්‍රබල එන්නතකි මහාචාර්ය කවින්ද දයාසිරි පවසනු ලබන්නේ, සියලුම මෙනින්ජයිටිස් තත්ත්වයන් එකම එන්නතකින් වැලැක්විය නොහැකි වුවත්, බහුලව රෝගය ඇති කරන බැක්ටීරියා කිහිපයකට එරෙහිව ආරක්ෂාව ලබාදෙන එන්නත් පවතින බවයි.
 
ඒ අතර, Hib (Haemophilus influenzae typeb) එන්නත, Pneumococcal එන්නත, Meningococcal එන්නත, හැඳින්විය හැක.
 
මෙම එන්නත් වලින් සමහරක් විශේෂ අවදානම් කණ්ඩායම්වල වැඩිහිටියන්ට පමණක් නිර්දේශ කරනු ලැබේ.
 
මොළේ උණ (Meningitis) සඳහා ප්‍රතිකාරයේ දී ප්‍රතිජිවක භාවිතය අනිවාර්ය වේ. රෝගය ඇති කරන බැක්ටීරියා ඉක්මනින් පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් සුදුසු ප්‍රතිජිවක තෝරා ගෙන ලබාදෙන අතර, එහි මාත්‍රාව රෝගියාගේ වයස, ශරීරබර, රෝගයේ තදබලකම සහ ආසාදනයේ ස්වභාවය අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිජිවක ප්‍රතිකාරය දින 14 සිට 21 දක්වා කාලයක් රෝහල් පරිසරය තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබාදීම සිදු වේ. 
 
මේ ආකාරයෙන් නිවැරදි මාත්‍රාවෙන් සහ නිසි කාල සීමාවක් පුරා ප්‍රතිකාර කිරීම මගින් රෝගය සාර්ථකව පාලනය කර ගත හැකි අතර, සංකූලතා අවම කර ගැනීමට ද හැකියාව ලැබේ.
 
රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර මොළේ උණ (Meningitis) රෝගයෙන් සුවව නිවසට පැමිණීමෙන් පසුවත් ශරීරය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට කාලයක් ගත විය හැක. එබැවින් නිවසේදී නිසි පරිස්සම් ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.
 
මෙහිදී ප්‍රමාණවත් විවේකය ලබාගැනීම, ශරීරයට සම්පූර්ණ සුවය සඳහා විවේකය අත්‍යවශ්‍යයි.
  • අධික වැඩ, මහන්සි වන ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම.
  • වෛද්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම, දෙන ලද ඖෂධ (ඇත්නම්) නියමිත වේලාවට ගැනීම.
  • සෞඛ්‍යමය ආහාර පුරුදු පෝෂ්‍යදායී ආහාර (පලතුරු, එළවළු, ප්‍රෝටීන්), ප්‍රමාණවත් ජලය පානය කිරීම.
  • අධික තෙල් සහ අහිතකර ආහාරවලින් වැළකීම, එකවරම බර වැඩ ආරම්භ නොකර ක්‍රමයෙන් ක්‍රියාකාරකම් වැඩි කිරීම.
  • ශරීරය දුර්වල නම් අධික ව්‍යායාමවලින් වළකින්න. 
  • මොළේ උණෙන් සුව වූ පසුවත් නිසි විවේකය, 
  • වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම සහ ශරීරයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ.
නිවැරදි පසු සත්කාරය මගින් සම්පූර්ණ සුවය ලබා ගැනීමට සහ දිගුකාලීන සංකූලතා වළක්වා ගැනීමට හැකියාව ලැබේ.
 
දිශානි ජයමාලි කරුණාරත්න