පුත්තලම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතරින් සුවිශේෂ ආර්ථික වැදගත් කමකින් යුත් ස්ථානයකි. එය විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් අපූරු නවැතුම් පොළකි. භුගෝලීය වශයෙන් ඉහළ වැදගත් නගරයක් වන පුත්තලම මුහුදින්, කලපුවෙන් හා සම්පත් රැසකින් පෝෂිත නගරයක් වීම තවත් විශේෂත්වයකි.
 
මෙවැනි නගරයක් ගෙවී ගිය දශකයකට ආසන්න කාලයේදී හදිසි ගංවතුර උවදුරකට මුහුණ දෙමින් සිටී. මහ වැස්සකින් පසු පැයකට අඩු කාලයකින් නගරය යටවී එහි දිවි ගෙවන පවුල් 18,000 කට ආසන්න සංඛ්‍යාවෙන් 50,000 කට වැඩි ජනගහනක් මෙයින් පීඩාවට පත්වෙති.
 
පුත්තලමේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 29 සිට 32 දක්වා ඉහළ මට්ටමක පවතින නමුත් පසුගිය කාලයේ එය 35 දක්වා ඉහළ ගියේය.
 
ඒ සමගම වැසි තත්ත්වය සලකා බලන කල ඊසාන දිග මෝසම් සුළං මගින් නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා වැසි ලැබීම සිදුවුවත් වසරේ වැඩි කාලයක් වියළි කාලගුණ තත්වයක් පවතින අතර වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍යයෙන් මිලි මීටර 1000ක් බව කාලගුණ වාර්තාවලින් පෙන්වා දෙයි. මේ වන විට එය බරපතළ වෙනස් වීමකට ලක්ව දේශගුණික විපර්යාස රැසකට මුහුණ දී විවිධ හැලහැප්පීම්වලට මුහුණ දී සිටී.
 
මෙලෙස විවිධ දේශගුණික විපර්යාස හේතුවෙන් නොසිතන මොහොතක කඩා හැලෙන මහ වැසි පුත්තලම ජන ජීවිතය අවුල් කර ඇත්තේ නගර වැසියන් අසරණ කරමිනි. දවසක් නොව පැයක් පුරා ඇද හැලෙන මහ වැස්සෙන් වුවද පුත්තලමේ රාජ්‍ය ආයතන,පාසැල්, ප්‍රධාන රෝහල, සේම නගර වැසියන්ගේ නිවාස ජලයෙන් යටවී යද්දී මාර්ග පද්ධතිය ගමනාගමනයට බාධා එල්ල වෙයි.
 
පසුගියදා ඇදහැළුණු වැස්සෙන් නගරයේ පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට අයත් පුත්තලම කාර්යාලයේ සිට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පුත්තලම මූලස්ථාන පොලිසිය, පුත්තලම මූලික රෝහල,පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හා හින්දු, ඇන්ඩෘ, ආනන්ද, වෙට්ටාලේ, සහිරා, පාතිමා, සයන්ස් ඇතුළු පාසැල් ජලයෙන් යටව තිබීම නිසා දින තුනක් පාසල් වසා දැමීමට බලධාරීන්ට සිදුවිය. මෙයට අමතරව නගරයෙහි පදිංචි මහජනතාව මුහුණ දුන් අභියෝගයද බරපතළය.
 
අධිරාජ්‍ය යුගයේ අවසන් වරට ශ්‍රී ලංකාව පාලනය කළ ඉංග්‍රීසින් විසින් පුත්තලම පාලනය කළ සමයේ ඇතිවූ ගංවතුර පාලනයට නිවැරදි ක්‍රමවේද අනුව නගරයට ගලා එන ජලය කලපුවට බැස යාම සඳහා කුඩා පොකුණු,තරමක් විශාල වැව් හා විශාල වැව් කීපයක් සකසා තිබුණු අතර ඉන් පසු ඇළ මාර්ග හරහා කලපුවට ජලය බැස යෑමේ නිවැරදි තාක්ෂණික ක්‍රියාවලියක් දියත් කර ඇති බවට සාක්ෂි පවතී.
වැසි ජලය නගරයෙන් කලපුවට බැස යන නිසි ක්‍රියාවලිය වනසා ඇත්තේ නගරයට වගකිව යුතු පිරිසක් වීම ඛේදජනකය.
 
 
ගංවතුර පාලනයට තිබූ සියලු‍ ක්‍රමවේද අහුරා නගරයේ අනවසර ඉදිකිරීම් කිරීමට පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරීන් හා නගරාධිපතිවරැන් කටයුතු කර ඇත. මෙහි බරපතළකම නම් කිසිම ලෙසකින් ඉදිකිරීම් නොකළ යුතු  ස්ථානවල ගොඩනැගිලි ඉදි කරන්නට හිටපු ප්‍රාදේශීය ලේකම්වරයකු හා නගරාධිපතිවරයකු කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට සමස්ත නගර වැසියන්ම පීඩාවට පත්වීමය.
ඉංග්‍රීසින් පුත්තලම පාලනය කරන සමයෙහි ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ ලු‍ණු ඇතුළු නිෂ්පාදනය තම අතට ගනිමින් කටයුතු කිරීමේදී පුත්තලමට ඇද හැළුණ මහ වැසි ඔවුන්ට බාධාවක් විය.
 
එය සැලකිල්ලට ගත් ඔවුන් පුත්තලම නගරය ජලයෙන් යටවීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. ඉංග්‍රීසින් පිටව යද්දී අපට ඉතිරි වූ ගංවතුර පාලන ක්‍රමවේද තුට්ටුවකට ගණන් නොගත් රාජ්‍ය නිලධාරීන් නීතිය පැත්තකට දමා කටයුතු කර ඇත.
 
පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයකු පුත්තලම නගරය පුරා අනවසර ඉදිකිරීම් සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දී තිබුණේ දශකයකට පෙරය.
 
ඒ සමගම පුත්තලම හිටපු ජනප්‍රිය නගරාධිපතිවරයකු නෙඩුම්කුලම් වැව දෙකට කඩා වැව් බැම්මකින් හරස් කර එහි ක්‍රීඩා පිටි හා යතුරුපැදි තරග සඳහා සකස් කර ඇත්තේ වැවක අරමුණවත් නොසිතමිනි.
 
මෙයට අමතරව නගරය මැද තැනින් තැන ගංවතුර පාලනයට ඉංග්‍රීසි ආණ්ඩු සමයේ සිට තිබූ මධ්‍යම ප්‍රමාණයේ අක්කරයකට වැඩි වපසරියකින් යුත් පොකුණුවලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට  වසා දමා ඇත්තේ ගං වතුර අවදානම වැඩි කරමිනි. නෙඩුම්කුලම් වැවේ වාන් ජලය හා නගරයෙහි අප ජලය බැස යාමට ආසියානු සංවර්ධන අරමුදලින් ක්‍රියාත්මක කළ මැලේරියා ඇළ නිසි ලෙස නඩත්තු නොකිරීමද මෙම ගංවතුර තත්වයට බලපෑවේය.
 
නගර වැසියන් බහුතරයක් නිවස ඉදිරිපිට කානු පද්ධති කැළි කසළ දමා අවහිර කර ගැනීම හේතුවෙන් ගං වතුර පාලනයක් සිදුනොවීම තවත් කරුණකි. සියල්ල අවසානයේ ප්‍රශ්න රැසක් මැද ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, ශ්‍රී ලංකා කැෆ්රි ජාතීන්ගෙන් සැදුම් ලත් ජනතාවක් පීඩාවට පත් ව ඇත.
 
 
නගරය පුරා ගං වතුර පාලනයටත් අපද්‍රව්‍ය බැහැරට යාමටත් කානු පද්ධතියක් නිසි ලෙස නොවීමද බරපතලම ගැටලුවකි. යම් ස්ථානවල මේ වන විට ඇති ගං වතුර පාලනය සඳහා වූ මැලේරියා ඇළ ද නිසි ලෙස නඩත්තු නොවීම හේතුවෙන් ජලය බැස යාමට බාධා වී ඇත.ජලය බැස යාමට නිසි කානු පද්ධති නැති,තිබූ ඒවා අවහිර කර ඇති, අලු‍ත් පද්ධති තවම ඉදි වෙන්නට සුදානමක් නැති, නගර බලධාරීන් තවමත් මැදිහත් වීමක් නැති පුත්තලමේ තිත්ත කතාව ජනතාවගේ හඬින් මෙසේ සටහන් විය.පුත්තලම ආනන්ද විද්‍යාල මාවතේ පදිංචි එම්.ශේහාන් මෙලෙස කීය.
 
“අවුරැද්දට දෙතුන් පාරක් අඩි කීපයක් ජලයෙන් යටවෙනවා. ආණ්ඩුව වන්දියක් දුන්නාට ඒ වන්දියෙන් අපට වෙන හානිය වළකා ගන්න බැහැ. ගලා ගෙන ජලයෙන් බෝවෙන ලෙඩ රෝගවලින් අපේ දරුවෝ අන්ත අසරණ වෙලා.වැස්සක් එද්දි අපි දරුවන්  ඈත ඥාතීන්ගේ නිවෙස්වලට යවනවා. දරුවෝ ගං වතුර නිසා බෝවන රෝග වලින් බේරාගන්න. මගේ ගේ ඉදිරිපිට එක කානුවක් නැහැ. ගලා ගෙන එන ජලය යන්න තැනක් නැහැ. කානු ඇළවල් නැති නිසා අපේ ගෙවල් වනසලා තමයි මේ ජලය දවසකට දෙකකට පස්සේ පහළට ගලා යන්නේ. ඒ නිසා අපි බලධාරීන්ට අපි කියන්නේ මේ දුක් අපිට තවත් විඳින්න බැහැ. අපේ නිවෙස්වල තිබු සියලු‍ දෑ මේ වන විට විනාශ වෙලා අපි අසරණ වෙලා නෙවේ නන්නත්තාර වෙලා.”
 
නිලන්ති මේනකා පෙරේරා දැඩි ආවේගයෙන් පැවසුවේ නගරයෙහි වැව් කිපයක් ගොඩ කර ඇති බවය.
“ මම මේ කතා කරන්නේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට. පුත්තලමේ ගං වතුර පාලනයක් නැහැ. තැනින් තැන තිබුණ වැව්, පොකුණු සියල්ලම ගොඩ කරලා ගෙවල් හදලා. පොල් හිටවලා. පුත්තලම මහ රෝහල ඉදිරිපිට තිබෙන බාලසූරිය පුද්ගලික රෝහලට පහළින් තිබුණ වැව සම්පූර්ණයෙන් වහලා දාලා. ඔහරිකුලම්, වගාකුලම් වාගේ අනිත් වැව් සියල්ල ගොඩ කරමින් ඇත්තේ නීති විරෝධී ලෙසයි. නිලධාරීන් පගාවට, හිතවත්කමට වැඩ කරනවා.”
 
අයන්ති මධුෂානිකා මෙසේ පැවසුවාය.
 
“අපේ කොට්ටේ මේට්ටේ ඉඳලා නිවෙස් තුළ තිබුණ විදුලි උපකරණ සියල්ල විනාශ වෙලා. අවුරුදු කීපයකට පාරක් නම් දරා ගන්න පුළුවන්. අවුරුද්දට තුන් හතර පාරක් වතුර දාපුහාම සේරම ඉවරයි. ගෙවල්වලට එන ජරාව යන්න සතියක් සුද්ද කරලාත් බැහැ.”
 
පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. එම්. ඉන්දික සිල්වාගේ අදහස මෙසේය.
 
“මගේ නිල නිවස හා රාජ්‍ය සේවකයන්ගේ සියලු‍ නිල නිවාස මේ ප්‍රශ්නයට ලක්වෙලා. නගර වැසියන් මේ තත්ත්වයෙන් මුදා ගන්නේ කොහොම ද. නගරයට ගලා එන මහ වැසි ජලය ක්‍රමවත් ලෙස කලපුවට යන්නේ කුමන ආකාරයෙන් ද. ඒ වාගේම නගරයේ පැරණි ගං වතුර පාලන ක්‍රමවේදයන්ට  සිදුවී ඇත්තේ කුමක්ද යන්න මේ දිනවල අපි ඉතාමත් ගැඹුරින් අධ්‍යානයක යෙදෙමින් සිටිනවා.ඒ වාගේම පුත්තලම නගරය බේරාගැනීමට ඉතාමත් කඩිනමින් ගත යුතු වැඩපිළිවෙළක් අපි මේ වෙද්දි සකසමින් තිබේනවා.ඒ සඳහා රාජ්‍ය ආයතන එහි ප්‍රධානීන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු ඒ සඳහා දායකත්වයක් දක්වන පිරිස ගැන සොයා බලනවා.මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ පුත්තලමේ මේ ගං වතුර තත්ත්වය තවත් දිස්ත්‍රික් ලේකම්වරයකුට බරක් වන්නට නොදී මගේ කාලයේදී අවසන් කිරීමටයි.”
පුත්තලම 
හිරාන් ප්‍රියංකර ජයසිංහ