‘කැලේට යන්න හොර පාරවල් ටිකක් හදාගෙන තියෙනවා. බය නැතිව වෑන් රියේ යන්න පුළුවන්. මඩ තිබ්බට එරෙන්නේ නෑ. ගස් පටවගෙන ට්‍රැක්ටර් ගිහින් පදම් වෙලා තියෙන්නේ.‘ කල්මඩු ප්‍රදේශයේ තරුණයකු පාර කියා දුන්නේ කල්මඩු වැව් රක්ෂිතයේ රූස්ස ගස් කපන ප්‍රදේශයට යෑම සඳහාය.

කොළඹ සිට කිලෝමීටර 333ක් පමණ ගිය විට උතුරු පළාතේ කිලිනොච්චිය හමු වෙයි. එතැන් සිට කිලෝමීටර 15ක් පමණ කැඩුණු තාර පාරේ ද, ඉන් පසු මඩ ගොහොරු සහ වළවල් සහිත පාරෙන් කිලෝමීටර 10ක් පමණ යද්දී කල්මඩු වැව් රක්ෂිතය හමුවෙයි.

ඉරණමඩු ජලාශය පසු කර හිතවත් මාධ්‍යවේදියකුගේ මග පෙන්වීම ඔස්සේ කල්මඩු වැව පැත්තට ගියත් එතැන් සිට රක්ෂිතයට යෑම සඳහා ඇති හොර පාර සොයා ගැනීමට තරමක් අපහසු විය. පාර අයිනේ සිටි තරුණයකුගේ (22) සහාය පැතීමට අපට සිදු විය. දෙමළ බස කතා කරන මාධ්‍යවේදියා එම තරුණයාට කළ ඇවිටිලි අනුව හොර පාර දිගේ කැලෑ කපන ස්ථානයට යෑමට පැමිණීමට ඔහු එකඟ විය.

එතැන් සිට තරුණයාගේ මඟ පෙන්වීම ඔස්සේ කිලෝමීටරයක් පමණ යද්දි තල්අතුවලින් වට කළ පොඩි කඩයකි. දකුණේ පොල්අතු මඩුවක් සේ ඒ මඩුව වට කරනවා සේම එහි වට කර තිබුණේ තල්අතුවලිනි.

‘‘මෙතනින් සැක කටයුතු වාහනයක් යද්දි කැලෑ කපන අයට තොරතුර යනවා. මේ කඩේ අය පණිවිඩේ දෙනවා.‘‘ කඩය පෙන්වමින් තරුණයා කීවේය.

එතැන් සිට තවත් කිලෝමීටර පහක් පමණ යද්දී හමු වන්නේ දුර්ග මාර්ගයකි. මඩ වගුරු , වළවල් ඔස්සේ ඇත්තේ අසීරු ගමනකි. ප්‍රදේශය හොඳින් හුරු පුරුදු තරුණයා මඩ තිබුණත් එරෙන ස්ථාන සහ එරෙන්නේ නැති ස්ථාන හොදින් දැන සිටියේය.

‘‘මේ පාර මිනිස්සු හදාගත්තු පාරක්. කැළේ පැත්තට යන්න තියෙන්නේ ගුවන් හමුදා කඳවුර පැත්තෙන්. එහෙන් ගස් කපාගෙන යද්දි අහුවෙන නිසා තමයි මේ පාර හදාගෙන තියෙන්නේ.‘‘ තරුණයා සඳහන් කළේය.  ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේ වැව් රක්ෂිතය තිබුණ ද දැව ජාවාරම්කරුවන් දැව ප්‍රවාහනයට පහසු නිසා එම මාර්ගය සකස් කරගෙන තිබිණි.  ට්‍රැක්ටර් ගිය ටයර් සලකුණු එහි හොඳින් දිස් විය.

එම දුෂ්කර මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර ගණනක් යද්දී කල්මඩු වැව හමුවෙයි. වැවේ ජල මට්ටම මදක් අඩුවී තිබිණි. වැව් ඉස්මත්තෙන් කැලේ අයිනට වන්නට තවත් ඇතුළට යෑමට මාර්ගය සකසා තිබිණි.

‘‘මේකේ අලි ඉන්නවා. හැබැයි දවල්ට නම් මේ පැත්තට එන්නේ නෑ.‘‘ මග පෙන්වමින් ගිය තරුණයා කීවේ අලි බෙටි පෙන්වමිනි.

වැව අයිනෙන් කැලෑව පැත්තට වන්නට තවත් කිලෝමීටර දෙක තුනක් ගොස් වාහනය අතරමග නැවැත්වූයේ හදිසියේ වර්ෂාවක් ඇද හැලුණොත් මඩ නිසා යළි ඒමට නොහැකි වන නිසාය. එතැන් සිට පයින් කිලෝ මීටරයක් පමණ යද්දී වැව අයිනේ ගව පට්ටියක් සමග යුවළක් සිටියහ.‘මේ අය හරක් ගෙනාපු අය. කැලෑ කපන්න ආපු අය නොවෙයි.‘ තරුණයා කීවේය.

තවත් කිලෝමීටරයක් පමණ කැළේ ඇතුලට යද්දී රූස්ස ගස් කපන ප්‍රදේශය හමු විය. තැනින් තැන කොටන් තිබුණු අතර සමහර ගස් මැෂින් ආධාරයෙන් බාගෙට කපා දමා තිබිණි. ඊට මීටර 700ක් පමණ ඈතින් ට්‍රැක්ටරයක් නවතා තිබුණු අතර ඒ ප්‍රදේශයේ කිහිප දෙනකු සිටිනා බව ඈතින් ඇසුණු සද්ද බද්ද වලින් තේරුණත් අනාරක්ෂිත නිසා එම ප්‍රදේශයට යෑමට නොහැකි විය.

‘‘මේ විදියට තව ඈතට ගස් කපලා දාලා. මේ පැත්තෙම ගස් පිරිලා තිබුණා. ඒත් දැන් නෑ. ඔක්කොම කපලා. උදේ ඉඳන් හවස් වෙනකම් ට්‍රැක්ටර්වලයි බට්ටන්ගෙනුයි කොට ගෙනියනවා. රෑටත් ගිනියනවා. පොලිසියේ සමහර අයත් මේවට උදව් කරනවා. අපි පොලිසියේ සමහර අයට තොරතුරු දුන්නට අල්ලන්නේ නෑ. එකපාරක් කෙනෙක් තොරතුරක් දීලා ගස් ජාවාරම්කාරයන්ට කියලා තිබුණා අහවලා තමයි තොරතුර දුන්නේ කියලා.‘‘ ගැමියෙක් කීවේය. ඔහුගේ හිතේ ඇති බිය සැක ඔහුගේ මුහුණෙනි හා කටින් මොනවට පැහැදිලි විය.

‘‘මේ ප්‍රදේශය තිබෙන්නේ නගරයට ගොඩක් දුරින්. ඉතා දුෂ්කර පාරවල්. මේ නිසා අපිට පණිවිඩ ලැබුණත් අපි යන විට ජාවාරම්කාරයො ගිහින්.‘‘ යැයි පොලිස් සාමාජිකයෙක් පැවසීය.

‘‘ජාවාරම්කාරයන් සමහර තැන් වල ලී මඩු දාගෙන තියෙනවා. කැලෙන් පන්නා ගන්නා කොට ඉක්මණින් ලීමඩුවලට බානවා. ඒ නිසා අපට මේ අත්අඩංගුවට ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා. නමුත් නිරන්තයෙන් අපි වැටලීම් කරනවා. මෑතකදිත් ලොරි කිහිපයක් අල්ලා ගත්තා.‘‘ යැයි පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කල්මඩු කැලයේ කපා දමා තිබූ ගස් අතර වැඩිපුරම තිබුණේ පලු ගස් සහ බුරුත ගස්ය. පොලිස් විශේෂ කාර්ය බළකායට ගුවන් හමුදාව ලබා දුන් තොරතුරක් අනුව පසුගිය දිනෙක කල්මඩු වැව් රක්ෂිතයේ වැටලීමක් කර කැලෑ කපමින් සිටි බව කියන අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.  කිලිනොච්චි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුබද්ධ පොලිස් ඒකකයක් විසින් ද පසුගිය දිනෙක වැටලීමක් කර සැකකරුවෝ පිරිසක් අල්ලා ගනු ලැබූහ.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන තොරතුරු අනුව කල්මඩු වැව් රක්ෂිතයේ ගස් කැපීමේ ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් සහ උතුරු පළාත නියෝජනය කරන දේශපාලකයකුගේ පිරිසකි. ව්‍යාපාරිකයන් පිරිස එක් පැත්තකින් ගස් කපද්දී දේශපාලකයාගේ පිරිස තව පැත්තකින් ගස් කපන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ කැලෑ හෙළි පෙහෙළි කිරීම් බොහෝමයක් සිදු වන බව පරිසරවේදීහු කියති.

001 002 003 004 005 006 007 008