(අංජුල මහික වීරරත්න)

මධ්‍යම පළාතේ පානීය ජල සාම්පල පරීක්ෂාවට කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කෙරිණි.

මෙම ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය  තවත් පුළුල් සහ විධිමත් කිරීමට පියවර ගනිමින් ඉදිරියේ දී  ආහාර සාම්පල් පරික්ෂා කිරීමට ද බලාපොරොත්තු වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

රජයේ මුල්‍ය දායකත්වය මත ස්ථාපිත මෙම විද්‍යාගාරය මගින් මධ්‍යම පළාත තුළ ඇති මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා යොමු කෙරෙන ජල සාම්පල පරීක්ෂාවට ලක් කොට ඒවා ජනතා පරිභෝජනයට සුදුසුදැයි පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.

මෙමගින් ජනතාව පරිභෝජනයට ගන්නා ජලය පිළිබඳව සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට උපකාරයක් වන අතර, ජනතාවගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමටත් ජලය හරහා පැතිරෙන වසංගත රෝග පාලනයටත් උපකාරී වේ.

මධ්‍යම පළාතට අදාළ ජල සාම්පල පරීක්ෂාව සඳහා ස්ථාපිත කරන ලද මෙම විද්‍යාගාරය මගින් ජනතාව බීමට ගන්නා ජලය පිළිබඳව සුරක්ෂිතතාවය තහවුරු කිරීමට හැකියාව ලැබෙන බව මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා කීය.