
(අංජුල මහික වීරරත්න)
විධිමත් හා ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
රටක් වශයෙන් අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස උදාකර ගැනීම සඳහා දියුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.
මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලුවාය.
විද්‍යාලයීය ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට ගුරුවරුන් ලබාදෙන දායකත්වය රජය අගය කරන බවයි.ගුරුවරුන්ගේ වෘත්තීය භාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය. පාසල් අතර පවතින යටිතල පහසුකම් අසමානතා ඉවත් කර සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීම රජයේ ඉලක්කය බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd