කුකුළන් කෙටවීම පුරාණ ලංකාවේ කී‍්‍රඩාවක්ව තිබූ බව කියති. එහෙත් අද වන විට කුකුළු පොරය ගැනෙන්නේ සත්ව හිංසාව යටතටය. කුකුළන් කෙටවෙන්නේ ද  සූදුවක් හැටියටය.


ඒ රුපියල් සියය දෙසීය වැනි මිල ගණන්වලට නොව රුපියල් දහස, දස දහස, ලක්ෂය -දෙක ඇතැම් විට වාහන, ඉඩකඩම් ආදී සම්පත් වල හිලවුවටය. 


මෙම අමානුෂික ක‍්‍රීඩාව නීතියෙන් කොතරම් තහනම් වුවද ගම් මට්ටමින් මෙන්ම නගර මට්ටමින් යන දෙකෙන්ම මිනිස්සු මෙහි රහසිගතව නිරත වෙති. පසුගිය දා ඉංගිරියට නුදුරු කිරිගල, කෝම්පේ, මාලිගාකන්ද ප‍්‍රදේශයේදී ඉංගිරිය පොලීසිය සහ හොරණ පොලීසිය ඒකාබද්ධව වැටලූවේ ද එවන් අමානුෂික පොර කුකුළු පිටියකි.    කෝම්පේ, මාලිගාකන්ද ප‍්‍රදේශයේ නිවසක ජයටම කෙරෙමින් පැවති මෙම පොර කුකුළු පිටියට පොලීසියෙන් පනින තුරුම ඒ ගැන කිසිවක් නොදැන සිටි පිරිස එක්වරම පොලිස් නිලධාරින්ගේ කඩාපාත්වීමෙන් තූෂ්නිම්භූතව හිස් ලූ ලූ අත දිවගියේ තමන්ට හිමි වාහන පවා එම ස්ථානයේ දමාය. එසේ පොලිස් භාරයට පත් වූ වාහන ගණන 19කි. ඒවා අතර, ත‍්‍රී රෝද රථ හතක්, යතුරුපැදි එකොළහක් සහ වෑන් රථයක් විය.


ගම් මට්ටමින් කළ ද මෙම ස්ථානයේ තිබී ඇති උණුසුම්කාරි බව පොලිස් භාරයට පත් වාහන ගණනින්ම ඔබට සිතාගත හැකිවනු ඇත.     පොර කුකුළාට ලක්ෂ ගණනින් මුදල් ඔට්ටු අල්ලනවා සේම, ඌට ඇති ඉල්ලූම ද ඒ හා සමානය. හොඳින් වැඩුණු ක‍්‍රීඩාවට අති දක්ෂ පොර කුකුළකුගේ මිල රුපියල් 50,000 ඉක්මවයි. ඇතැම් විට ලක්ෂ ගණන් වලින් අලෙවි වන පොර කුකුළන් ද ඇත. සාමාන්‍ය දක්ෂතාවක් ඇති, සාමාන්‍ය ප‍්‍රමාණයෙන් වැඩුණු පොර කුකුළකුගේ මිල වුව ද රුපියල් 15,000ත් - 20,000ත් අතර වේ.


මෙම වටිනාකම නිසාදෝ පොලීසිය වැටලීමේදී සමහර පුද්ගලයන් පැන දිවුවේ පොර කුකුළත් කිහිල්ලේ ගසාගෙනය. විශාල පිරිසක් පොලිස් ග‍්‍රහණයෙන් මිදුණ ද පුද්ගලයෝ විසිපස් දෙනෙක්  පොලිස් අත්අඩංගුවට පත්වූහ.  මුදල් ඔට්ටුවට ”බිල්ලට දීම” පිණිස රැුගෙන විත් තිබූ පොර කුකුළන් හත් දෙනෙක් ද පොලිසිය විසින් අල්ලාගෙන ඉංගිරිය පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබුණි.
මෙම වැටළීම පිළිබඳව නගරය පුරා ලැව්ගින්නක් සේ  එදින පැතිර ගිය ආරංචිය ඇසූ බොහෝ දෙනෙක් ඉංගිරිය පොලීසිය වෙත ඇදී ආවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝ වාහන තොගය දැකබලා ගැනීමට නොව පොලීසිය විසින් අල්ලාගන්නා ලද පොර කුකුළන් බලා ගැනීමටය. පොලිස් ස්ථානයේ තැනින් තැන ගස්වල බැඳ දමා තිබුණු මෙම පොර කුකුළන් කිසිවෙක් එකිනෙකාට ආසන්නව තැබීමට නොහැකි වූයේ ලද නිමේෂයක අවසරයේදී වුවද උන් එකාට එකා මාරාන්තික සටන්වලට පෙළඹුනු බැවිනි.  පෙනුමෙන් බොහෝ දුරට සාමාන්‍ය කුකුළකුට සමාන වුවද, පොර කුකුළාගේ පාදවල පොරකට්ට ලෙස හැඳින්වෙන උල බැගින් තිබේ. පොර කුකුළාට පමණක් මෙම උල ආවේණික නොමැති අතර, මොන වර්ගයක කුකුළෙක් වුවද තම ප‍්‍රතිවාදියාට පහර දීමට යොදා ගන්නේ මෙම පොරකටුවයි. එහෙත්් විශේෂත්වය වන්නේ මෙම උල නොව පොර කුකුළු හිමියන් මෙම පොරකටුවට පිත්තල විලි සවිකිරීමයි. සාමාන්‍ය කුකුළන්ට තම පොරකටුවට පිත්තල විලි සවිකර ගැනීමට වාසනාවක් නැති අතර, මෙම පිත්තල විල්ල මගින් ප‍්‍රතිවාදියාට එල්ල කරන පහරේ ‘සැර’ වැඩි වේ. මෙලෙස විලි සවිකිරීම වුවද සෑම පොර කුකුළකු සඳහාම නොකෙරෙන අතර, සටන් සඳහා කුකුළාගේ ඇති ප‍්‍රවීණත්වය මෙන්ම ඒ සඳහා ඇති පළපුරුද්ද ආදී කරුණු ගණනාවක් මත මෙම පිත්තල විල්ල සවිකිරීම රඳා පවතී.


ඇතැම් විට මෙම පොර කුකුළන් ක‍්‍රීඩාව සඳහා පුරුදු පුහුණු කිරීමට අවුරුදු ගණන් වුව ද ගතවේ. මෙසේ පුරුදු පුහුණු කළ හොඳ වර්ගයේ පොර කුකුළෙක් පළපුරුදු වෘත්තීමය ක‍්‍රීඩකයකුට ඇති සුදුසුකම් ද ඉක්මවන තරම් දක්ෂ වන අතර, එවන් අති දක්ෂ පොර කුකුළකුට ඇති ඉල්ලූම ද මනුෂ්‍ය ක‍්‍රීඩකයකුට ඇති ඉල්ලූම ද  අභිබවා තක්සේරු වන අවස්ථා ද නැත්තේම නොවේ.


පොර කුකුළු හිමියන් තම පොර කුකුළන්ට කොතරම් ආදරේද කිවහොත් ඇතැම් විට තම පවුලේ උදවියට පවා නොදෙන පෝෂ්‍යදායී කෑම වර්ගවලින් එම සත්ත්වයා පෝෂණය කරයි. බොහෝ විට මේ සඳහා මස් වර්ග යොදා ගන්නා අවස්ථා ද දක්නට ඇති අතර, මෙම පොර කටුවේ අයිතිය එය හිමි කුකුළාට තිබුණ ද, එහි වටිනාකම ඇත්තේ පොර කුකුළාගේ අයිතිකරුටය. එම පොර කටුව ඔවුන් විසින් කුකුළු තෙල් වර්ග යොදා සම්බාහනය කරනු ලබයි.


මෙසේ සැලකුම් ලබන සත්ත්වයා ක‍්‍රීඩාවෙන් ජය ගතහොත් ඌට ඉන් පසුව තවත් රජ සැලකිලි ලැබෙන අතර, නමුත් ක‍්‍රීඩාවෙන් පරාජය ලදහොත් ලබන ඉරණම නම් අතිශයින් කටුක සහගතය. 


කොතරම් තෙල් ගා සම්භාහනය කළත්, මොනතරම් පෝෂ්‍යදායී ආහාර කැව්වත් එම පොර කුකුළා ක‍්‍රීඩාවෙන් පැරදුණහොත් එම සත්ත්වයාගේ ඉරණම විසඳෙන්නේ මරණයෙන්මය. ක‍්‍රීඩාවේදී ඇතැම් විට සමහර කුකුළන් මැරී වැටෙන අතර, එසේ නොමැරෙන පරාජය ලත් කුකුළන්ව කුකුළු හිමියා බොහෝවිට මරාගෙන කයි. මෙසේ අසරණ සතුන් තම ස්වාමියාගේ මඩිය තර කිරීමේ වන්දිය වශයෙන් තම ජීවිතය පිදුවද, උන් තමන්ට ඇති වටිනාකම කිසිවිටෙක නොදන්නවා වන්නට ඇත. බොහෝ රටවල පොර කුකුළු පොර දෙවැනි වන්නේ අශ්ව රේස් වලට පමණි.


    මේ නිසා මෙම පොර සඳහා යොදා ගනු ලබන්නේ ඉතා හොඳින් පුරුදු පුහුණු කළ හොඳ නීරෝගී තත්ත්වයේ සිටිනා සවි ශක්තියෙන් අනූන කුකුළන් පමණි. මෙවන් කුකුලකු තම ස්වාමියා විසින් අවුරුදු දෙකක පමණ කාලයක් යනතෙක් හොඳින් පෝෂණය කරනු ලබන අතර, බොහෝවිට ඉන්පසුව එම සත්ත්වයා සටන් සඳහා සුදුස්සෙක් වේ. පිරිමි පාර්ශවයේ පොර කුකුළන් උප්පත්තියෙන්ම එකාට එකා නුරුස්නා කළහ කර ගැනීමටම පෙළඹන ලක්ෂණවලින් යුක්ත වන අතර, මුදල් ඔට්ටුවට යොදවනු නොලැබුණත් එකිනෙකාට ආසන්නයේ සිටියද එකාට එකා මරා ගැනීමේ ස්වභාවය මේ නිසා උන්ට සහජයෙන්ම උරුම වේ.


කෙතරම් අමානුෂීය ක‍්‍රීඩාවක් වුවද කුකුළු පොර නීතියෙන් අනුමත ක‍්‍රීඩාවක් බවට පත්ව ඇති රටවල්ද නැත්තේම නොවේ. ප‍්‍රංශයේ ඇතැම් ප‍්‍රදේශවල මෙම ක‍්‍රීඩාවට කිසිදු තහංචියක් නැත. නමුත් ලංකාවේ කිසිදු ප‍්‍රදේශයක නීත්‍යානුකූල අනුමැතියක් ඇතිව මෙම ක‍්‍රීඩාව කළ නොහැකිය. එම නිසා මිනිසුන් රහසිගතව මෙම ක‍්‍රීඩාවේ නිරත වන අතර, මෙසේ වැටලූ කිරිගල පොර කුකුළු පිටියද එවන් රහසිගත තිප්පොළකි. මෙහි විශේෂත්වය වූයේ එක් ස්ථානයකට පමණක් සීමා නොවී මෙම පොර කුකුළු පිටිය දිනෙන් දිනට අහඹු ලෙස තෝරාගත් ස්ථානයන්හි පැවැත්වීමයි. පොලිසියේ උකුසු ඇස මේ කෙරෙහි යොමුවීම වැළැක්වීමේ අරමුණින් මෙම උපක‍්‍රමය අනුගමනය කළද හොරණ පොලිසියේ විශේෂ කාර්යංශයේ සැරයන් 41131 වීරක්කොඩි සහ කොස්තාපල් 41123 කුමාර යන දෙදෙනාට ලැබුණු ඔත්තුවක් නිසා මෙම කුකුළු පිටිය තව දුරටත් රහසක් වශයෙන් රැකගැනීමට ඔවුන්ට නොහැකි විණි.


පොලිසියේ පිහිටෙන් දිවි රැකුණද ඇතැම් කුකුළන්ගේ ඇස් දෙකම ඒ මොහොත වනවිටත් අහිමිව තිබුණු අතර, ඔවුන්ගේ බෙල්ල ප‍්‍රදේශයෙන් රත් පැහැ රුධිරය වැගිරෙමින්  තිබුණි. ලේ රත් පැහැ වළවල් දෙකක් පමණක් ඇස් වෙනුවට ඉතිරිව උන් කුකුළන් පොලිස් ස්ථාන භූමියේ කෑ ගසමින් සිටිනු දැකීම අපට හද කකියවන සුළු දර්ශනයක්  වුවද, කුකුළන්ගේ අයිතිකරුවන් හට නම් එය කිසිදු ගාණකටවත් නැති වන්නට ඇත. ඇතැම් කුකුළන්ගේ ශරීරයේ විවිධ ස්ථානවල ලේ වැගිරෙන විශාල ප‍්‍රමාණයේ සිදුරු දක්නට ලැබුණේ සටනේ ප‍්‍රචණ්ඩත්වය විදහා දක්වමිනි.

 


ඉංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් මත ඉංගිරිය පොලිසිය යොදවන්නට යෙදුණු විශේෂ කණ්ඩායමකගේද  සහය ඇතුව හොරණ පොලිසිය විසින් මෙම වැටළීම කරන ලද අතර, පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත, සැරයන් 64297 විජේරත්න, කොස්තාපල්වරුන් වන 62405 තිස්ස, 42260 රංජිත්, 60502 සංජය, 73438 ජයන්ත යන පිරිස විසින් මෙම පොර කුකුළු පිටිය වටලනු ලැබූ අතර, මෙම ප‍්‍රදේශයේ මෙවන් දෙයක් ක‍්‍රියාත්මක වූ බව දැනගත් පසු ඇතැම් ප‍්‍රදේශවාසීහු විශ්මයට පත්වූහ. 


කෙසේ වෙතත් මෙම අමානුෂික සත්ත්ව බිලි පිිටිය වටලා අහිංසක සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම පිළිබඳව ඉංගිරිය සහ හොරණ පොලිස් ස්ථානයන්ට මහජනතාවගේ නොමඳ පැසසුම් හිමි වූ අතර, සිදුවූ කිසිවක් පිළිබඳව හාංකවිසියක තරම්වත් දැනීමක් නොතිබෙන අහිංසක සතුන් සත්දෙනා ඉංගිරිය පොලිස් ස්ථානය දෙවනත් වන්නට හඬලමින් තම ජවයේ ශක්ති ප‍්‍රමාණය පෙන්වමින් සිටිනු එහි පැමිණෙන අයට දැකගන්නට ලැබුණි.


පසුව මෙම සතුන් සමඟ සැකකරුවන් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී හොරණ වැඩබලන මහේස්ත‍්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය විසින් මෙම පොර කුකුළන් සත් දෙනා හොරණ කනන්විල පිහිටි රජයේ ආදර්ශ ගොවිපොළට මුදාහරින ලෙස නියම කළ අතර, පුද්ගලයන් විසිපස් දෙනාට එක් අයකුට රුපියල් 600 බැගින් දඩ මුදල් නියම කළාය. පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද වාහනද ඒවායේ අයිතිකරුවන් වෙත භාරදීමට වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය නියම කරන ලද අතර, එම ස්ථානයේ තිබී පොලිස් භාරයට පත් රුපියල් 17,000ක මුදලක්ද රාජසන්තක කරන ලෙස ඇය නියම කළාය.

 

සටහන / ඡායාරූප - ඉංගිරිය නිමාලි කහවල

 

වැටලීමට ගිය පොලිස් පිරිස

 

සූදුපොළේ තිබූ වාහනවලින් කොටසක්