වත්මන් සමාජය තුළ වැඩිහිටි ජනගහනය සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ කතිකාවත ඉතාමත් තදින් කරළියට පැමිණ තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2021 වසරේ සිට 2030 වසර දක්වා වූ දශකය "සුවබර වැඩිහිටි දිවියක් සඳහා වන දශකය" (Decade of Healthy Ageing) ලෙස නම් කර ඇත. මෙයට සමගාමීව ලෝකයේ විවිධ රටවල් තම රටවල වයස්ගත ප්‍රජාවගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නීති රීති යාවත්කාලීන කිරීමට පියවර ගනිමින් සිටී.

​මීට හේතුව වන්නේ මීට දශක කිහිපයකට පෙර සිටි වැඩිහිටියන්ගේ අවශ්‍යතාවලට වඩා, වර්තමානයේ වයස්ගත වන ප්‍රජාවගේ අවශ්‍යතා සහ සමාජ-ආර්ථික වටපිටාව මුළුමනින්ම වෙනස් වීමයි. ශ්‍රී ලංකාවේ නීතිමය ප්‍රතිපාදනවලට අනුව වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ඕනෑම පුද්ගලයෙකු වැඩිහිටියෙකු ලෙස සලකනු ලබයි.

ලංකාවේ වැඩිහිටි නීතිය සහ එහි පසුබිම

​ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් පාදක කරගෙන ඇත.

2002 වැඩිහිටියන් සඳහා වන මැඩ්රිඩ් ජාත්‍යන්තර ක්‍රියාකාරී සැලැස්ම පදනම් කර ගැනීම.

2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම.

​2000 වසරේ මැයි මාසයේදී සම්මත කරන ලද මෙම පනත, ලංකාවේ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පවතින ප්‍රධානතම නීතිමය ලියවිල්ලයි. පනතේ 2 වැනි වගන්තියට අනුව "වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව" සහ ජාතික මහලේකම් කාර්යාලය පිහිටුවනු ලැබීය.

​මෙම සභාවේ මූලිකම කාර්යය වන්නේ වැඩිහිටි ප්‍රජාවගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට ආත්මගෞරවයකින් හා ස්වාධීනත්වයකින් යුතුව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි.

​පවතින පනතේ ඇති ප්‍රධාන අඩුපාඩු සහ යාවත්කාලීන වීමේ අවශ්‍යතාව

​2000 වසරේදී පනත සකස් කරන විට තිබූ සමාජීය තත්ත්වයට වඩා වර්තමාන තත්ත්වය හාත්පසින්ම වෙනස්ය.

ශ්‍රම බලකායේ වෙනස්වීම්: එදා අවුරුදු 60 සීමාව ශ්‍රමිකයන්ගෙන් බැහැර වූවන් ලෙස සැලකුවද, අද වන විට වයස 60 සම්පූර්ණ වූවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රටේ ශ්‍රම බලකායට සක්‍රීයව දායක වෙති.

ජනගහන පුරෝකථනය: දත්තයන්ට අනුව වර්තමානයේ ලංකාවේ වැඩිහිටි ප්‍රජාව මිලියන 2.7ක් පමණ වේ. පැහැදිලි පුරෝකථනයන්ට අනුව 2052 වසර වන විට ලංකාවේ සමස්ත ජනගහනයෙන් 24.8%ක්ම වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයන් වනු ඇත.

​මෙම තත්ත්වය හඳුනාගෙන 2025 ජූනි 6 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී ද මෙම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතු වූ නමුත්, එහි ප්‍රායෝගික ක්‍රියාත්මක වීමේ යම් ප්‍රමාදයක් දක්නට ලැබේ.

ප්‍රධානතම ගැටලුව

පනතේ 14 වැනි වගන්තිය මඟින් ජාතික සභාවට බලතල පවරා තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතු වන ප්‍රායෝගික ගැටලුවලට පිළියම් යෙදීමට පනත මෙතෙක් යාවත්කාලීන කර නොමැත. එමෙන්ම, පනතේ විධිවිධාන උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ගත හැකි දැඩි නෛතික ක්‍රියාමාර්ග හෝ දඬුවම් පිළිබඳව පැහැදිලි හා සෘජු ප්‍රතිපාදන මෙහි ඇතුළත් නොවීම විශාල අඩුවකි.

 

 වැඩිහිටි නිවාස නියාමනය සහ පවතින අවදානම

​පනතේ 16 වැනි වගන්තියට අනුව, වැඩිහිටියන්ට සේවා හෝ ආධාර සපයන ස්වේච්ඡා හෝ වෙනත් සංවිධාන මෙම පනත යටතේ ලියාපදිංචි විය යුතුය (රජයේ ආයතන මීට අදාළ නොවේ).

​නමුත් පවතින නීතියේ දුර්වලතා හේතුවෙන්, ලංකාවේ ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස අතුරින් 300කට ආසන්න ප්‍රමාණයක් රජයේ නිසි ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යනු ලබයි. ලියාපදිංචි නොවන ආයතනවලට එරෙහිව දැඩි පියවර ගැනීමට පනත මඟින් බලධාරීන්ට ප්‍රමාණවත් බලයක් ලබා දී නොමැත.

​සාමාන්‍යයෙන් වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී තිබිය යුතු මූලික නිර්ණායක කිහිපයකි:

භූමි ප්‍රමාණය: ග්‍රාමීය ප්‍රදේශවල නම් අවම වශයෙන් අක්කරයක භූමි ප්‍රමාණයක් සහ නාගරික ප්‍රදේශවලට අදාළ නියමිත ඉඩකඩක් තිබිය යුතුය.

මූලික පහසුකම්: නිසි වාතාශ්‍රය, ආලෝකය, ආරක්ෂාව සහ ගුණාත්මක ආහාර පාන සැපයිය යුතුය.

පුහුණු කාර්ය මණ්ඩලය: වයෝවෘද්ධ සත්කාරය (Geriatric Care) යනු වෙනමම විෂයකි. ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක් සිටිය යුතුය.

​පළාත් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේවා නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතු වුවද, ප්‍රායෝගිකව එවැනි විධිමත් නියාමනයක් සිදුවේද යන්න ගැටලුසහගතය. වෙළෙඳසලක ඇති භාණ්ඩවල ප්‍රමිතිය බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සිටියද, මෙරට වැඩිහිටියන්ගේ ජීවිත රැකෙන ස්ථාන පිළිබඳව එවැනි දැඩි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

දෙමාපියන් නඩත්තු කිරීමේ අයිතිය (බොහෝ දෙනෙක් නොදන්නා නීතිය)

​2000 අංක 9 දරන පනතේ 25 වැනි වගන්තියට අනුව, තමන්ව නඩත්තු කර ගැනීමට නොහැකි වැඩිහිටි දෙමාපියන්ට තමන්ගේ දරුවෙකුගෙන් හෝ දරුවන් කිහිප දෙනෙකුගෙන් මාසික දීමනාවක්, වාරික දීමනාවක් හෝ එකවර ගෙවන මුදලක් ලෙස නඩත්තු ගාස්තු ඉල්ලා සිටීමට නෛතික අයිතියක් ඇත. එමෙන්ම පනතේ 27 වැනි වගන්තිය යටතේ නිවාස සහ නඩත්තු නියමයන් ලබා ගැනීමටද පුළුවන.

​කෙසේ වෙතත්, ලංකාවේ බහුතරයක් වැඩිහිටියන් තමන්ට මෙවැනි නීතිමය අයිතිවාසිකමක් ඇති බව හෝ ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කිසිදු දැනුවත්භාවයක් නොමැති වීම විශාල ඛේදවාචකයකි.

​නොසලකා හැරීම් සහ අනතුරු සම්බන්ධයෙන් ඇති අපරාධමය වගකීම

​වැඩිහිටි නිවාසයකදී සිදුවන නොසලකා හැරීමක්, හදිසි අනතුරක් (උදාහරණයක් ලෙස ගින්නක් හෝ ගෑස් කාන්දුවක්) හේතුවෙන් වැඩිහිටියෙකු මියගියහොත් හෝ තුවාල ලැබුවහොත්, පාලකයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය (Penal Code) යටතේ සාමාන්‍ය අපරාධ නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

​මෙහිදී එල්ල විය හැකි ප්‍රධාන චෝදනා දෙකකි

 සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය (දණ්ඩ නීති සංග්‍රහයේ 293 වගන්තිය)

​යම් පුද්ගලයෙකු කායිකව දුර්වල, රෝගී හෝ ආබාධිත තත්ත්වයක පසුවන විට, ඔහුට කරන ශාරීරික පාඩුවක් හෝ නොසලකා හැරීමක් නිසා ඔහුගේ මරණය ඉක්මන් විය හැකි බව දැන දැනම කටයුතු කර ඇත්නම් සාවද්‍ය  මනුෂ්‍ය ඝාතනය යටතේ නඩු පැවරිය හැකියි.

 මිනී මැරීමට තැත් කිරීම (දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය)

​යම් ක්‍රියාවක් හෝ නොසලකා හැරීමක් නිසා මරණයක් සිදුවීමට ඉඩ ඇති බව දැන දැනම අප්‍රේක්ෂාකාරී ලෙස කටයුතු කිරීම මීට අයත් වේ.

මිනී මැරීමට තැත් කිරීමේ වරදට වසර 10ක් දක්වා සිරදඬුවම් හෝ දඩයක් (හෝ දෙකම) පැනවිය හැකිය.

​එවැනි ක්‍රියාවක් නිසා යම් පුද්ගලයෙකුට තුවාල සිදු වුවහොත් දඬුවම වසර 20ක් දක්වා දීර්ඝ විය හැකිය.

​වැඩිහිටි නිවාසවල සිටින්නේ සාමාන්‍ය ක්‍රියාශීලී පුද්ගලයන් නොවේ. හදිසි අනතුරකදී ස්වයංව ආරක්ෂා වීමට ඔවුන්ට අපහසුය. එබැවින් එහි පාලකයන් සාමාන්‍ය ස්ථානයකට වඩා වැඩි අවධානයකින් සහ වගකීමකින් යුතුව ආරක්ෂක උපකරණ (උදා: ගිනි නිවන උපකරණ) නිසි පරිදි නඩත්තු කිරීමට බැඳී සිටී.

ශ්‍රී ලංකාවේ වයස්ගත වන ජනගහනයට සාපේක්ෂව අපගේ වැඩිහිටි පනත වහාම සංශෝධනය විය යුතුය. ලියාපදිංචි නොවුනු ආයතන වැටලීමට සහ නෛතික තත්ත්වයන්ට අනුගත නොවී කටයුතු කරන ආයතන වලට එරෙහිව දැඩි දඬුවම් දීමට හැකි වන පරිදි නීතිමය රාමුව ශක්තිමත් කළ යුතුය. එසේ නොමැති වුවහොත්, නිසි නියාමනයක් නොමැති කම නිසා අනාගතයේදීත් අභාග්‍යසම්පන්න සිදුවීම් සහ නොසලකා හැරීම් වාර්තා වීම වැළැක්විය නොහැකි වනු ඇත.

නීතීඥ ලක්ෂිත දිල්රුක්ෂණ.

 

D.N.අභයවර්ධන.