ලෝකයේ වඩාත්ම බලවත් නැගී එන ආර්ථිකයන් නියෝජනය කරන නායකයෝ, 18 වැනි බ්‍රික්ස් (BRICS ) සමුළුව වෙනුවෙන් පසුගිය සති අන්තයේදී නවදිල්ලියට රැස් වූහ. ඒ සමඟම නවදිල්ලියේ ‘භාරත් මණ්ඩපම්‘ යළිත් වරක් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.

එහෙත් මෙම සමුළුව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තරමක් අසහනකාරී ප්‍රශ්නයක් මතු කරයි. එනම්, බ්‍රික්ස් සාමාජිකත්වය නිල වශයෙන් ඉල්ලා සිටි ශ්‍රී ලංකාවට ඊට පිටතින් බලා සිටීමට සිදු වෙද්දී, උගන්ඩාව, නයිජීරියාව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වැනි තවත් රටවල් බ්‍රික්ස් හවුල්කාර රටවල් ලෙස ඉදිරියට ගියේ කෙසේ ද යන්නයි.

ශ්‍රී ලංකාවට ද එහි සාමාජිකත්වය අවශ්‍ය විය. වෙනත් රටවල් එය තහවුරු කර ගත්ත ද, අපට එය හිමි වූයේ නැත. මෙය නිදහසට කරුණු කීමට හෝ නිලධාරීන් තමන් නොදැන සිටි බව කියන්නට හෝ හැකි තත්ත්වය නොවේ. වැරදීම සිදු වූයේ කොතැන දැයි ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හඳුනාගෙන, එය නිවැරදි කිරීම සඳහා වහාම කටයුතු කළ යුතු වේ.

ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේදී, අද අහිමි වන අවස්ථා හෙට දිනයේ යළි නොලැබෙන්නට පුළුවන.

බ්‍රික්ස් යනු හුදෙක් තවත් එක් රාජ්‍ය තාන්ත්‍රික රැස්වීමක් පමණක් නොවේ. ඉන්දියාවේ 2026 සභාපතිත්වය යටතේ පසුගිය සති අන්තයේදී දේශපාලනික සහයෝගීතාව, මූල්‍ය, වෙළඳාම, නවෝත්පාදන, ව්‍යාපාර සහ ජනතාව අතර සිදුවන ගනුදෙනු ආදී අංශ ආවරණය වන පරිදි රැස්වීම් සහ ක්‍රියාකාරකම් සිය ගණනක් පැවැත්විණි. ශ්‍රී ලංකාවට, සමීප සබඳතා පැවැත්වීම හරහා ආයෝජන, අපනයන වෙළඳපොළ, සංවර්ධන මූල්‍ය පහසුකම්, තාක්ෂණය, බලශක්ති සහයෝගීතාව මෙන්ම ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව උදා කර ගත හැකිය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ පැවති උනන්දුව ඉතා පැහැදිලිය. වාර්තා වන පරිදි, 2024 වසරේදී එවකට පැවති රජය බි්‍රක්ස් සහ ‘නව සංවර්ධන බැංකුව‘ වෙත එක් වීම පිළිබඳව අධ්‍යයනය කර, ඊට අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දී ඇත. ආණ්ඩු පෙරළියෙන් පසුව, වත්මන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ මෙම උනන්දුව බ්‍රික්ස් පාර්ශ්වකරුවන් වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වේ. එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඒ සඳහා රුසියාවේ සහාය ඉල්ලා සිටි බවට තොරතුරු වාර්තා විය.

මහ මැතිවරණය ආසන්න වී තිබීම හේතුවෙන්, ජනාධිපතිවරයාට හෝ විදේශ කටයුතු අමාත්‍යවරයාට 2024 බ්‍රික්ස් සමුළුවට සහභාගි වීමට නොහැකි විය. දේශීය දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගත් කල, එය තේරුම් ගත හැකි තීරණයකි. එබැවින් රුසියාවේ කසාන් නුවර පැවති ‘බ්‍රික්ස්ප්ලස්‘ (BRICS Plus ) සංවාදයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ එවකට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසිනි. ඇය එහිදී බි්‍රක්ස් සහ නව සංවර්ධන බැංකුව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට ඇති දැඩි උනන්දුව නිල වශයෙන් යළිත් වරක් අවධාරණය කළාය. එමෙන්ම, බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට උපායමාර්ගික වශයෙන් වැදගත් වන්නේ ඇයි ද යන්නත්, ශ්‍රී ලංකාවට මෙම කණ්ඩායමට ලබා දිය හැකි දායකත්වය කුමක් ද යන්නත් ඇය එහිදී පැහැදිලි කළාය.

එබැවින්, තමන් මෙම ක්‍රියාවලියෙන් බැහැරව සිටි බවක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිය. නමුත් එහි ප්‍රතිඵලය පිළිබඳව නම් කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකිය.

ශ්‍රී ලංකාවට සැබැවින්ම බ්‍රික්ස් සමඟ එක් වීමට අවශ්‍ය නම් ඒ සඳහා “ප්‍රායෝගික පියවර”‍ ගන්නා ලෙස 2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේය. රුසියාව සහ චීනය ඒ සඳහා සහාය දක්වන බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය. මෙම ප්‍රකාශය කොළඹ බලධාරීන්ගේ දැඩි අවධානයට ලක් විය යුතුව තිබිණි.

ඉන් අනතුරුව බ්‍රික්ස් සංවිධානය සිය හවුල්කාර රටවල රාමුව පුළුල් කළේය. ඒ අනුව බෙලාරුස්, බොලිවියාව, කියුබාව, කසකස්තානය, මැලේසියාව, තායිලන්තය, උගන්ඩාව, උස්බෙකිස්තානය සහ නයිජීරියාව එහි හවුල්කරුවන් බවට පත් විය. පසුව වියට්නාමය ද ඊට එක් විය.

නමුත් ශ්‍රී ලංකාව ඒ අතර නොවීය. ශ්‍රී ලංකාවේ සාමාජිකත්ව අයදුම්පත නිල වශයෙන් ප්‍රතික්ෂේප වී ඇති බවට කිසිදු ප්‍රසිද්ධ නිවේදනයක් ද සිදු කර නොමැත. එහෙත් මේ හේතුව නිසා, මීට පෙර මතු කළ ප්‍රශ්නය තවදුරටත් වැදගත් වේ.

වගකීම පැහැර හැරියේ කවුරුන් ද?

ජනාධිපතිවරයාට ඒ පිළිබඳව උනන්දුවක් තිබිණි. විදේශ කටයුතු අමාත්‍යවරයාට ද උනන්දුවක් තිබිණි. බ්‍රික්ස් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට රජයට ද අවශ්‍යතාවක් පැවතිණි.

එසේනම් රාජ්‍ය යාන්ත්‍රණය අසාර්ථක වූයේ කොතැනින් ද?

නිලධාරීන්ගේ නිසි ක්‍රියාත්මක වීමකින් තොරව, දේශපාලන උනන්දුවක් පමණක් පැවතීමෙන් ලැබෙන ප්‍රතිඵල ඉතා අල්පය. රාජ්‍ය තාන්ත්‍රිකත්වය යනු ලිපි යවා ඒවාට පිළිතුරු ලැබෙන තුරු බලා සිටීම නොවේ. ජාතික අරමුණ ඉටු කර ගන්නා තුරුම අදාළ පාර්ශ්ව වෙත ගොස් කරුණු දැක්වීම, රටින් රටට සහාය ගොඩනඟා ගැනීම සහ නිරන්තරයෙන්ම ඒ පසුපස හඹා යාම එහිදී සිදු විය යුතුය.

බ්‍රික්ස් සාමාජිකත්වය ලබා ගැනීම අපේ සැබෑ විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් ලෙස සැලකුවා ද? ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ නව සාමාජික රටවල් සමඟ ඒ වෙනුවෙන් ක්‍රමානුකූලව කටයුතු කළා ද? ඊට අදාළව, හොඳින් සම්බන්ධීකරණය කරන ලද උපායමාර්ගයක් අපේ විදේශ දූත මණ්ඩල වෙත ලබා දුන්නා ද? ශ්‍රී ලංකාවට බ්‍රික්ස් සාමාජිකත්වය අවශ්‍ය වන්නේ ඇයි ද යන්න පමණක් නොව, බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව අවශ්‍ය වන්නේ ඇයි ද යන්නත් අපි ඔවුන්ට පැහැදිලි කර දුන්නා ද?

විවිධ ප්‍රමාණයේ, විවිධ කලාපවලට අයත් සහ විවිධ ආර්ථික මට්ටම්වල පවතින වෙනත් රටවල් එහි හවුල්කාර රටවල් ලෙස සිය තත්ත්වය තහවුරු කර ගත්තේය. ඒවා ඉදිරියට ගිය නමුත්, ශ්‍රී ලංකාවට එය නොහැකි විය.

වඩාත් ඒකපාර්ශ්වික වන ලෝකයක බහුපාර්ශ්වික ප්‍රවේශයක්

රාජ්‍ය තාන්ත්‍රික කීර්තිනාමයට එහා ගිය ලොකු වැදගත්කමක් මේ තුළ පවතී. වෙළඳ ආරක්ෂණවාදය, තීරුබදු සහ සුපිරි බලවතුන්ගේ තරඟකාරිත්වය ඉහළ යමින් පවතින මෙවැනි වකවානුවක, ගෝලීය ආර්ථික සහ දේශපාලන තීරණ ගැනීමේදී වැඩි බලපෑමක් අපේක්ෂා කරන නැගී එන ආර්ථිකයන්ගේ වැදගත් බහුපාර්ශ්වික ප්‍රවේශයක් බි්‍රක්ස් සංවිධානය මඟින් නියෝජනය කෙරේ.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙහිදී ඇති විසඳුම විය යුත්තේ ජාත්‍යන්තර සබඳතා අඩු කර ගැනීම නොව ඒවා තවත් වැඩි කර ගැනීමයි. අපට තවත් වෙළඳපොළ, තවත් මූල්‍ය විකල්ප, තවත් හවුල්කාරිත්වයන් මෙන්ම වැඩිදුර ජාත්‍යන්තර සාකච්ඡා සඳහා තවත් අවස්ථා ද අවශ්‍ය වේ.

බ්‍රික්ස් සාමාජිකත්වය යනු, එක් භූ දේශපාලනික කඳවුරක් වෙනුවට වෙනත් කඳවුරක් තෝරා ගැනීමක් ලෙස නොසැලකිය යුතුය. එය ශ්‍රී ලංකාවේ ස්වාධීන සහ සමබර විදේශ ප්‍රතිපත්තියට ගැළපෙන තවත් එක් ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික පාලමක් කර ගත යුතු වේ.

මෙමඟින් අපගේ සමීපතම අසල්වැසියා මෙන්ම ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු වන ඉන්දියාව සමඟත්, ප්‍රධාන ආයෝජකයකු සහ වෙළඳ හවුල්කරුවකු වන චීනය සමඟත්, වැදගත් දේශපාලනික, ආර්ථික සහ සංචාරක හවුල්කරුවකු වන රුසියාව සමඟත් එකවරම සබඳතා ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකාවේ ජාතික අරමුණු ඉටු කර ගත හැක්කේ, බහුපාර්ශ්වික සබඳතා සහ ආර්ථික ප්‍රායෝගිකත්වය හරහා මේ සියලු‍ ප්‍රධාන බලවතුන් සමඟ සමීපව කටයුතු කිරීමෙනි.

මෙහිදී ආර්ථික වාසි ද ඒ හා සමානවම වැදගත් වේ. වෙළඳාම, ආයෝජන, ව්‍යාපාරික හවුල්කාරිත්වයන්, නව ව්‍යාපාර (start-ups ), තාක්ෂණය සහ පුළුල් වෙළඳපොළ ප්‍රවේශය හරහා බි්‍රක්ස් සංවිධානය මේ වන විට ලෝකයේ ආර්ථිකයන් වඩාත් එකිනෙක සම්බන්ධ කරමින් සිටියි.

ලෝකයේ සිදු වන මෙම පුළුල් වෙනස ඉතා පැහැදිලිය. එනම්, ගෝලීය දකුණේ (Global South ) රටවල් බලවත්ව නැගී එමින් පවතී. සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන ආර්ථිකයන් මේ වන විට ආර්ථික වශයෙන් වඩාත් බලවත් වෙමින් පවතී. එමෙන්ම, දේශපාලනිකව සහ උපායමාර්ගිකව ද ඒවා වඩාත් වැදගත් වෙමින් පවතී. ගෝලීය දකුණේ රටවල් තවදුරටත් ලෝකයේ සිදු වන දේවල් දෙස හුදෙක් බලා සිටින්නේ නැත. ඒවා වඩ වඩාත් ලෝකයේ අනාගතය හැඩගස්වමින් පවතියි.

ශ්‍රී ලංකාව ද නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය අපේක්ෂා කළේය. විදේශ ණය ගෙවීමට නොහැකි වීමෙන් පසුව යළි යථා තත්ත්වයට පත් වෙමින් සිටින, මෙන්ම යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජන අවශ්‍ය වන අප වැනි රටකට, දිගුකාලීන සංවර්ධන මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ මාර්ග පුළුල් කර ගැනීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් විය යුතුය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ෂඵත්‍), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ බ්‍රික්ස් ආයතන අතරින් එකක් පමණක් තෝරා ගැනීමක් නොවේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ තවත් මූල්‍ය විකල්ප වැඩි කර ගැනීම මිස, විකල්ප සීමා කර ගැනීමක් නොවේ.

රජය දැන් ඉහළ මට්ටමේ, හොඳින් සම්බන්ධීකරණය කරන ලද බ්‍රික්ස් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළ යුතුය. එහි සෑම සාමාජික රජයක් සමඟම කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය පිළිබඳව ඔවුන්ට ඇති ගැටලු‍ මොනවා දැයි හඳුනා ගත යුතුය. අප ඊට ඇතුළත් කර ගැනීමට අදාළව අපේ ආර්ථික සාධක ශක්තිමත් කර පෙන්විය යුතුය. එසේම, නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ද එම හදිසිභාවයෙන් යුතුවම කටයුතු කළ යුතුය.

මෙහිදී ශ්‍රී ලංකා බලධාරීන් තමන්ගෙන්ම එක් සරල ප්‍රශ්නයක් ඇසිය යුතුය. එනම්, “අපට ඒ අවස්ථාව අහිමි වූයේ ඇයි?”‍ සහ “යළිත් වරක් එම දොරටුව විවර වන විට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ඊට ඇතුළු වන බව තහවුරු කිරීමට අප දැන් කළ යුත්තේ කුමක් ද?”‍ යන්නයි.

අන් රටවල් මෙම අවස්ථාව දුටුවේය. ඒවා ඒ සඳහා උත්සාහ කරමින් ඉදිරියට ගියේය. තවදුරටත් හුදෙක් බලා සිටින්නකු පමණක් වීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත. ගෝලීය දකුණේ රටවල් දැන් නව ආර්ථික පාලම් ගොඩනඟමින් පවතියි. අන් අය එගොඩ වනු බලා ඉවුරේ සිටිනවා වෙනුවට, අපි ද එම පාලම් ගොඩනැඟීමට දායක විය යුතුය. 

 

 

රාජ්‍ය තාන්ත්‍රික සහ හිටපු තානාපති

කන්නා කනනාදන්  විසිනි