ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
වත්මන් සමාජයේ වයස්ගත වන ජනගහනය සමඟ වැඩිහිටි ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වී ඇත්තේ ඩිමෙන්ෂියාව වැනි මානසික සෞඛ්‍ය තත්ත්වයන් සහ ඇවිද ගැනීමට නොහැකි වීම ඇතුළු විවිධ කායික රෝගාබාධයන්ය. මේ හේතුවෙන් නේවාසික වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වැඩිහිටි ලේකම් කාර්යාලය සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව එක්ව නව නියෝග සහ මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇත. දැනට එහි අවසාන අදියරේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
නව මාර්ගෝපදේශවල අන්තර්ගතය සහ සේවක පුහුණුව
මෙතෙක් පැවති ක්‍රමවේදයන් වෙනස් කරමින්, නව මාර්ගෝපදේශ මාලාවක් යටතේ වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ගේ අවශ්‍යතා අනුව සේවකයන් අනුයුක්ත කිරීම විධිමත් කර ඇත.
විශේෂ පුහුණු ශ්‍රමිකයන්
වයස අවුරුදු 60ට වැඩි, විශේෂ රැකවරණ අවශ්‍ය සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන් වෙනුවෙන් ඒ සඳහාම විශේෂ පුහුණුවක් ලැබූ නේවාසික සාත්තු සේවිකාවන් සහ සේවකයන් වෙන වෙනම සිටිය යුතුය.
මානසික රෝගීන් සඳහා විශේෂ අවධානය
මානසික රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් සේවකයන් සිටීම අනිවාර්ය වේ.
කළමනාකරුවන්ගේ (පාලක/පාලිකා) භූමිකාව
තමන්ගේ වැඩ කටයුතු තනිවම කරගත හැකි, කිසිදු ආබාධිත තත්ත්වයක් නොමැති වැඩිහිටියන් පමණක් සිටින ස්ථානයක පාලකයෙකු හෝ පාලිකාවක පමණක් සිටීම ගැටලුවක් නොවේ. නමුත් විශේෂ සෞඛ්‍ය ගැටලු සහිත නේවාසිකයන් සිටින ස්ථානවල පාලකයෙකුට පමණක් සීමා නොවී, පුහුණු සාත්තු සේවකයන් සිටීම ඉදිරියේදී නව මාර්ගෝපදේශවලට අනුව අනිවාර්ය කර ඇත.
සාත්තු සේවක අනුපාතය
මධ්‍යස්ථානයක සිටින වැඩිහිටියන් සංඛ්‍යාවට සාපේක්ෂව සිටිය යුතු සාත්තු සේවිකාවන් ප්‍රමාණය නව රෙගුලාසි මඟින් පැහැදිලිව නිර්වචනය කර ඇත.
මානසික රෝගීන් වෙන වෙනම නේවාසික ගත කිරීම
මානසික රෝගාබාධ හෝ වෙනත් අපහසුතා නිසා රෝගීන් ඇඳන්වල ගැටගසා තැබීම අමානුෂික ක්‍රියාවකි. ඇතැම් අවස්ථාවල පවතින අපහසුතා මත එවැනි පියවර ගැනීමට සිදුවුවද, සාමාන්‍ය වැඩිහිටියන් සහ මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් එකම කුටියක රඳවා තැබීම අනුමත කළ නොහැක. නව මාර්ගෝපදේශවලට අනුව මානසික රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන්, සාමාන්‍ය වැඩිහිටියන්ගෙන් වෙන් කර ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත වැඩිහිටි නිවාසවල රඳවා තැබිය යුතු අතර ඔවුන් වෙනුවෙන් පුහුණු කාර්ය මණ්ඩලයක් යෙදවිය යුතුය. විශේෂයෙන්ම මානසික ආබාධවලින් පෙලෙන වැඩිහිටියන් වෙනුවෙන් ඒ සඳහාම විශේෂිත පුහුණුවක් ලැබූ සාත්තු සේවිකාවන් වෙන වෙනම සිටිය යුතු බව මෙම නව මාර්ගෝපදේශන මාලාවේ දක්වා ඇත.වෙනත් ආබාධිත අය නම් එවැනි නිවාස ආබාධිත තැනැත්තන් සඳහා වු ජාතික ලේකම් කාර්යාලය හරහා ලියාපදිංචි වීම සිදුවිය යුතුයි.
සියලුම වැඩිහිටි නිවාස ලියා පදිංචියට සහ විධිමත් නියාමනයකට
ඉදිරියේදී දිවයින පුරා ස්වේච්ඡා සංවිධාන, ආගමික මුහුණුවරකින් හෝ වෙනත් ආකාරයකින් පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි සාත්තු සේවා මධ්‍යස්ථාන සමාජ සේවා කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචියට හා විධිමත් නියාමනයකට ලක් කෙරේ.
වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 16(2) වගන්තියට අනුව, වැඩිහිටියන් 5 දෙනෙකුට වඩා රඳවා තබා ගන්නා ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයකු "වැඩිහිටි තැනැත්තන් වෙනුවෙන් වන ජාතික සභාවේ" ලියාපදිංචි වීම අනිවාර්ය වේ. එසේ නොවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මෙතෙක් මෙම පනත යටතේ නඩු පැවරීම් සිදු කර නොමැති වුවද, ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.
ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය සහ වත්මන් තත්ත්වය
දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ 2012 වර්ෂයේ හඳුන්වා දුන් මාර්ගෝපදේශ වුවද, ඉදිරියේදී නව මාර්ගෝපදේශවලට අදාළ සුදුසුකම් එකින් එක සපුරා ඇතිදැයි සොයා බැලීමෙන් පසුව පමණක් ලියාපදිංචිය ලබා දීමට කටයුතු කෙරේ.
ලියාපදිංචි වීමේ පියවර
දැනට පවතින 2012 නීතිරීති රෙගුලාසි අනුව රටේ පවතින සෑම වැටිහිටි නිවාසයක්ම අනිවාර්යෙන් ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සතු අයැදුම් පත පුරවා ලබාදිය යුතුයි. වැඩිහිටි නිවාසයක් නම් වයස අවුරුදු හැටට වඩා වැඩි වැඩිහිටියන් එහි සිටිය යුතුය. අයදුම්පත පිරවීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙම කටයුතු සිද්ධ වේ. එහිදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් සම්පූර්ණ කළ වාර්තාවක් ලබා ගැනීමට තිබේ. මෙම අදාළ වාර්තාව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පැමිණ පරීක්ෂා කර බලා එය උසස් සෞඛ්‍යමය තත්ත්වයකින් තිබෙන බවට සහ අදාළ කාරණා සම්පූර්ණ කර ඇති බවට තහවුරු කළ පසුව ලියාපදිංචිය සිදුකෙරේ. නමුත් දැනට පවතින බොහෝ ආයතන මෙසේ ලියාපදිංචි කර නොමැති වීමට හේතුව වී ඇත්තේ අදාළ වාර්තාව සම්පූර්ණ කර ගැනීමට අසමත් වීමයි. මේ නිසාම බොහෝ ආයතනය තවමත් ලියාපදිංචි ක්‍රියාවලියේ තිබුණත් ලියාපදිංචි නොවී තිබීමට හේතුවක් වී තිබේ. ඉන්පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අදාළ ස්ථානය පරීක්ෂා කරනු ලබයි.මෙම නිවාස වල බදු ඔප්පුවක් නම් එය වසර තිහක බදු ඔප්පුවක් වීමද අනිවාර්ය වේ.
පවතින ප්රායෝගික ගැටලු
දැනට හඳුනාගෙන ඇති පරිදි ලියාපදිංචියට යොදා ඇති රට තුළ පවතින වැඩිහිටි නිවාස 456න් 148 ක් පසුගිය වසරේ ලියාපදිංචි කර ඇති අතර, එසේ ලියාපදිංචි නොවූ ඒවා 300 කට අධික ප්‍රමාණයක් තිබේ. මෙම ආයතන 347 ලියාපදිංචි නොවී පැවතීමට ප්‍රධාන හේතුව PHI මහත්වරුන් නිර්දේශ කරන සෞඛ්‍යමය පහසුකම් සපුරාලීමට ඇති අපහසුතාවයයි. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් කළ හැක්කක් නොවන අතර ඒ සඳහා වසරක් හෝ දෙකක් වැනි කාලයක් ගත විය හැක. දැනට ලියාපදිංචි නොමැති මෙවැනි ආයතන වෙත අඩුපාඩු සපුරාලන ලෙස දන්වා ලිපි යොමු කර ඇති අතර ඉදිරියේදී ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.
ඉදිරි දැක්ම සහ රජයේ මැදිහත්වීම
පසුගිය දිනවල සිදුවූ ඇතැම් සිදුවීම් දෙස බැලීමේදී, මෙම ආයතන මඟින් විශාල සමාජ සේවයක් සිදු කළද ලියාපදිංචි නොවීම නීති විරෝධී වේ. එවැනි ආයතන වසා දමා නේවාසිකයන් වෙනත් ස්ථානවලට ගෙන යාමට රජයකට එකවර පියවර ගත නොහැකි වුවද, රජයේ වගකීම වන්නේ ඔවුන් දිරිමත් කර අවශ්‍ය පහසුකම් සපුරා දී ලියාපදිංචි කරවීමයි.
පසුගිය සිදුවීම් පාඩමකට ගෙන, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ අත්දැකීම් බහුල පිරිස සමඟ සාකච්ඡා කර 2025 වසරේදී "වැඩිහිටියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය" සකස් කරන ලදී. ඒ හා සමගාමීව 2011 අංක 5 දරන වැඩිහිටි තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය පසුගිය වසරේදී ලැබුණු අතර, මේ වන විට එය නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා යොමු කර ඇත. ඉදිරියේදී වඩාත් විනිවිදභාවයකින් සහ සැලකිලිමත්භාවයකින් යුතුව වැඩිහිටි නිවාසවල ප්‍රමිතිය ඉහළ නැංවීමට රජය කටයුතු කරනු ඇත.

කේ. චතුර මිහිඳුම්
අධ්‍යක්ෂ - ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය,
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ
ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය.
D N අභයවර්ධන












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd