උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මේ වන විට වකුගඩු රෝගීන් 20000ක් පමණ සොයාගෙන තිබේ. රෝහල්වලට පැමිණ ප‍්‍රතිකාර ගන්නා රෝගීන් ගණන මෙය වුවත් මුළු දිස්ත‍්‍රික්කයේම මීට වඩා රෝගීහු සිටිති. ඊට හේතුව සමහරෙක් තමන්ට වකුගඩු රෝගය වැළඳී ඇතැයි කියා කීමට පවා මැළිවෙති. ඒ තරමට වකුගඩු රෝගය අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ ව්‍යාප්ත වී තිබේ.


මා අනුරාධපුර රෝහලේ සිට ශ්‍රීපුර රෝහල වෙත ගියේද ඒ ප‍්‍රදේශයේ වකුගඩු රෝගය බහුලව ඇති හෙයිනි. ශ්‍රීපුර සිට අධික දුරක් ගෙවා අනුරාධපුර මහ රෝහලේ සායන වෙත රෝගීහු විශාල පිරිසක් පැමිණෙති. මා එහි යනවිට සිටියේ ලියාපදිංචි වූ රෝගීන් 38 දෙනෙකු පමණි. එහෙත් වසරක් යන විට වකුගඩු රෝගීන් 400 දෙනෙකු සොයා ගැනීමට හැකිවිය. වසර තුනක් යනවිට ඒ ප‍්‍රමාණය 600 දක්වා වැඩිවිය. වකුගඩු රෝගීන් මේ තරම් ප‍්‍රමාණයක් හමුවූයේ ඒ ගැන කළ පර්යේෂණ මතය. අපට වාර්තා නොවූ තවත් අය එහි සිටිති.

වෛද්‍ය චින්තක විජේවර්ධන ආසනික් පර්යේෂණ කණ්ඩායමේ සාමාජික මහ විලච්චිය ප‍්‍රාදේශීය රෝහලේ ආයතන භාර නිලධාරී


වකුගඩු රෝ්ගය නිසා මිය ගිය රෝගීන් ගණන 20000ක් පමණ වෙති. මේ දත්ත ගැන රටේ කතාබහට ලක්වන්නේද නැත. 1990 දශකයේ සිට මේ දක්වා මේ සා විශාල පිරිසක් මිය යනතෙක් ඊට පිළියම් යෙදීමට නොහැකි වී තිබේ. රෝගය ගැන අපට වාර්තා නොවී මිය ගිය ගණන සැසඳුවහොත් එය 30000-40000 අතර ප‍්‍රමාණයක් ගනී. යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත‍්‍රික්කයක් ලෙස අනුරාධපුරය හැඳින්වූවත් අද ඔවුන් ඇත්තටම පීඩා විදින්නේ වකුගඩු රෝගය නිසාය. එකවර මිය නොගොස් රෝගී තත්ත්වයට පත්ව දුක්විඳ අසරණ වී මිය යාමට අනුරාධපුර ජනතාවට සිදුව තිබේ. මුලදී ඇඟ ඉදිමී රෝගීන් මිය යන බව වාර්තා විය. ඒ ගැන කළ පර්යේෂණ වලදී අනාවරණය වූයේ ඒ මිය යන්නේ වකුගඩු රෝගය නිසා බවයි.


දැන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ වකුගඩුවල ගැටලූවක් තිබෙන බව ඔප්පු වී හමාරය. කෘෂි කර්මාන්තයට යොදන රසායනික පොහොර හා කෘමි නාශකවල අඩංගු ආසනික් නිසා මේ තත්ත්වය උදා වී තිබේ. මේ ඇත්ත තත්ත්වය පිළිගැනීමට සමහරෙකු අකමැතිය.


එහෙත් වකුගඩු රෝගියකුගේ රෝග ලක්‍ෂණ ඉස්මතු වන්නේ වකුගඩු සියයට 75ක් විනාශ වූ පසුවය. එය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැක. කළ හැකි එකම ප‍්‍රතිකාරය රුධිරය මාරු කිරීම හෝ වකුගඩු බද්ධ කිරීම පමණි. එහෙත් දැන් ඊටද බාධා පැමිණ තිබේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් සියයට 90කගේ පමණ වකුගඩුවල ප‍්‍රමාණය සෙන්ටිමීටර දෙකක් අඩු වී තිබීම ඊට හේතුවයි. මේ නිසා වකුගඩු බද්ධ කිරීමට අපහසුවී තිබේ. රෝගීන්ට ගැළපෙන වකුගඩුවක් සෙවීම කළුනික සොයනවාටත් වඩා අමාරුවී තිබේ.


මුලින්ම වකුගඩු රෝගය හඳුනා ගත්තේ වයස අවුරුදු 40 වැඩි පුද්ගලයන්ගෙනි. බහුතරය සියයට 70-80ක් පිරිමිය. මේ අය අතර එකදිගට කෘෂිකර්මාන්තයේ නියැලූණු පිරිස්, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කළ අය වූහ. එහෙත් ඒ වයස් සීමාව වයස අවුරුදු 12, 18, 30 දක්වා දැන් අඩුවී තිබේ. මේ නිසා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තරුණ පරපුරද වකුගඩු රෝග වී සිටිති. සමහර පවුල්වල මුළු පවුලටම වකුගඩු රෝගය වැළඳී තිබේ. තවත් තැනක තාත්තාටය. තවත් තැනක අම්මාටය. නැත්තම් දරුවන්ටය. වකුගඩු රෝගය නිසා මව මිය ගොස් අසරණ වූ දරු පවුල් සිටිති. පියා මිය ගොස් අසරණ වූ අයද වෙති. මව මිය ගිය පසු පියා වෙන කසාදයක් කරගෙන දරු පවුල අසරණ කරවූ අයද වෙති. නැත්නම් සිය සැමියා වකුගඩු රෝගයෙන් මියගොස් ඇති නිසා ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවෝ වෙති. මේ අය අතරින් සමහරෙක් තම වැඩිමල් ගැහැණු දරුවන්ද ගණිකා වෘත්තියේ යොදවති. එම පවුල්වල සිටින අනෙක් ළමයි වෙන අය අතින් අපයෝජනයට ලක්වී සිටිති.


මේ වන විට වකුගඩු රෝගය අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව පොල්පිතිගම, බදුල්ල දිස්ත‍්‍රික්කයේ ගිරාදුරුකෝට්ටේ මෙන්ම තණමල්විල, තිස්සමහාරාම යන ප‍්‍රදේශවලද ව්‍යාප්ත වී ගොසිනි. මේ ව්‍යාප්තිය දෙස බලන විට පෙනෙන්නේ ඒ ප‍්‍රදේශ වැඩියෙන්ම කුඹුරු වැඩ කරන බවකි. වකුගඩු රෝගය පැතිරුණු ප‍්‍රදේශ හා කුඹුරු වැඩ කරන ප‍්‍රදේශ දෙක සහිත සිතියම් ගළපා බැලූවොත් ඒ දෙක සමානවේ. මේ ප‍්‍රදේශවල ඇත්තේ රතු දුඹුරු පසයි.

 

ආසනික් නිසා විරූපී වූ අතක් සහ නිරෝගී අතක්


මුලින්ම කිව්වේ වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඞ් කියාය. නමුත් ෆ්ලෝරයිඞ් පැතිරී ඇති ප‍්‍රදේශ හා වකුගඩු රෝගය පැතිරුණු ප‍්‍රදේශ අතර කිසිදු සබඳතාවක් නැත. බුද්ධි ගෝචරව සිතියම් දෙස බලන විට එය මනාව පැහැදිලිවේ. අපි මේ ගැන පර්යේෂණ රැසක් කළෙමු. ඒ තොරතුරු මත අනාවරණය වූයේ වසර 5ක් එකදිගට කුඹුරු වැඩ කරන, කෘෂි රසායනික සමඟ ගැටෙන සියලූම දෙනා වකුගඩු රෝගීන් බවයි. මේ හේතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රෝගීන් විශාල ගණනක් හඳුනාගැනීමට හැකිවිය. ගැස්ට‍්‍රයිටි‍්‍රස් හෘද රෝග, හතිය, හොද නොවන කොන්දේ අමාරුව, අධික රුධිර පීඩනය ආදී රෝග ලක්‍ෂණ මුලදී මතුවේ. රෝගියා ඉදිමීම මුත‍්‍රා පිට නොවීම, ඇඟ ඇතුළේ ජලය වැඩිවීම ආදී රෝග ලක්‍ෂණ මතු වන්නේ රෝගයේ අවසන් අවස්ථාවේදීය. කොණ්ඩය තඹ පාට වීම ඇඟ සුදුමැලිවීම තවත් ලක්‍ෂණ කිහිපයකි. අද වන විට වකුගඩු රෝගය වැළඳුන සියයට 60ක් මුත‍්‍රා සමඟ ආසනික් පිටකරයි. අනුරාධපුර මුළු ජනගහනයෙන් සියයට 90ක නියපොතුවල ආසනික් තිබේ. ඔවුන්ගේ තිබිය යුතු ප‍්‍රමාණයට වඩා විශාල ප‍්‍රමාණයක් ආසනික් අඩංගුය. වකුගඩු රෝගයේ මූලික ලක්‍ෂණ හඳුනාගත් විගසම අනුරධපුර දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු 20ට වැඩි සියලූ දෙනා වකුගඩු පරීක්‍ෂාවකට යොමුවිය යුතුය. එවිට හේතුකාරකය නවතා දැමීමට පුළුවන.


කිවුල් ජලය සමඟ කෘෂි රසායනික ප‍්‍රතික‍්‍රියා කිරීම ඉක්මන්ය. මේ නිසා ආසනික්වල බලපෑම වැඩිය. මේ ජලයේ කැඞ්මියම්, ආසනික් ඇතුළු බොහෝ සංඝටක තිබේ. රසදිය ඊයම් අධිබල විකිරණ ද්‍රව්‍ය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ භූමියේ තැන්පත් වී තිබේ. වකුගඩු ආසාදනය අවම කර ගැනීමට හොඳම ක‍්‍රමය නම් වැව් ජලය බීමට සැලැස්වීමය. වැව් ජලයේ කිවුල ප‍්‍රමාණය අඩුය. එහෙත් ළිං ජලයේ කිවුල වැඩිය. භුගත ජලයට ආසනික් එකතුවූ විට එය භයංකර ප‍්‍රතිඵල ගෙනදේ. කිවුල ටී.ඞී.එස්. නම් ඒකකයෙන් මනිනු ලැබේ. මේ ප‍්‍රදේශයේ ළිංවල ටී.ඞී.එස්. අගය 1000ක් ගනී. සාමාන්‍යයෙන් මේ අගය තිබිය යුත්තේ 40 ප‍්‍රමාණයකටය. කිවුල සමග බැර ලෝහ අඩංගුය.


කෘෂි රසායනික ඒමට පෙර මේ ප‍්‍රදේශයේ ජලයේ කිවුල තිබුණි. එහෙත් මේ තරම් නැත. එය ජනතාවට බලපෑමක් ඇති කළේ නැත. කෘෂි රසායනික නිසා දැන් එය වෙනස් වී තිබේ. ඊට හේතුවී තිබෙන්නේ අධික ලෙස පොහොර, කෘමි නාශක පොළවට යොදන හෙයිනි. පදවිය ප‍්‍රදේශයේ පමණක් එක් කන්නයකම කිලෝ 50 පොහොර මිටි ලක්‍ෂ 50ක් පමණ පොළවට එක්වේ. කන්න දෙකකදී මේ ප‍්‍රමාණය කෝටියකි. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේම එක් කන්නයකට කෘෂි රසායනික පමණක් ලීටර එක්කෝටි විසිලක්‍ෂයක් පමණ පොළොවට එක් කරයි. පොහොර කිලෝ ග්රැම් එකක මයික්‍රෝ ග්රැම් 25000ක් අඩංගුය. මැලේසියාවේ කොන්සෝලැබ් එකේ කළ පර්යේෂණයකදී ඒබව අනාවරණය විය. සයනයිඞ්, ආසෙනික්, රසදිය, අධිබල කාබනික කොටස්, පරමානුක ද්‍රව්‍ය, විකිරණ ද්‍රව්‍ය මේවායේ අඩංගුය. මේවා වාෂ්ප නොවේ. පොළොවට උරාගෙන භූගත ජලයේ රැඳේ. භූගත ජලයේ කිවුල ප‍්‍රමාණය වැඩි වී ඇත්තේ මේ හේතුවෙනි. වැව් ජලයේ කිවුල අඩුවීමට හේතුව අලූත් වැසි සමඟ ජලය පිරෙන හෙයිනි. පිටතින් ගලා එන ජලය තිබුණොත් යම් බලපෑමක් තිබේ. ඒත් මේ තරම් ලොකු හානි නැත. කන්තලේ ප‍්‍රදේශයේ මීට පෙර වාර්තා වූ වකුගඩු රෝගීන්ගේ ගණන ඉහළ අගයක් ගත්තේය. එහෙත් කන්තලේ වැව මූලික කරගෙන ඇති කරගත් ජල ව්‍යාපෘතිය නිසා ඒ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් අඩු විය.


කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීමේ අරමුණින් වගා ළිං කපා තිබේ. මේවායින්ද භූගත ජලය පොළොව මතුපිටට ගෙනෙයි. ජලය හා කෑම සමග ආසනික් ශරීර ගත වූ විට වකුගඩුවේ ඇති වෘක්කානු ප‍්‍රමාණය අඩුවෙයි. බැර ලෝහ මේවායේ තැන්පත් වෙයි. වකුගඩුවල පෙරීයම් ක‍්‍රියාවලිය නැතිවෙයි. මේ ආකාරයට වකුගඩුව ප‍්‍රමාණයෙන් අඩු වී එය විනාශ වෙයි. රිය අනතුරු හා වෙනත් ක‍්‍රමවලින් මේ ප‍්‍රදේශයේ මැරෙන අයගේ මෘත දේහ පරීක්‍ෂණ කිරීමේදී පෙනී ගියේ ඔවුනට වකුගඩු රෝගය නැතත් වකුගඩුව ප‍්‍රමාණයෙන් අඩුවී තිබෙන බවයි. ඒ අනුව පෙනෙන්නේ බහුතර පිරිසක් මේ ගැටලූවට මුහුණ දී සිටින බවකි. තවත් අයගේ වකුගඩු සියයට 50ක් විනාශ වී ඇත. මෙය බැලූ බැල්මට පෙනෙන්නේ නැත. රෝග ලක්‍ෂණ මතු වූ විට සියලූ දේ සිදුවී හමාරය.
දැන් දැන් වගාවට යොදන කෘමිනාශක, රසායනික පොහොරවල ආසනික් අඩංගු නැතැයි කියා කාටවත් කීමට බැරිය. ආසනික් මැනීමට අවශ්‍ය ක‍්‍රමවේද තවමත් කෘෂිකර්ම ආමාත්‍යාංශයට නැත. වෙළෙද පොළේ ඇති පොහොර පරීක්‍ෂා කර බැලූවොත් ඒවායේ ආසනික් අඩංගු බව ඔප්පු කළ හැක.
ආසනික් ආසාදනය නිසා පිළිකා, මළ දරුඋපත්, ගබ්සාවීම් බහුලය. ලංකාවේ මළ දරු උපත් හා ගබ්සා වීම් ප‍්‍රමාණය සියයට 50කින් වැඩිවී ඇත්තේ කෘෂි රසායනිකවල අඩංගු ආසනික් හේතුවෙනි. දියුණු රටවල් ආසනික් ඈත් කරද්දි අප තව තවත් එය ළං කර ගනී. ආසෙනික් නිසා පෙළෙඹේ අඩි තුනක් යට සිටින පණුවන් දිලීර ක්‍ෂුද්‍රජීවී කොටස් විනාශ වේ. තිරිඟු පිටි අඩංගු කෑම වර්ග ආහාරයට ගත්විට බඬේ දැවිල්ල එන්නේ තිරිඟු පිටි වල අඩංගු ආසෙනික් හේතුවෙනි. කෘමිනාශක යොදා කරන සෑම දෙයකම ආසනික් අන්තර්ගතය. පිළිකා, මළ දරු උපත්, වඳ වීම් ඉහළ අගයක් ගන්නේ එබැවිනි. අද වන විට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අයෙකු විවාහ කර දීමේ ගැටලූවක්ද පැන නැගී තිබේ. ඊට හේතුව ආසෙනික් බලපෑමෙන් ඇති වී තිබෙන වකුගඩු රෝගයයි. මේ නිසා ආසනික් ක‍්‍රියාවලිය සමාජගත ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ.

 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවේ මේ දේවල් අන්තර්ගත බව සඳහන්වේ. ඒවා මීට පෙර අප කළ පර්යේෂණ මගින්ද තහවුරු කරගත් ඒවාය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ජලයේ ආසනික් නැත. අප එය නොපිළිගනිමු. භූගත ජලයේ ආසනික් අඩංගුය. එය ආහාරදාම මගින් ශාක හරහා අපේ ශරීරගතවේ. එසේම අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ළිං පරීක්‍ෂාවකින් ඒ බව වඩ වඩාත් තහවුරු කළ හැක.


ජලයේ ආසනික් අඩංගු දැයි කියා මැන බැලීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ඒ බව සඳහන් නැත. අප කැලණිය විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණ මගින් එය තහවුරු කර ගත්තේය. ජලයේ ඇති ආසනික් ප‍්‍රමාණය මයික්‍රෝ ග්?ම් 10කි. එය සම්මත අගයකි. නමුත් අපේ ජලයේ 40-100 අතර ප‍්‍රමාණයක් තිබිණි. මේ නිසා ලංකාවේ ජනගහනයෙන් 36%ක ඇෙඟ් කෘෂි රසායනික කොටස් තැන්පත් වී තිබේ. එදා මෙන් දැන් ජනතාවට මහන්සි වී වැඩ කිරීමට බැරි ඒ නිසාය.


මේ තත්ත්වයෙන් බේරීමට වැව් ජලය බීමට දීම එක් පිළියමක් වුවත් ඒ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කනගාටුවකට කරුණකි. එක් මිනිසෙකුගේ ජල පරිභෝජනය දිනකට අවශ්‍යතාව ලීටර 8කි. (ස්නානය හැර) අඩුම තරමේ අවශ්‍ය ප‍්‍රමාණය ගණන් බලා ජනතාවට අවශ්‍ය පහසුකමවත් දීමට හැකිනම් ලොකු පිනකි. කෘෂි කර්මාන්තයත් සමග පානීය ජල පහසුකම් දීමට නොහැකි යැයි මතයක් ගොඩ නැගෙමින්ද පවතී. එය බොරු මතයකි. අවශ්‍ය කලින් කිරීමට සැලසුමක් ඇතිව කිරීමට අපට හැකි නම් මේ ප‍්‍රශ්නයට විසඳුමකි.

 

සටහන : ප‍්‍රගීත් සම්පත් / ඡායාරූප : ගයාන් අමරසේකර

 

විරූපී වූ පාදයක් හා නිරෝගී පාදයක්