පසුගිය දිනවල පැවැති පළාත් පාලන දේශපාලන වේදිකාවද වෙනදා මෙන්ම හැඟීම්බරය. පලබරය. පලබරය කියන්නේ දෙනවාය කියන දේවල්වලින්ය. එසේම තර්ක විතර්ක අපහාස උපහාස හා විචිත‍්‍ර කතා කාරයන්ගෙන් ද අඩුවක් නැත. මේ සියල්ල පවතින දේශපාලනයට අත්‍යවශ්‍යය. ජනතාව ඒ අයට කෙසේ ප‍්‍රතිචාර දක්වාවිදැයි කියන්න දන්නේ නැත. මේ අතර සුප‍්‍රකට කටකතා කරුවෙක් මේ දක්වා ආණ්ඩුවට එල්ල කළ ”කොම්පියුටර් ජිල්මාට්” චෝදනාව දැන් ප‍්‍රබන්ධයක් සේ දකී. ඒ අනුව ඔහු විසින්ම ආණ්ඩුව නිදහස් කර ඇත. ඡන්දයක් අබියස එය ප‍්‍රකාශ කිරීම දිට්ඨධම්මවේදනීය තත්ත්වයකි. ”කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැත” යන ගැමි කියමන නැවත සනාථ වුණා වාගේය. මේ කතාවෙන් ආණ්ඩුවට පමණක් නොව රටේ සමස්ත මැතිවරණ කි‍්‍රයාවලියටම එදා ඔවුන් එල්ල කළේ බරපතළ අභියෝගයකි. සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෑයම එක දැවැන්ත බොරුවකින් අවතක්සේරුවට ලක් කළේය. බොරුවට ආයුෂ නැතිවා සේම දැන උගත් කිසිවෙක් එදත් එය පිළිගත්තේ නැත. මේ නිසා ”කොම්පියුටර් ජිල්මාට්” කතාව ආපසු කැරකුණේ විපක්ෂයටමය. පවතින ඡන්ද බොරු ඡන්දයක හැඟීමෙන් සමහර විරුද්ධ පාක්ෂිකයෝ ඊට පසුව පැවැති ඡන්දවලදී ඡන්ද පොළට නොපැමිණියහ. එක්සත් ජාතික පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජයකදී වුවද රැකගත් තම ඉහළ ඡුන්ද ප‍්‍රතිඵලය බරපතළ නාය යෑමකට පත්කළේ මෙවන් කියමන් නිසාය. ” ඕක කොහොමත් ආණ්ඩුව දිනාගනීවි” මේ නිසා ඡන්ද පොළට පැමිණීම පල රහිත කි‍්‍රයාවක් සේ කල්පනා කළ විපක්ෂයේ කොටසක් නවතා තැබීමට ”කොම්පියුටර් ජිල්මාට්” හේතුවක් වුණා වාගේය. ඒ අනුව නම් මේ ප‍්‍රබන්ධකරුවෝ විපක්ෂයේ දේශපාලනය නාය යෑමට අනුපමය සේවයක් කළහ. මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ පැවැත්වීමේ කි‍්‍රයාවලිය දෙස බලන විට ”කොම්පියුටර් ජිල්මාට්”වලට ඉඩක් නැත. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනයනු ලබන පෙට්ටි මාරු කිරීමේ ඉඩක් නොමැති වන්නේ අදාළ නිලධාරීන් එම පෙට්ටි සමඟ ගමන් කිරීමත්, ඡන්ද පෙට්ටියේ පිටපත අලවන පති‍්‍රකා හා මුද්‍රා තැබීමට අදාළව තවත් පිටපත් 5 ක් පක්ෂ නියෝජිතයන්ට හා ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයන් අතටද පත්වන නිසාය. මෙවර ඡන්ද පෙට්ටියේ තබන මුද්‍රාව තෝරාගනු ලබන්නේ සීල් තුනක් අතරින් නියෝජිතයන්ගේ කුසපත් ඇදීමකින් බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. ඡුන්ද ගණන් කිරීමට ප‍්‍රථම ලැබෙන පෙට්ටිවල ඡන්දපොළ නියෝජිතයන්ගේ හා නිලධාරීන්ගේ අත්සන් හා සීල් වල නිරවද්‍යතාව පරීක්‍ෂා කරනු ඇත. අදාළ ඡන්ද ගණන් කිරීමට පටන් ගන්නේම ඡන්ද පෙට්ටි සමඟ එන නිල ලේඛනවල සඳහන් නිකුත් කළ ඡන්ද ප‍්‍රමාණය ගණන් කරන මධ්‍යස්ථානයේ දී ප‍්‍රථම ගණන් කිරීමේදීම පවතින්නේ නම් පමණි. ගණන් කිරීම සිදුවන්නේ ද නිලධාරීන් හා පක්ෂ නියෝජිතයන් අබියසය. අවසානයේ ඔවුන් ඊට අත්සන් තැබිය යුතුය. එම අත්සන් ඒ ආකාරයෙන්ම කොළඹට ලැබිය යුතුය. අත්සන් කරන පති‍්‍රකාවල පිටපත් පක්ෂ නියෝජිතයන්ට ලැබේ. යම් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක පක්ෂ නියෝජිතයන් කිසියම් හෝ බලපෑමකින් ඉවත් කරන්නේ නම් හෝ ඉවත් වීමට ඉඩකඩ විවර වන්නේ නම් හෝ එතැන ඡුන්ද ගණන් කිරීමක් සිදු නොවනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. මෙවන් කි‍්‍රයාදාමයක් තුළ ප‍්‍රතිඵල වෙනස් කිරීම සඳහා ”කොම්පියුටර් ජිල්මාට්” එකක් සිදුවූවා යැයි සඳහන් කිරීම සමස්ත මැතිවරණ කි‍්‍රයාවලියම හෑල්ලූවට ලක්කිරීමක් මෙන්ම එම වැඩ සටහනට කරනු ලබන සාපරාධී අපහාසයකි. එම ශුද්ධ වූ බොරුව මේ වන විට අදාළ බොරුකාරයන් විසින්ම ඉවත් කරගෙන ඇත. එහෙත් සමහර ඡන්ද අපේක්ෂකයන්ගේ මනාප සොයා යෑමේ කෑදරකම නිසා මෙම මැතිවරණ කි‍්‍රයාදාමය තුළ ද විවිධ තැන්වල අක‍්‍රමිකතා දක්නට ලැබුණු බව වසන් කළ නොහැකි සත්‍යයකි. එය හැකි තරමින් පාලනය කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය ඇතුළු දිස්ති‍්‍රක් බාර මැතිවරණ නිලධාරීන් සමත්ව සිටින බවද සත්‍යයකි. මෙම මැතිවරණයේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් කිසිවකුට ප‍්‍රශ්නයක් පැන නඟින්නේ නැත. එය මේ වනවිටත් පැහැදිලිය. ඡුන්ද නීතියද උල්ලංඝනය කළෝය. අක‍්‍රමිකතා සිදුවීම කනගාටුදායකය. එය දොවාගත් කිරි බඳුනකට කීපදෙනෙක් ගොම මුසු කරනවා වැනි කාර්යයකි. එවන් මැටිමෝල් වැඩ පාලනය කරගත නොහැකි කණ්ඩායමකට හෙට දවසේ දෙවියන්ගේම පිහිටය. මෙම කි‍්‍රයාදාමය පිළිකුළෙන් හෙළා දැකිය යුතුය. ” ඕවා හැමදාම තිබුණා.” ”විපක්‍ෂය කියන්නේ බොරු.” ”පරදිනකොට ඔහොම කියනවා.” මේ ආදී සාම්ප‍්‍රදායික වචන වමාරමින් මේ කැත වැඩෙන් කිසිවකුට නිදහස් විය නොහැක. ඒ අය තම පක්ෂයටත් පක්ෂයේ නායකයාටත් කරනු ලබන්නේ බරපතළ අසාධාරණයකි. අපරාධයකි. මේ අය අතුරින් සමහරුන්ට සිදු වී තිබෙන්නේ      ”අංගුලිමාල” හාමුදුරුවන්ට සිදු වු හදියමය. අංගුලිමාල හාමුදුරුවන්ගේ ගිහි අවදිය ප‍්‍රචණ්ඩකාරීය. හෙතෙම අංක එකේ ඝාතකයකු ලෙස ප‍්‍රකටය. මේ නිසා ජනතාව ඔහු දෙස බැලූවේ පිළිකුලෙනි. බුදු සසුනේ මහණ වී රහත් වීමෙන් පසුවද ඒ පිළිකුල සමහර අය ඉවත් කරගත්තේ නැත. මේ නිසා මඟතොට සංයමයකින් යුතුව ගමන් කිරීමේදී පවා අංගුලිමාල හාමුදුරුවන්ට ගල්මුල් එල්ල විය. අද අනුරාධපුරයේ, කෑගල්ල හා අම්පාර පළාතේ සමහර අපේක්‍ෂකයන්ට සිදුවී තිබෙන්නේ මේ සන්තෑසියමය. ඔවුන් සාමකාමී වුවද සමහරු පිළිගත්තේ නැත. මේ නිසා අංගුලිමාල හිමියන්ට ගල්මුල් වැදුණා සේ මේ අයටද තමන් සම්බන්ධ නැති ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල පවා වගකීම් බැරවෙමින් පවතී. ඔවුනට තම නිවැරැදි බව තහවුරු කර ගැනීමට තව කලක් ගතවනු ඇත. පවතින මනාප ක‍්‍රමය තුළ ඉදිරියේ දී එවැන්නකට වුවද ඉඩක් විවර වේදැයි කියන්න දන්නේ නැත. සමහරුන්ට පාක්ෂිකකම්, සහෝදරකම්, නෑදෑ හිතවත්කම් මනාප එකතුකර ගැනීමේ සටනේදී අදාළ වන්නේ නැත. ”වරක් මගේ මූණේ දැලි ගෑවා යැයි” චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය පැවසුවේ සුප‍්‍රකට වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්ද දුෂණ අබියසය. කිසිසේත්ම මෙවර එවන් තැනකට මේ මැතිවරණය ගමන්කර නැත. මැතිවරණ කොමසාරිස්වරයාගේ ඍජු මැදිහත්වීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය දේපළ පරිහරණය ගැන පෞද්ගලිකවම සොයාබැලීම ඊට හේතු වී තිබේ. එහෙත් සමහර ගෝල බාලයන් එතුමාගේ මුහුණේ ද දැලි ඇතිරීමට උත්සාහ ගත්තා වාගේය. පවතින මනාප සම්ප‍්‍රදාය දිගින් දිගටම පවතින්නේ නම් එහි අනිටු විපාක ලෙසින් යම් මැතිවරණ අක‍්‍රමිකතා සම්ප‍්‍රදායක් ඊට සාපේක්‍ෂව ඉදිරියටද පවතිනු ඇත. එසේම වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය තමාට ඇති බලතල යටතේ ඇතිකරන ලද තෙරපීම මෑත මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් මාලාවක් සේ ඉතිහාසගතවනු ඇත. එය රජයේ විනිවිද බවටද කරනු ලැබූ අස්වැසිල්ලකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමහර තැනක එහි ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා සමහරු පාලනය කර ගැනීමට නොහැකිව අසරණ වූවා සේය. නැතිනම් සන්ධාන නායකයන්ගේ උපදෙස් සමහර ප‍්‍රාදේශීය නායකයන් පිළිනොගත්තා වාගේය. එසේ නම් ඒ අය වෙනුවෙන් හෙට දවසේ පැරණි හැන්දෙන්ම වරප‍්‍රසාද බෙදීම ගැන දෙවරක් කල්පනා කිරීම නායක කාරකාදීන්ගේ වගකීමට යටත්වේ. ජනතාව වැඩි මනාපයකින් වැරදි කළ අයම තෝරා එවන්නේ නම් එයද රටක යහපාලනය ස්ථාපිත කිරීමේදී ප‍්‍රශ්නයක් වනු ඇත. සාමාන්‍යයෙන් 1987 පළාත් සභා පිහිටුවීමේ සිටම එහි මැතිවරණ කි‍්‍රයාවලිය ලේ ගංගා ගලාගිය ප‍්‍රචණ්ඩත්වය උරුම කරගත් ව්‍යාපාරයක් විය. මුල්ම පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය ගමන් කළේ ”ඡන්දය දෙන අයට මරණය” කියාය. සමහර තැනක එය එලෙසින්ම සිදුවිය. දේව බණ්ඩාර සේනාරත්න, ගුරුනායක ජෝර්ජ් රත්නායක, පොහොද්දර මුල්ලේ පේ‍්‍රමාලෝක හිමි ඇතුළු ප‍්‍රගතිශීලී නායකයෝ රැසක් ඡන්දය වෙනුවෙන් දිවි දුන්හ. එදා පැවැතියේ ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ ඡන්ද ක‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමේ ජීවිතයත් මරණයත් අතර සටනකි. මේ වනවිට දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ සිට උතුරේ එල්.ටී.ටී.ඊ.යට බියෙන් පළාත් සභා තරග නොකළ ද්‍රවිඩ ජාතික සන්ධානය දක්වාම පළාත් සභා පිළිගෙන තිබේ. තරග කරන්නේම ඊට පිළිගැනීමක් සහිතවය. පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි කියූ අයම පසුව පාර්ලිමේන්තු ක‍්‍රමය වැළඳගත්තා සේ මේ වනවිට සියල්ලන්ම පළාත් සභා ක‍්‍රමය පිළිගැනීම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමේ හා බලය විමධ්‍යගත කිරීමේ වැඩසටහන ලැබූ ජයග‍්‍රහණයකි. මේ ජයග‍්‍රහණය වෙනුවෙන් වන්දි ගෙවා ඇත්තේ ජීවිතවලිනි. මිල කළ නොහැකි සම්පත්වලිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිල අධික විෂයක් වී තිබෙන්නේ ඒ නිසාය. පළාත් සභා වුවද වැඩි මිලක් ගෙවා නඩත්තු කිරීමට සිදු වී තිබෙන්නේ මේ නිසාය. 1987 සිට මේ දක්වා පළාත් සභා ක‍්‍රම පැමිණි ගමන ඒ අතින් සාර්ථකය. අද ඉතිරිව ඇත්තේ මනාප මැතිවරණ ක‍්‍රමය හරහා ගොඩනැඟෙන අක‍්‍රමිකතා හා මැතිවරණ දුෂණ බින්දුවට ගෙනඒම කෙසේ වෙතත් තවදුරටත් අවම කරගැනීමය. ඊට ප‍්‍රධාන බාධකයක් සේම පවතින්නේ ජනතාවට මන්තී‍්‍රවරයා ඍජුව වගකියන්නේ නැති මනාප ක‍්‍රමය බව අමුතුවෙන් කිවයුතු නැත. එය පැහැදිලි වී හමාරය. එම මනාප ක‍්‍රම වෙනස් කිරීමට මහින්ද චින්තනය ඉදිරි දැක්මෙන් ජනතාවට පොරොන්දුවක් දී තිබේ. එය මහින්ද චින්තන ඉදිරි දැක්මේ 52 වැනි පිටුවේ සඳහන් වන්නේ මෙසේය. ”පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ අනුගත ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට මම යෝජනා කරමි...” ”දුෂණය, වංචාව කුළුගැන්වීමේ ප‍්‍රවණතාවක්ද අනුගත ඡුන්ද ක‍්‍රමය නිසා ඇති වී තිබේ. ප‍්‍රාදේශීය නියෝජනය සහමුලින්ම අවුල් වී ඇත...” ”එමගින් අන්තිමේදී ජනතාවට තම ප‍්‍රදේශයට වගකියන මන්තී‍්‍රවරයකු ලැබීමත් ධනය බලය අහිමි සැබෑ ජනතා නියෝජිතයන්ට අවස්ථාව ලැබීමත් තවදුරටත් සිදුවේ. මේ සම්බන්ධයෙන් උනන්දු වීමට දැන් කාලය එළඹ තිබේ. ඊට වගකිව යුත්තන්ගේ අවධානය යොමු කිරීමට වත්මන් පළාත් සභා මැතිවරණ කි‍්‍රයාවලියේ අත්දැකීම්ද එක්කර ගැනීම වැඩදායකය.
වසන්තප‍්‍රිය රාමනායක