ඕනෑම දේශපාලන පක්ෂයක් ආණ්ඩු බලය ගිලිහී විපක්ෂයට වැටුණු විට පහසුවෙන් එල්ලෙන සටන් පාඨ කිහිපයක් තිබේ. “පෞද්ගලික විශ්වවිද්‍යාල මුවාවෙන් රජය අධ්‍යාපනය විකිණීමට හදනවා” එවැනි එක් ‘රෙඩිමේඩ්’ සටන් පාඨයකි. මෙවැනි සටන් පාඨවල එල්ලී සිදුකරන දේශපාලනය විසින් මේ රටේ දියුණුව සම්පූර්ණයෙන් කණපිට හරවනු ලැබ ඇත. දකුණු ආසියාවේ රටවලින් පවා අතමාරුවට ඩොලර් ණය ගැනීමට සිදුවන තැනකට රට තල්ලු‍වීම මේ ඛේදවාචකයේ එක් අනිටු ප්‍රතිඵලයකි.

අප මේ කරුණු සඳහන් කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් රටේ විපක්ෂය ඇතුළු විවිධ සංවිධාන මගින් ගොඩනංවන විරෝධය සැලකිල්ලට ගනිමිනි. කොතලාවල පනත මීට එක් උදාහරණයක් පමණි. මීට පෙර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදීත් ඊටත් පෙර උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය පිහිටුවීමට පිරිසක් උත්සාහ ගත් අවස්ථාවේදීත් මෙවැනිම ආකාරයේ උද්ඝෝෂණ මතුවීමෙන් රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටම සිදුවූයේ බලවත් හානියකි. එම කාලවල විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ බොහොමයක් සිසු සිසුවියන්ට නියමිත කාලය තුළදී තමන්ගේ අධ්‍යාපනය හමාර කර ගැනීමට අවස්ථාව නොලැබුණි. ඇතැම් සරසවි සිසුවියන් උපාධිය ලබද්දී මව්වරු බවට පත්වී සිටියහ. මේ එක් පැතිකඩක් පමණි. බොහෝදෙනාට අමතක වන විපක්ෂ දේශපාලනඥයන් විසින් බලහත්කාරයෙන් අමතක කරවනු ලබන විශේෂ කාරණයක් ද තිබේ.

එම විශේෂ කාරණය මෙරට උසස් අධ්‍යාපනය අහිමිවීම නිසා එතෙර විශ්වවිද්‍යාල කරා වාර්ෂිකව සංක්‍රමණය වන 7000ක් පමණ වන සිසු පිරිස මෙරටින් එතෙරට අදින මුදල් ප්‍රමාණයේ තරමයි. මෙම මුදල කොතරම්දැයි හරිහැටි ගණනය කිරීමට අවශ්‍ය සංඛ්‍යාලේඛන අප සතුව නැත. එහෙත් ඒ සඳහා මෙතෙක් වැයකර ඇති මහා මුදල් සම්භාරය කොතරම්දැයි පැහැදිලි කිරීමට මේ වසරේ එක් උදාහරණයක් ගෙනහැර දැක්විය හැක. මේ වසරේ චීනයේ එක් වෛද්‍ය විද්‍යාලයක් සඳහා මෙරටින් සිසු සිසුවියෝ 40ක් පිටත්ව යාමට සූදානමින් සිටිති. මේ එක් සිසු දරුවකු වෛද්‍ය උපාධිය ලබාගැනීම සඳහා වැයකළ යුතු අවම මුදල රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකාව, බෙලරූස්, ජෝර්ජියා, ලැට්වියාව, රුසියාව ආදී රටවලට සහ ඉන්දියාවට සහ බංග්ලාදේශයට ද වාර්ෂිකව යන තවත් සිසු පිරිසක්ද වෙති. මේ සියලු‍ සිසු සිසුවියන්ගේ මවුපියන් ඒ වෙනුවෙන් ගාස්තු ගෙවන්නේ මෙරට මුදලිනි. උතුරු කොළඹ වෛද්‍ය පීඨය පිහිටුවීමට උත්සාහ දැරූ අසූව දශකයේ මුල්භාගයේ සිට මේ වනතුරු රටින් පිටට ඇදී ගිය මුදල් සම්භාරය කොතරම්දැයි මේ අනුව සිතාගත හැකිය.

නිසි ප්‍රමිතියට සහ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට අනුව මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් බිහිකිරීමට දොර හැර තිබුණා නම් මේ රටේ නිදහස් අධ්‍යාපනයට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අසීමිතව තවත් පහසුකම් සැලසීමට එම මුදල් යොදවා ගැනීමට හැකියාව තිබුණි. ඒ මුදල් රටේ ඉතිරි වූවා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව ඇතුළු කරගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම පහසු වන්නට ඉඩ තිබිණි. එපමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා විවෘත වන පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා භූගෝලීය වශයෙන් ඉතාම හිතකර පිහිටීමක් ඇති අපේ රටට එම විශ්වවිද්‍යාල විදේශ විනිමය උපයා ගැනීමේ උල්පත් බවට හරවා ගැනීමට ද පහසුවෙන්ම හැකියාව තිබිණි. එහෙත් මේ රටේ අවස්ථාවාදී කුහක, මජර දේශපාලනය හේතුවෙන් අද මුළු රටම දුක් විඳිමින් සිටී. මේ තත්ත්වයට මෙරට මෙතෙක් බලයට පත් හැම ආණ්ඩුවක් සේම එක් එක් අවස්ථාවලදී තරග බිමෙන් එළියේ සිටිමින් ආණ්ඩුවලට පන්දම් ඇල්ලූ දේශපාලන පක්ෂ ද එක සේ වගකිව යුතුය. අඩුම තරමින් දැන්වත් මේ තත්ත්වය වෙනස් කිරීමට තරම් දේශපාලන ධෛර්යයක් ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන්ට නොමැති නම් එය අපේ රටේ අවාසනාවක් මිස අන් කිසිවක් නොවේ.

මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට වරම් ලැබුවත් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවලට සුදුසුකම් නොලැබී යන එහෙත් ඉහළම ලකුණු මට්ටම් අතර සිටින සිසු දරුවන්ට ඇති එකම විකල්පය විදේශ රටවල විශ්වවිද්‍යාලවල පිහිට පැතීම පමණි. මුදල් හදල් ඇති මවුපියන් තම පෞද්ගලික ධනය ඒ සඳහා වැයකරන අතර එතරම් හැකියාවක් නැති මවුපියන් කරන්නේ තමන්ගේ කිසියම් දේපළක් හෝ විකුණා මුදල් සොයාගැනීමය.

තමන් පදිංචිව සිටින එකම නිවෙස පවා උකස් කර එතෙර විශ්වවිද්‍යාලවලට තම දරුවන් යැවූ මවුපියන් පිළිබඳව ද අපි අසා ඇත්තෙමු. එය පදනමක් නැතුව හුදු දේශපාලනය පමණක් හේතුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීමේ ඛේදවාචකයේම හරස්කඩකි. එසේම මෙරටදී උගුර ලේ රහ වනතුරු ඒවාට විරුද්ධව කෑගසන ඇතැම් දේශපාලනඥයන්ගේ දරුවෝ ද එතෙර අධ්‍යාපනය ලබන බව සුප්‍රකට රහසකි.

අප අදහස් කරන්නේ අවිචාරවත් ලෙස නිසි ප්‍රමිතියට නැති පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට පිහිටුවීමට ඉඩදිය යුතු බව නොවේ. අප මේ හඬ නගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ද නොවේ. උසස් අධ්‍යාපනය හමුවේ ලකුණක දෙකක අඩුවක් හේතුවෙන් සියල්ල අහිමි වන සිසු දරුවන් වෙනුවෙනි. එසේම රටේ ජාතික ධනය ඉවත ඇදී යාම වළක්වාගෙන විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට ද එය සාර්ථක ක්‍රියාමාර්ගයක් බැවිනි. දේශපාලන මඩගොහොරුව තුළ රැඳී සිටිමින් මේ ගැටලු‍වට කවදාවත් විසඳුමක් සොයාගත නොහැක. එයින් පිටතට ඇවිත් ලොවේ සෙසු රටවල් මේ ගැන ක්‍රියාකරන ආකාරය විමසා බැලීම පමණක් යථාර්ථය තේරුම් ගැනීමට ප්‍රමාණවත් වනු ඇත.

කෙසේ වුවද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙඩි පිටින්ම සම්මත කරගැනීමට ඉඩදිය යුතු යැයි අපි නොකියමු. එම පනතේ විධිවිධාන සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කරුණු කීමට, වගකීමට ආණ්ඩුව බැඳී සිටී. එහිදී ජනතාව තුළ කිසිදු සැකයක් ඇතිවීමට ඉඩක් නොතැබිය යුතුය. පසුගිය සතියේ බෞද්ධ උපදේශක සභාව හමුවූ අවස්ථාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බාධක ඉවත් කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ අර්ථය කුමක්දැයි මෙරට ඇතැම් විද්වත්හු ප්‍රශ්න කරති. එසේම මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කිසිදු පනතකින් කිසිදු අගතියක් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද එම විශ්වවිද්‍යාල පාලනයට සහ ශිෂ්‍ය අයිතිවාසිකම්වලට පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් මගින් කිසිදු බලපෑමක් සිදු නොවිය යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)