වසර බිලියන 4.6ට පෙර ඇතිවූ ප‍්‍රථිවියේ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේද සොබාදහමේ විෂ්මිත නිමැවුම් රැසක් ඇත. ඇතැම් ඒවා මිනිස් ඇසට තවමත් හමුවී නැත. මහපොළොව යට සිදුවන සුවිසල් විපර්යාස, රසායනික කි‍්‍රයාදාම මතුපිටට ඇසෙන්නේ ගොරවන, පෙරළෙන, දඟලන අයුරිනි. මහපොළොව එක් වරක් මහා සද්දෙට ගෙරවුවහොත් මතුපිට මහා ජීවිත දේපල ප‍්‍රමාණයක් විනාශ වේ. ගොරවන, පෙරළෙන, පැද්දෙන, මහපොළොව උඩ සිටින අපට ඉහලින් ඇති අහසද එවන් දෑවලින් අප අන්ත අසරණ කරනු ලබයි. යටිනුත් ගින්දර, උඩිනුත් ගින්දර, මැදින් සවුන්දර කියා අපට සැපට සිටිය හැකිද. මහ පොළොව යටින් එන ශබ්ද ගණන් නොගත යුතුද. මහ පොළොව ගෙරෙව්වා කියා, දැඟලූවා කියා අප බිය විය යුතුද? මෙයට අපට වර්තමානයේ මුහුණ දෙන ප‍්‍රායෝගික ප‍්‍රශ්නාවලියකි. ඒ ගැන මත පළ කළ විද්වත් අදහස්ය මේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානීය මහාචාර්ය කපිල දහනායක: භූ චලන ගැන කතා කරනවිට අද වූවාය, ඊයේ වුණාය, හෙටත් වේය කියා කිසිවිටෙක අනාවැකි පළ කළ නොහැක.  ඕනෑම වෙලාවක,  ඕනෑම ස්ථානයක භූ චලන සිදුවිය හැකිය. එහෙත් ඒ කොතනකදැයි කල්තියා කිසිදු විද්‍යාඥයකුටවත් කිසිදු විද්‍යාවකටවත් කිව නොහැක. මහා භූ චලන භූමි කම්පා ලෙස ද අර්ථ දක්වන අතර කොපමණ කලකට වරක් සිදුවේද, අපි කේන්ද්‍රිය පිහිටා ඇත්තේ කොහේද, ගොඩනැගිලි සෙලවීම්, කඳු කඩා වැටීම් වන්නේ කොහේද කියා පෙර අනාවැකි කිව නොහැකි වුවද පසු ගවේෂණය කළ හැකිය. ශ්‍රී ලංකාවට දකුණු දිගින් නිර්මාණය වෙමින් තිබෙනවාය කියන භූ තැටිය පිළිබඳව ලෝක භූ විද්‍යා ප‍්‍රජාව මේවනතුරු පිළිගෙන නැත. ලොව පවතින භූ තැටි 13 ගැනම ලෝක භූ විද්‍යා ප‍්‍රජාව මනා අවධානයෙන් සිටින අතර ලොව තවත් බොහෝ ප‍්‍රදේශවල නව භූ තැටි නිර්මාණය වෙමින් පවතිනවාද විය හැකිය. එහෙත් එවැන්නක් එක්වර සිදු නොවන අතර සම්පූර්ණවීමට තවත් වසර ලක්‍ෂ ගණනක්වත් යා හැකිය. ඒ ගැන සිතා දැන්ම අනිසි බියක් ඇතිකරගත යුතුද නැත. ජනතාවට භූමිකම්පා, චලන ගැන විනා භූ තැටි නිර්මාණය ඒ හැටි කාලීන නොවේ. නව භූ තැටි නිර්මාණය පිළිබඳව පර්යේෂකයන් පර්යේෂණ කරන අතර ඒවාට අධ්‍යාපන වටිනාකමක් හා පර්යේෂණ වටිනාකමක් පමණක් ඇත. භූ භෞතික විද්‍යාඥයන් නව තැටි නිර්මාණය ගැන තවමත් පිළිගෙන නොමැත. පර්යේෂණ කරන අතරතුරම භූමිකම්පා ඇතිවීම සම්බන්ධ පර්යේෂණ, සාකච්ඡා මෙන්ම භූමි චලනවල අතීත සිදුවීම් ගැන සෙවීම, අවධානය යොමු කිරීම ඉතා වටනේය. 2004 දෙසැම්බර් 26 දින භූමිකම්පා හා සුනාමි තත්ත්වය ඇතිවීමට සතියකට පෙර එක්තරා පුවත්පතක් මා කළ පරීක්‍ෂණ ඇසුරින් එවකට පැවැති භූ චලන ගැන විමසන ලදී. මාසයක් ඇතුළත භූ චලන 5ක් 6ක් පමණ එවක ඇතිවූ අතර මාගේ නිගමනය වූයේ එම චලන ගැන සෙවීම, අවධානය වැඩි වැඩියෙන් කළ යුතු බවත් මිනිස් ජීවිත ආරක්‍ෂාව පිළිබඳව පෙර සූදානමකින් කටයුතු කළ යුතු බවත්ය. මා එදා මසකට පෙර කීවේ ඒ වනවිට ඇතිවූ කුඩා චලනයන්ට වඩා දරුණු චලනයක් හෝ දරුණු ආපදාවක්වීමේ සම්භාවිතාවක් පවතින බවය. එහෙත් එය වීමටද නොවීමටද ඇති ඉඩකඩද එසේ වැඩි සම්භාවිතාවක් තිබුණි. කළ යුත්තේ භූ චලනයක් වනවිට සෙවිල්ලෙන් හිඳීමය. 1615 සිදුවූ සිදුවීමත් සමග 1993 වන විට භූ චලන 60ක් පමණ සිදුවී ඇතැයි මහාචාර්ය ඩබ්ලිව්.පී. විතානගේ මහතාගේ වාර්තාවක සඳහන්ය. එය අද වනවිට 70 ක් 80ක් දක්වා වර්ධනය වී ඇතැයි සිතිය හැක. එම වාර්තා බලනවිට ඇතැම් චලන ගණන් නොගෙන සිටියාද විය හැකියි. මන්දයත් එකල ඒවා ගණනය කළ හැකි තාක්‍ෂණයක්වත් නොතිබූ අතර 1935 දී පමණ රිච්ටර් පරිමාණය පැමිණියේය. එම වාර්තාවේ සඳහන් භූ චලනවලින් 1814 මඩකළපුවේ බරපතල චලනයක් සිදුව ඇති අතර, 1823, 1882 දක්වාද චලන ඇතිව තිබේ. 1891 සිට 1994 දක්වා ගතවූ වසර 103ක කාලය තුළ පමණක් භූ චලන 50ක් ද 1900න් පසුව 1993 දක්වා එයින් 45ක්ද සිදුව තිබේ. වූවාට පසු වාර්තා කිරීමත් පර්යේෂණ කිරීමත් කළ හැකි අතර මිනිසුන්ගේ ජීවිත, දේපළ හානි අවම කිරීමට නම් දැනුවත්ව, අවධානයෙන් සිටීම වැදගත්ය. ලොකු චලනයක් දැනුණු වහාම එළිමහන් තැනකට දුවගොස් දිගාවීම සුදුසුම කි‍්‍රයාවයි. අපි කේන්ද්‍රියේ ස්වභාවය අනුව සුනාමි කාරක මහා භූ චලනයක් නම් කිලෝමීටර් 500ක 1000ක වේගයකින් මුහුදු පත්ල කළඹාගෙන එන මුහුදු තරංග වෙරළට ළංවන විට වේගය අඩු කරයි. එහෙත් ගම්‍යතාව නිසා සිදු වන හානිය ඉතා විශාලය. එම තරංග පිටුපසින් සුනාමි රැුල්ලක් නොහොත් වතුර කෝච්චියක් දෙකක් පැමිණ ගොඩබිම ගලවාගෙන ආපසු මුහුදටම ඇදී යයි. 2004 සුනාමියෙන් පසු නිමල් හෙට්ටිආරච්චි මහතාත් මමත් ජපානයේ පුහුණුවකට ගොස් සුනාමි කාරක භූ චලන ගැන වැඩිදුර පර්යේෂණ අධ්‍යයනයන් කළෙමු. කනගාටුවට කරුණ නම් අපි තවමත් සුනාමි තොරතුරු ලබා ගන්නේ පැසිපික් හෝ හවායි මධ්‍යස්ථානවලිනි. ඉන්දියන් සාගරයට දීමට ගිය තොරතුරු මධ්‍යස්ථානය ජාත්‍යන්තර දේශපාලන කුහකකම නිසා තවමත් පිහිටුවා නැත. ඉන්දියාව, ලංකාව මෙන්ම  ඕස්ටේ‍්‍රලියාවද එය පොරපිටියට පැමිණියද කිසිවකුට දුන්නේ නැත. පසුගිය අපේ‍්‍රල් ඇතිවූ චලන ගැන පැසිෆික් මධ්‍යස්ථානයට පැටලීමක් වුවද එම කලාපයේ අනතුරු ඇඟවුම ගැන වාර්තාවී විනාඩි දෙකකින් දැනුම් දිය හැකි තරම් ප‍්‍රබල තාක්‍ෂණයෙන් යුක්තය. දේශපාලන කඹ ඇදිල්ලකින් තොරව මෙම මධ්‍යස්ථානය ලබාගැනීමට කටයුතු කළ යුතු කාලයද එළැඹ තිබේ. අනතුරක් වූ පසු වැළපෙනවාට වඩා වීමට පෙර ඒ ගැන අවධානය යොමු කළ යුතුය. සුනාමි ගැන උනන්දුවන නවක විද්‍යාඥයන් ඇත්නම් මේ දෑ පිළිබඳ වැඩිදුර පුහුණුව, වාහන, උපකරණ, තාක්‍ෂණය ආදී සියල්ල නිර්ලෝභීව දී පර්යේෂණ සිදු කිරීමට අවකාශ දිය යුතුය. උස් ජලාශ පිළිබඳව මෙන්ම පොළොවේ භූ පැළුම් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත: 1615 මෙරට සිදුවූ භූ චලනයකින් මිනිසුන් 2000ක් පමණ මිය ගිය  බව එවකට මෙරට පාලනය කළ පෘතුගීසි වාර්තාවල සඳහන් වේ. කුඩා භූ චලන එනම් රිච්ටර් මාපකයේ අගය 2ට අඩු චලන වර්ෂයකට ලක්‍ෂ 09ක්වත් සිදුවේ. තැටි භූ කාරක සංකල්පය අනුව කුමන කාලෙක කවදා කොහේ කෙලෙස මහා විනාශයක්ද කුඩා විනාශයක්ද කියා කිව නොහැක. අප සිටිනුයේ ඉන්දු - ඕස්ටේ‍්‍රලියා, ඉන්දුනීසියානු හා අපි‍්‍රකානු මායිම්වලින් බොහෝ ඈත භූ තැටියක මැද කොටසේය. එහෙත් එසේ කියා කොහේ හෝ සිදුවන මහා භූ චලනයක් ගැනවත් අප රටේ ඇතිවන චලනයක් ගැනවත් නොසිතා කටයුතු කිරීම නුසුදුසුමය. පසුගිය මාස එකහමාරක කාලයේ චලන 04 ක් පිළිබඳව මධ්‍ය කඳුකරයේ මහනුවර, නුවරඑළිය, හැටන්, දියතලාව ආදී ප‍්‍රදේශවලට දැනී ඇත. අප තැටි මායිමක මැද සිටියද සුනාමි කාරක භූ චලනයකදී වන බලපෑම හෝ එහි අවදානම පහව යන්නේ නැත. ලංකාව භූ චලනවලින් තොර රටක්ද නොවේ. පසුගිය දිනවල වාර්තා වූ චලන රිච්ටර් අගය 3.3 ට වඩා අඩු වුවද මහා පරිමාණ චලන නොවෙතැයි කියා සිතිය නොහැක.මන්දයත් අප රටේ තවමත් මෝසම ආරම්භ නොවුවත් වර්ෂයකදී ලැබෙන මෝසම් දෙකෙහිම මධ්‍ය කඳුකරය එනම් අප රටේ හදවතේ මහා ජල කඳන් එක්රැස්වේ. ඒවා රටේ හදවතට මහා බරකි. අපේ පොළෝගැබ මේ නිසාම අධික විපරිතකරණයකටද ලක්වී යැයි කිව හැකිය. වර්ෂ කෝටි ගාණක් පරණ පාෂාණ මධ්‍ය කඳුකරය පුරා ඇති අතර ඒවායේ ආයු කාලය වර්ධනය වනවා නොව ක්‍ෂය වෙමින් පවතී. මේ වනවිට ඒවා දිරාපත් වෙමින් තිබුණද අපට ඒ ගැන අවධානය යොමු නොකර සිටිය නොහැක. මධ්‍ය කඳුකර ද සංකීර්ණය, වන්නි සංකීර්ණය, නිරිත දිග සංකීර්ණය, බටහිර හා බිංතැන්න යන කලාප අතර දැදුරුවීම්, පැලීම් නිරන්තරව සිදුවේ. මධ්‍ය කඳුකරයෙන් ආරම්භ වන ගංගා පද්ධති රටපුරා විහිදී යන අතර ඒවා අතර වෙනස්කම් තිබේ. මධ්‍ය කඳුකරයත්, නිරිත දිග කලාපයත් අතර චුම්භක තීරයක් ඇති අතර ඒ නිසාද නිරන්තර ඝට්ටන, හැල හැප්පීම්, ශුද්‍ර චලනයන් සිදුවිය හැකිය. එම චලනයන් ඉහත කී භූ තැටි මායිම් අතර ඇතිවන ගැටීම් හෝ හැල හැප්පීම් තරම් ප‍්‍රබල නැතැයි කියා පුරෝකතනය කළ නොහැක. වසර 400කටත් එහා සිදුවූ කම්පනයකින් මිනිසුන් මැරී ඇත. තවද පොළොවේ ස්ථායිතාව ගැන කියන විට පාෂාණ පරණ වීම නිසා නිරන්තර රසායනික කි‍්‍රයාවලි සිදුවන අතර වෙනස්කම් සිදුවීම්, එහාට මෙහාට සීරු මාරුවීම්, හෙල්ලීම්, දෙදරුම් සිදුවන විට මතුපිටට චලනයන් මෙන් දැනේ. මධ්‍ය කඳුකර වර්ෂාපතනයෙන් පතිත ජලධාරා පහළට ගලා යනු වෙනුවට මහා පරිමාණ ජලාශවල එක්රැුස්වේ. තවද සුවිසල් බිම් ගෙවල් ඉදිකර පොළෝ ගැබේ පස් සාරා ඉවත්කර ජලය ගලා යවන අතර ඒවාද භූ ගර්භයට ඉතා අහිතකරය. වැස්ස ආරම්භ වී සති දෙකෙන් වාන් දමනවිට වේලි කපා වැඩි වතුර පිට කළද තවත් සති දෙකකට තුනකට පසු වැස්ස නැත්නම් ජලය ඉවර බවද නිවේදනය කෙරේ. මේ එක්රැස් කළ මහා ජලයට වූයේ කුමක්ද? පාෂාණ තට්ටු අතර කුහරවලට කාන්දු වූවා විය හැක. සමනල වැව තවමත් කාන්දු වන අතර එය නවතා දැමිය නොහැකිවී ඇත. විදේශ ආධාර ගත් පලියටම මධ්‍ය කඳුකරය නුහුලන මහා අපරාධ සිදු කළ යුතු නැත. ඒවා ඉදිකිරීමට පෙර කළ ශක්‍යතා අධ්‍යයනවලින් කුමක් කීවේදැයි නොදනී. මට දැනෙන ලෙස මධ්‍ය කඳුකරය නුහුලන ගොඩනැගිලි හා වාරි ඉදිකිරීම් නිසා පොළොව යට නිරන්තර ඝට්ටන ඇතිවන බවය. මහාචාර්ය විතානගේ මහතා වරක් ගිනිගත්හේන පොළොව විද නිල් පැහැති වතුර එම ස්ථානවලට වත් කළ අතර එම ජලය ගංගා දෙකකින් මතු විය. එසේ වූයේ පොළොව යට ඇති කුස්තුර නිසාය. එය ඇසූ එක් ඇමතිවරයෙක් කීවේ මහාචාර්යවරුන්ගේ ඔලූව හොඳ නැති බවය. අද වන විට එතුමාගේ ප‍්‍රකාශයේ ඵල විපාක දකින්නට දෙදෙනාම ජීවතුන් අතර නැතත් අපි අද ඒවා විඳවන්නෙමු. අපටත් වඩා අනාගත පරපුර ඒවා විඳවනු ඇත. භූ ස්ථර ශක්තිමත් වුවද එහාට මෙහාට පෙරළීම් සිදුවේ. ඉදිරියේදී මහා භයානක දෙයක් සිදුවීම වැළැක්විය නොහැක. භූමියේ භූගෝලීය රටාවට ඔරොත්තු නොදීම නිසා මහා පරිමාණ භූ චලන රට තුළ ඇතිවිය හැකිය. ඒවාට සූදානම්ව සිටීම කළ යුතුය. මහ පොළොවට හිතුවක්කාර ලෙස කරන විනාශකාරී කි‍්‍රයා දැන්වත් නතර කළ යුතුය. එහි මතුපිටටත් අභ්‍යන්තරයටත් කර ඇති හානිය තවත් වසර සිය දහස් ගණනකදී අපට මුහුණදීමට සිදුවිය හැකිය. ඉදිරියේදී ඉන්දීය භූ තැටිය දෙකට කැඞීම ගැන නොව ලංකාවේ අභ්‍යන්තරික භූ ගර්භ වෙනස ගැන සැළකිලිමත් වීම කළ යුතුමය.ඉදිරියේදී සිදුවිය හැකි මහා භූ චලන නිසා මහා නාය යෑම් සිදුවිය හැකිය. ඒවායේ විනාශ අවම කර ගැනීමට කටයුතු යෙදිය යුතුය. ඇතැම් කඳුකර ප‍්‍රදේශවල ගිලා බැසීම්, දෙදරුම් කෑම්, ඉරි තැලීම් තව තවත් සිදුවිය හැකිය. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයවත්, පතල් කාර්යාංශයවත් කියන්නක් නොඅසා හිතුවක්කාර ලෙස කරන ඉදිකිරීම් අසලින් යෑමට පවා බියක් ඇතිවේ. කොයි මොහොතේ ඒවා සෙල්ලම් බඩු මෙන් කඩා වැටේදැයි කිව නොහැක. සුලූ පරිමාණ සෙලවීමකදී පවා මධ්‍ය කඳුකරයට බලපෑම් සිදුවිය හැකිය. සොබා දහම කරන විප්ලව අපට නැවැත්විය නොහැක. මිනිස් විප්ලවවලට සොබා දහම පිළිතුරු දෙන විප්ලව උහුලා ගැනීමට නොහැක. නුදුරේදීම මහා සොබා දහම් විප්ලවයක් දෙනු නියතය. වසර විස්සකට තිහකට පෙර අප මේවා පෙන්වා දුන් විට අපට ගැරහීය. 1990 වනවිට මධ්‍ය කඳුකරයේ පැය 2-3 ක් තුළ නායයෑම් 200ක් පමණ වාර්තා විය. එසේනම් ඉදිරිය ගැන කවර කතාද? මහාචාර්ය විතානගේ මහතාගේ වාර්තාවලට අනුව 1970 සිට වාර්තා වී ඇති භූ චලන මෙසේය: රිච්ටර් අගය 3.0 ට අඩු ඒවා නොදැනෙන අතර 5.00ට වඩා වැඩි ඒවා හානිදායකය. රිච්ටර් අගය 3ත් 4ත් අතර ඒවා අපට දැනෙන ප‍්‍රමාණය අනුව ඊළඟ භූ චලනයක් පිළිබඳව අපේක්‍ෂාවෙන් සිටීම වැදගත් වේ.
මහාචාර්ය විතානගේ මහතාගේ වාර්තාවලට අනුව 1970 සිට වාර්තා වී ඇති භූ චලන මෙසේය:
1973/08/03 රිච්ටර් මාපක අගය 4.0
1974/06/27 බලංගොඩ, ගුරුතලාව, ආගරපතන
1974/06/30 එම ප‍්‍රදේශයම
1975/07/06 ගලේවෙල
1976/11/23 තංගල්ල රාති‍්‍ර 11.00
1979/10/09 බදුල්ල, පස්සර රිච්ටර් මාපක අගය 3/4 ත් අතර
1993/02/08 මුළු ලංකාවටම උදේ 2.30 රිච්ටර් මාපක අගය 5.6 කි.
රිච්ටර් අගය 3.0 ට අඩු ඒවා නොදැනෙන අතර 5.00ට වඩා වැඩි ඒවා හානිදායකය. රිච්ටර් අගය 3ත් 4ත් අතර ඒවා අපට දැනෙන ප‍්‍රමාණය අනුව ඊළඟ භූ චලනයක් පිළිබඳව අපේක්‍ෂාවෙන් සිටීම වැදගත් වේ.
සටහන හා ඡායාරූප -  පුෂ්පා වීරසේකර
උස් ගොඩනැගිලි මහාචාර්ය ජිනදාස කටුපොත මහාචාර්ය කපිල දහනායක